|
ඒ කාලේ ෂෝක් ගෑනු ළමයෙක් හිටියා
මෙතෙක් සිදු වූයේ මෙහෙමයි නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි. අනතුරුව ඩික්සන් එම නිවසේම පදිංචි වෙයි. බිනරිගේ පැරැණි මිතුරෙකු වූ දර්ශන චිත්‍රපටයක් නිපදවීම ඩික්සන් පොලොඹවා ගැනීමට උත්සහා කරයි. එහි දුෂ්ටයා වනුයේ ඩික්සන්ය. නිෂ්පාදිකාව බිනරි. චිත්‍රපටය නිපදවා මුදල් හිඟවන බිනරිට උපකාර කරන්නේ විනෝද්ය. අද එතැන් සිට...
ඩික්සන් හදමින් සිටි ගොඩනැගිල්ලේ වැටුනු සිමෙන්ති යළිත් හැන්දට ගෙන බැලුවේය.අත් උදව්වට සිටි විජයදාස ඩික්සන් දෙස බලා සිටියේය. මොකෝ ඩික්සන් අය්යා අප්සෙට් එකේ ඔහු විමතිය පළ කලේය. කිසිවක් නොකියූ ඩික්සන් කළේ විජයදාස දෙස රවා බැලීමය.අස්ථානයේ නැගෙන රැවුම් ගෙරවුම් ගෝලයන්ට පුරුදුය.බොහෝ ගෝලයන් ඉවසිය නොහැකි තැන වැඩේ දමා ගසා යයි. ඉස්සර මෙන් ගෝලයන් හෙවිම ද පහසු කටයුත්තක් නොවේ. සිනමාවට අලුත් නළුවෙක් යනුවෙන් සිකුරාදා පත්තරයක සිනමා පිටුවෙ පළ වූ ලිපියෙන් පසු තව දුරටත් සිමෙන්ති ගල් සමග ඔට්ටු විය යුතුයැයි ඩික්සන් සිතුවේ නැත.පත්තරයේ ලිපිය පළ වූ පසු චිත්‍රපට කොයි හැටිවෙතත් ටෙලි නාට්‍ය කරුවන් තමා සොයා එනු ඇතැයි චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ පැවසුවේය.එහෙත් කිසිවකු හෝ කතා කළේ නැත.ඊයේ සවස කිසිවක් ඔතා ආ කඩදාසියක් දුටු ඩික්සන් එය දිග හැර බැලුවේය.එහි තිබුණේ තමා ගැන විස්තරය ලියැවුණු පත්තර පිටුවය.තම පින්තූරය මැදින් දෙකට වෙන්වන්නට ඉරා තිබිණ.එය දුටු සැනින් ඔහුට දුකක් ඇතිවිණ.එයට පෙර එම පුවත්පත තමා ගෙනැවිත් සිය ගෝලයන්ට දුන්නේ මවා ගත් ආඩම්බරයෙන් යුතුවය.පුවත්පතේ ලිපිය පළ වූ සතුට කෙළවර වූයේ සවස ගෝලයන්ට ඇඟේ පතේ අමාරුවටත් එක්ක සංග්‍රහ කිරීමෙනි. ‘උඹ මං ගැන හොයන්නේ නැතිව ඔන්න ඔය වැඩේ ඉවර කරල දාපං’ ඩික්සන් තව ටික වේලාවකින් විජයදාසට පැවසුවේය.විජයදාස ඒ වන විටත් කළ යුතු කාර්යය නිම කරමින් සිටි බව ඔහු නොදත්තේය.පසුගිය දවස් කිහිපයේම බිනරි තමා මග හරිමින් දිටින වග ඩික්සන්ට දැනිණ.කලින් දවසේ විනෝද් නිවසට පැමණියේ සැලසුම සහගතවය.බිනරි එය නොදත්තාය. ‘ඔයා විනෝද් කොයි කාලෙක ඉඳන් දන්නවාද?’ විනෝද් තම කාමරයේ සිට ගියාට පසු බිනරි ඇසුවාය. ‘අවුරද්දක් දෙකක් විතර’ බිනරි එයින් සෑහිමකට පත් වී නොතිබිණ.තවත් දිගින් දිගට අසන්නට පටන් ගත්තාය.ගෑණුන්ටත් ඕනැනැති දෙයක් නැත.චිත්‍රපටය අතරමග නතරවිම නිසා එයට වැය කළ මුදල් ගැන කතිකාවක් නැත. ‘ඔය පික්චර් පටන් ගන්ඩ කලින් මම කිව්වා.දැන් අන්තිමට මම හොයා ගත්ත සල්ලි තමා ඉවර කළේ.’ ‘සුදු නෝනේ බය නැතුව ඉන්ඩ.අපිට මේක මොකක් හරි කර ගත්තැකි.’ බිනරි ගේ සිතේ බියක් ඇතිවිය.ඩික්සන් දමා ගසා ගියොත් යන්නය..ඩික්සන් ට දමා ගසා යන්නට බැරි කමක් නැත.තමා තවමත් ඔහු කාගේ කවුදැයි දන්නේ නැත.අහම්බෙන් ජිවිතයට ඇතුලු වී මේ මිනිසා තමන්ගේ බවට පත්වූයේ සැළසුම් කළ ආකාරයකින් නොවේ.සිරුරෙන් හැඩි දැඩි මිිනිසකු වුව ද ඔහු තමන් කියන ආකාරයට කටයුතු කරන බව ඇඟේ හැඟිමය. ‘මට විශ්වාසයි.මේ පික්චර් එකට සල්ලි ටිකක් හම්බ වෙනවා.ඒ වගේම ඒක ඉවර කරලා අපට පෙන්වන්ඩ පුළුවන් කියලා’ ඩික්සන් පැවසුවේ ස්ථිර හඬකිනි. ‘විනෝද් මහත්තයා සල්ලි ටිකක් දෙන්නං කිව්වා’ ඩික්සන් පැවසුවේ තවත් මොහොතකට පසුවය. ‘එයාගෙන් සල්ලි ඉල්ලන්ඩ එපා.’ විනෝද් තමාට මුදල් දුන් වග තවම ඩික්සන් නොදත්තේය.එය ඔහු කිසිකලක දැන ගත යුතු ද නැත.විනෝද් ඩික්සන් හමුවේ එය නොකියන වගට බිනරි ට විශ්වාසය. ඩික්සන් කිසිත් කියන්නට ගියේ නැත. පටන් ගන්න කොට අලි දෙන්නං කොටි දෙන්නං කියලා හිටපු කවුරුවත් දැන් නෑ. බිනරි යළි මැසිවිලි නැගුවාය.ඇයගේ මැසිවිල්ලේ යම් සාධාරණයක් ඇත.තමා පවා දර්ශනගේ කතාවට යම් ප්‍රමාණයකට රැවටුණා දැයි ඩික්සන් සිතුවේය.එහෙත් තමන්ට යම් තැනක් ලැබෙනු ඇත.ඩික්සන් ඒ සිතුවිල්ලෙන් සිත හදා ගන්නට තැත් කලේය. විනෝද් සවස ගෙදර ට ආවේය.ඔහු ආ වගක් බිනරි දැන සිටියේ නැත.බිනරි ගෙය ඇතුළේ සිට එළියට ආවාය.ඇය දුටුවේ සාලයේ වාඩි වී සිටි විනෝද්ය.බිනරි කිසිත් අමුත්තක් නොපෙන්වා ඔහු ඉදිරියේ අසුන් ගත්තාය.ඩික්සන් ඒ වන විට පැමිණි සිටියේ නැත. ඩික්සන් ආවේ නෑ තාම බිනරි පැවසුවේ කතාවට මුල පුරන්නටය. ‘මම ඇහුවද ?’ විනෝද් ඇසුවේ ඔලොක්කුවටය. ‘මම හිතුවේ ඩික්සන් හම්බ වෙන්ඩ ආවා කියලා’ ‘මම ඉස්සර ආවේ ඩික්සන් හම්බ වෙන්ඩද?’ ‘ඒ කාලේනේ’ බිනරි මුහුණ නපුරු කර ගත්තාය. ‘ඒ කාලේ ෂෝක් ගෑණු ළමයෙක් හිටියා. නාට්‍ය වල එහෙම ඇට් කරන්ඩ කැමැති’ ‘අපොයි ඒ ළමයා දැන් නෑ.’ බිනරි ඉවත බලා ගත්තාය. ‘ඇයි.කොහෙද ගියේ?’ ‘ඒ ළමයා කසාද බැන්දා.’ ‘ආරංචියේ හැටියට දැන් ඒ කසාදේ නෑ’ බිනරි විනෝද් දෙස බැලුවාය.ඔහු දෙබස් පවසන්නේ නාට්‍යයක හැටියටය.කලකට ඉහත පාසලේ කණ්ඩිය මතට වී නාට්‍ය පුහුණු කළ විනෝද් ඇයගේ මතකයට ආවේය.ඒ කාලේ විනොද් කෙට්ටුය.දැන් විනෝද් කතා කරන්නේ බිනරිගේ ඉරියව් ගැන තැකීමක් නොකරය.බිනරි උන් තැනින් නැගිටවිනෝද්ගේ පිටුපසට පැමිණියාය.අනතුරුව ඔහුගේ හිස පිරිමදින්නට විය. කොන්ඩය අසලින් ඇගේ ඇඟිලි සැරිසරද්දී විනෝද් දෑස පියා ගත්තේය. ‘එහෙනම් ඒ ගැනත් විපරම් කරලා තියෙනවා. ?’ තමා කරනුයේ නොහොබිනා වැඩකැයි බිනරිට සිතුන ද එයින් අත් මිදෙන්නට ඇයට වුවමනාවක් නොවිය. එකම තේ කෝප්පය බෙදා ගෙන නාට්‍ය බැලූ හැටි ඇයට සිහිවූයෙන් සුසුමක් හෙළිණ. ‘විපරම් කරන්නේ නැතුව කෙලින්ම ඇහුවා නම් ඉවරයිනේ’ බිනරි එකවරම පැවසුවාය.විනෝද් තවමත් දෑස් පියා ගෙනය.අඩි සද්දයක් සමග බිනරි ආපසු හැරී බැලුවාය.ඩික්සන් ගෙයි දොරකඩ සිටගෙන සිටිනු ඇයට පෙනිණ. |