වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මාක් සැම්සන් අලුත් වෘත්තීයක

මාක් සැම්සන් අලුත් වෘත්තීයක

මාක් සැම්සන් දැන් අලුත් වැඩකට අතගහලලු. ඒ ඔහු යන ඕනෑම උත්සවයකදී එන රසිකයන් වෙනුවෙන් පින්තූර ගැනීමය. ඒ බව සනාථ කරමින් පසුගිය දින පැවැති සිනමා උලෙළකදී නිළි රැජන මාලිනී ෆොන්සේකාට ආදරය කරන රසිකාවක් කලාකරුවන් සමූහයක් මැදි කරගෙන සිටි මාක් සැම්සන් වෙත දුව ගොස් ‘අනේ මට මාලිනී සමඟ පින්තූරයක් රැගෙන දෙන්න’ කියා ආයාචනාත්මක ලෙස මාක් සැම්සන්ට කියන්න විය. මාක් සැම්සන් සියලු දෙනාගෙන් මිදී එම ඡායාරූපය රැගෙන දුන් අවස්ථාවයි මේ.

රයිගමයා වටේ යයි

ගිරාට මේ ගෙවී යන කාලය අපල කාලයක්ලු, එහෙම කියන්නේ ගිරිරාජ්. දිගුකලකින් හමු වූ මිතුරෙකු වූ වස්සානයේ සඳ නිෂ්පාදක මහේෂ් කේ. බණ්ඩාරත් කරුත් එක්ව කියා සිටියේ ගමන කෙටිව තිබියදීත් ගිරිරාජ් වටේ යන බවයි. ගිරිරාජ්ට මේ කතාව අප්‍රබංශයක් විය. ඒ කතාව මොකක්ද කියා පසුව තේරුම් ගත් ගිරිරාජ් මේ කියන්නේ මම රඟපෑ නවතම සිනමාපටය රයිගමයයි ගම්පලයයි චිත්‍රපටයේ කෙටි මාර්ග තිබියදී දුර මාර්ගයෙන් වෙළදාම් කිරීමට ගම්දනව් සොයා යන මා රඟපෑ රයිගමයා ගැනයි.

කේන්දරයේ නොකී කතාව

පසුගිය දිනෙක ඩිනක්ෂි හා දිනක්ෂි උත්සවයකට සහභාගි වුහ. එහිදී දෙදෙනාටම ඡ්‍යොතිෂය පිළිබඳ උනන්දුවක් ඇති විය. එහිදී ඔවුන් දෙදෙනාම එතැන සිටි ඡ්‍යොතිෂවේදියකුට එකවරම අක්ක නගෝ අත දිගුකර අනාගතය ගැන සඳහන් කරන ලෙස කියා සිටියහ. එකවර දෙදෙනකුට රේඛා ශාස්ත්‍රය ගැන සඳහන් කිරීමට නොහැකි නිසා ජ්‍යෙතිර්වේදියා කියා සිටියේ දෙදෙනා වෙන වෙනම හමු වූ විට හඳහන හරියටම කියන්නම් කියාය. මේ ඒ අවස්ථාවයි.

වැරැදි දෙකයි

උදයකාන්තගේ වස්සානයේ සඳ සංගීත අධ්‍යක්ෂවරයාට පසුගිය දින මංගල දර්ශනයේදී අකරතැබ්බයකට මුහුණ දුන්නේය. දර්ශනයට ප්‍රථම ඔහුට වෙන් කර තිබූ ආසනය මෙනෙවිය යන නාමය යොදා තිබීමෙන් රෝහණ වීරසිංහයන් අපහසුතාවයකට පත් විය. රෝහණ වීරසිංහගේ ආසනය දුටු ආචාර්ය නන්දා මාලිනීට සිනහ නොවී සිටින්නට බැරි වුණාය. නන්දා මාලිනීගේ සිනහවට හේතු වූයේ රෝහණ යුවළ ආසන මාරු කරගෙන ඉඳගැනීම නිසයි. ඒත් එය නිවැරැදි විය යුතුව තිබුණේ මහත්මිය යන නමිනි. නමුත් වැරැදීමකින් සටහන්ව තිබුණේ මෙනවිය ලෙසටයි. බලන විට වැරැදි දෙකක් සිදු වී තිබූ බවයි මට පෙනී ගියේ.

පොල් ගහක පූජාවක්

ටෙනිසන් කුරේ පසුගිය දින දෙරණ සිනමා උලෙළේ ඔහුට ලැබුණු සම්මානයක් ලබා ගත්තා. එහිදි ජීවන් කුමාරතුංගත්, රන්ජන් රාමනායකත් ටෙනීට අවස්ථාවක් දුන්නේ ඔහුගේ රසිකයන්ට සුබ පතන්නයි. ටෙනි වේදිකාවේ රඳවා තිබූ මයික්‍රෆෝනයට දෙපාරක් තුන් පාරක් උඩ පැන ගත් ඔහුට මයික්‍රෆෝනය අල්ලා ගැනීමට නොහැකි වුණා. රන්ජන් රාමනායක කියන්නේ ලබන ආත්මයේ්වත් පොල් ගසක් පූජා කර උස යන්නට ප්‍රාර්ථනා කරන ලෙසයි. ඉන්පසු රන්ජන් ටෙනීගේ උසට සරිලන අයුරින් මයික්‍රෆෝනය සකසා දුන්නේය. හැබැයි ටෙනිසන්ගේ ප්‍රාර්ථනාව කොහොම හරි ලබන ආත්මයේදී රන්ජන්ට වඩා අඟල් දෙකක් හරි උස යාමලු.