වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

ප්‍රියංකාට ළාබාල පෙම්වතෙක්

බොලිවුඩයේ තවත් තරුවකට මල් හී සර වැදිලා. බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේත් රසික ආකර්ෂණය ලද ප්‍රියංකා චොප්රා පෙමින් බැඳී ඇති බවයි ආරංචි වෙන්නේ. මේ විදියේ ආරංචි පැතිරීමට හේතුව නම් මේ දිනවල ඇය හොලිවුඩයේ සුවිශේෂි පුද්ගලයකු සමඟින් නිරන්තරයෙන් කාලය ගත කිරීමයි. ප්‍රියංකා නිරන්තරයෙන් අත ගෙන සිටින ඔහු හොලිවුඩයේ නළුවකු මෙන්ම ගායකයකු වන නික් ජොනාස්.

උත්සව අවස්ථා රැසකට මේ දෙදෙනා එකට සහභාගි වී සිටින අයුරුත් විවේකය ගත කිරීම, ක්‍රීඩා තරඟ නැරඹීම මෙන්ම රාත්‍රි භෝජන සංග්‍රහයන්ට එකට සහභාගි වීමෙන් දෙදෙනාම ආදරයෙන් බැඳී සිටින බව අමුතුවෙන් පැවසිය යුතු නොවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ප්‍රියංකා 35 වැනි වියේ පසුවන අතර නික්ගේ වයස අවුරුදු 25ක්. මීට පෙර ජස්ටින් බීබර්ගේ ආදර කතාවේ නිමාවෙන් පසු කලක් සෙලීනා ගෝමස් ද නික් සමඟත් පෙමින් බැඳී සිටියා. ඒ කෙසේ වෙතත් දැන් නම් නික් වැඩි කාලයක් ප්‍රියංකා සමඟින් ගත කරන අයුරු දක්වමින් හොලිවුඩ් පුවත් පළ කරන්නේ නික් සහ ප්‍රියංකා අපූරු යුවළක් බව සටහන් කරමින්.


සෝනම් ගෙන් පසු දීපිකා

'ස්වභාවධර්මය' තේමා කොට ගනිමින් සෝනම් කපූර් සහ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ආනන්ද් අහූජාගේ විවාහ උත්සවය පන්ජාබ් ක්‍රමයට පැවැත් වුණේ පසුගිය මැයි මාසයේදීයි. තම ආදර කතාව ගැන ප්‍රසිද්ධියේ වැඩි යමක් නොකී ඇය පෞද්ගලිකත්වයට මුල් තැන දෙමින් සිය විවාහ උත්සවය පවත්වන්නට තීරණය කර තිබුණා. ඇය ඒ වෙනුවෙන් විවාහ ආරාධනා පත්‍රයක්වත් මුද්‍රණය නොකරන්න තීරණය කළේ පරිසරයට සිදුවන හානිය අවම කිරීමට උපකාර කරමින්. ඒ වගේම අසාධාරණයක් වන තැන නොබියව කතා කරන තරුණියක් ලෙසත් ඇය ප්‍රකටයි.

සෝනම්ගේ විවාහයේ උණුසුම යන්නට මත්තෙන් තවත් යොවුන් තරුවකගේ විවාහයක් පිළිබඳ තොරතුරු බොලිවුඩයෙන් වාර්තා වෙනවා. ඇය දීපිකා පදුකෝන්. දීපිකා සහ රන්වීර් සිංගේ ආදර කතාව නම් ආරම්භයේ පටන් කිසිවෙකුටත් රහසක් නොවූ ආදර කතාවක්. බොලිවුඩ් පුවත් ගෙන එන්නනේ මේ දෙදෙනාගේ විවාහ උත්සවය ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවයි.


හාවිට තවත් අපචාර චෝදනා

ඇමෙරිකානු චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ අධ්‍යක්ෂවරයකු වන හාවී වින්ස්ටන්ට එරෙහිව පැතිරී ගිය අපවාදය හොලිවුඩයම කැළඹීමට පත් කළේ පසුගිය වසරේදීයි. මෑතකදී පැවති ලෝ ප්‍රකට සිනමා සම්මාන උලෙළෙ තුලදී පවා ඒ පිළිබඳ දැඩි අවධානය යොමු වී තිබුණා. ‘ද නිව්යෝක් ටයිම්ස්’ සහ ‘ද නිව් යෝකර්’ යන පුවත්පත්වල පළ වුණු ප්‍රවෘත්තීන්ට අනුව, හාවී දිගු කාලයක් තිස්සේ කාන්තාවන් රැසක් ලිංගික අපයෝජනයන්ට ලක් කළ බවට එම කාන්තාවන් විසින් චෝදනා එල්ල කළා. මෙම අපචාර චෝදනා කළ කාන්තාවන් 43 දෙනා අතරට හෙදර් ග්‍රැහැම් සහ ඇන්ජලීනා ජොලි ද එක්ව සිටියා.

මේ නිසා ඔහුගේ වීන්ස්ටන් ආයතනයේ (ඊඩඥ එඥඪදඵබඥඪද ඛ්ධථනචදර) අධ්‍යක්ෂ මඬුල්ල විසින් හාවි සේවයෙන් පහ කෙරුණු අතර වසර 10ක් හාවී හා විවාහ වී සිටි විලාසිතා නිර්මාණ ශිල්පිනියක් සහ නිළියක් වන ඔහුගේ තරුණ බිරිඳ, ජෝජියා චැප්මන් ඔහුගෙන් දික්කසාද වන බව ද දැනුම් දුන්නා. හාවී විසින් අනුග්‍රහය දක්වන්නට යෙදුනු ප්‍රධාන පෙලේ දේශපාලනඥයන් පවා හාවි හෙලා දකින බවට ප්‍රකාශ කළා.

මෙම චෝදනා ප්‍රසිද්ධියට පත්වීමෙන් මාස කිහිපයක් ඇතුළත හිංසනයට ලක්ව චෝදනා එල්ල කළ කාන්තාවන් සංඛ්‍යාව 70 ක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පසුගියදා හාවි වීන්ස්ටන්ගේ අපචාර චෝදනා එකතුවට තවත් පැමිණිලි ලැබී ඇති බව හොලිවුඩ් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ නමුත් හාවි වීන්ස්ටන්ගේ නීතිඥයන් මාධ්‍යයට පවසා තිබෙන්නේ ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කර සිටින බවයි.


අර්ජුන් ශර්මාගේ පැතුම

'ඔබත් මමත් ඇයත්' ටෙලි නාට්‍ය සමඟින් එන මායා ඉන්දීය ටෙලිවිෂන් තිරයේ සාර්ථක තරුවක් බව ඔප්පු කරමින් සිටිනවා. වෘත්තිය ජීවිතයේ විවිධ අත්හදා බැලීම් කරන රංගන ශිල්පිනියක ලෙසින් ඇය ඉදිරියේදී තමන් දක්ෂ චරිතාංග නිළියක බව ඔප්පු කරනු ඇති බවට විචාරකයන් පවා සිය මත පළකර සිටිනවා. අපේ රටේ සිංහල හඬකවා 'ඔබත් මමත් ඇයත්' ලෙසින් එන Beyhadh හි මායා නමින් වන රංගනය ඇයගේ රංගන දිවියේ කඩඉමක් ලෙසින් ද හැඳීන්වෙනවා. එහි ඇය පණ දෙන්නේ උමතු ප්‍රේමවන්තියකගේ චරිතයකට යි. 'ඔබත් මමත් ඇයත්' හි මායාගේ ආදරය හිමි අර්ජුන් ශර්මා ලෙසින් පණ පොවන්නේ කුෂාල් තන්ඩන්.

මේ දවස්වල නම් මායාගේ උමතු ආදරයෙන් බේරි සිටින්නත් හොඳම යෙහෙළිය සාන්ජි ඇතුළුව සිය පවුලේ සාමාජිකයන් ආරක්ෂා කරන්නත් අර්ජුන් විශාල පරිශ්‍රමයක් දරනවා. ටෙලි නිර්මාණයේ එසේ වනවිටදී පසුගිය මැයි 30 වැනිදාට ඇයගේ 33 වැනි උපන්දිනය යෙදී තිබුණා. ක්ෂේත්‍රයේ මෙන්ම රසික රසිකාවන් ඇයට ගෙන ආ සුබ පැතුම් අතරේ කුෂාල්ගේ සුබ පැතුමත් විශේෂ වුණා. "හැමදාම ඔයා මගේ මායා විදියටම ඉන්න" යනුවෙන් කුෂාල් ජෙනිෆර්ගේ ට්විටර් පිටුවේ සිය සුබපැතුම් පණිවුඩය සටහන් කර තිබුණා.