වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





ගාල්ලෙන් - කොළඹට කොළඹින් - තිරයට

ගාල්ලෙන් - කොළඹට කොළඹින් - තිරයට

රොහාන් පෙරේරා

රඟපාන්න කැමැත චිත්‍ර ගුරුවරයා

ගාලු පුරවරයේ උණවටුන, යටගම හෙට්ඨාවල පිරිවෙන් විහාරය අවට පරිසරය ඉතාම ශාන්ත වූ සිත් ගන්නා සුලු දැකුම්කලු වට පිටාවකින් යුක්තයිමේ ශාන්ත පරිසරයේ ජීවය උකහා ගෙන තම නිසඟ කලා හැකියාවන් දියුණු කරගත් ඔහු රොහාන් පෙරේරාය.

යටගම මැකම් විදුහලේ වේදිකාවෙන් තම රංගන අඩිතාලම දැමූ ඔහු චිත්‍ර ශිල්පයට ද උපන් හපන්කම් දක්වන්නෙකි. උසස් අධ්‍යාපනය සඳහා ගාල්ල බොනවිස්ටා විද්‍යාලයට ඇතුළත් වූ මේ අපූරු යෞවනයා තම කලා හැකියාවන් තව තවත් ඔප මට්ටම් කර ගත්තේය.

1983 වර්ෂයේදී තමන්ගේ ගමට වී සිනමාව හැදෑරීමට නොහැකි නිසා රොහාන් කොළඹ පැමිණෙන්නේ සුළු රැකියාවක් කරමින් තම අභිමතාර්ථය වූ රංගනය හා සිනමාව පිළිබඳ අධ්‍යයනයක් ලැබීමටය.

සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහතා යටතේ වේදිකා රංගනය හැදෑරූ හෙතෙම, ආචාර්ය සාලමන් ෆොන්සේකා, මහේන්ද්‍ර පෙරේරා ආදීන්ගෙන් තම රංගන දැනුම මුවහත් කර ගත්තේ රංග කරළියේ පෙළහර පෑමේ අදහසිනි.

1984 ජූනි 14 වැනි දින සරසවිය පුවත්පතේ පළ වූ දැන්වීමකට අනුව රෝයි ද සිල්වා හරහා සිනමාවට ද අත්පොත් තැබූ මේ අපූරු මිනිසා රෝයි ද සිල්වාගේ ‘තාත්ති මං ආදරෙයි’ චිත්‍රපටයේ සටන් ජවනිකාවකින් ප්‍රථම සිනමා අත්දැකීම ලැබුවේය.

1993 දී නාට්‍ය ශිල්පී සුමිත්‍ර එච්. හෙට්ටිගේ මහතා නිර්මාණය කළ ගිවිසුම නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික් හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමටත් රොහාන් වාසනාවන්ත වූයේය.

එපමණක් නොව හෙතෙම රූපවාහිනී හඬ කැවීම් ඒකකයේ හඬ කැවීම් ශිල්පියකු ලෙස කම්මැලි වෘක්කයා, නයිල් නදී කුමාරී, රෙඩි රයිඩින් හුඩි ආදී නිර්මාණ රැසකට තම දායකත්වය ලබා දුන්නේය.

මහතලා හටන ආදී ටෙලි නිර්මාණ තුළින් ද ඔහුගේ රංග වපසරිය මොනවට කියා පෑවේය.

අනන්ත දුක්ක දෝමනස්සයන් මැද කලා ජීවිතය ජය ගත් ඔහු වර්තමානයේ ගුරුවරයකු ලෙස අනාගත පරම්පරාවට තම ශිල්ප ඥානය ද ලබා දෙයි.

0718212293 ඔස්සේ ඔහුට නිරතුරුවම ඇමතිය හැකියි.

‘නන්දන’, යටගම, උණවටුන, ගාල්ල ලිපිනයේ පදිංචි මේ සොඳුරු මිනිසා තවමත් රංගනය නම් මහ සයුරේ පුංචි දිය බිඳුවක්ව වැජඹෙයි.