වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




දැවෙන විහඟුන් ළඟදී පියඹයි

දැවෙන විහඟුන් ළඟදී පියඹයි

ඉඟිලෙන මාලුවෝ සිනමාපටය නිර්මාණය කරමින් ක්ෂේත්‍රය තුළ මහත් වූ ආන්දෝලනයක් ඇති කළ සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි සිනමාපටය දැවෙන විහඟුන් තව නොබෝ දිනකින් රිත්මා මණ්ඩලයේ රීගල් ඇතුළු සිනමා ශාලාවන් වෙත පැමිණීමට නියමිතය. විදෙස් සම්මාන උලෙළයන් කිහිපයක් නියෝජනය කිරීමට සමත් වූ මෙම සිනමා සිතුවම ශ්‍රී ලංකා, ප්‍රංශ, දෝහා කටාර් සහ නෙදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි.

රේණුකා බාලසූරිය සහ ආචාර්ය සෝමරත්න දිසානායක දැවෙන විහඟුන් මෙරට නිෂ්පාදකවරයෝය.

මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනෙවිරත්න, ලියෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරාණි, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ් සහ සංජීව දිසානායක මෙහි චරිත රංගනයේ යෙදෙති. කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්‍රියගෙනි. අජන්ත අලහකෝන් ඇඳුම් නිර්මාණ ශිල්පියාය. පියතිස්ස අකුරම්බොඩගේ කලා අධ්‍යක්ෂණයකි. ප්‍රියන්ත දිසානායක අංග රචනයෙන් දායක විය. අජිත් රාමනායක සහ කැතරිනා වර්තේනාගේ සංස්කරණයකි. එළි අකෝකා වර්ණ සංයෝජනයෙන් එකතු වී තිබේ. ප්‍රියන්ත කළුආරච්චි සහ නිකොලා දාහලින් ශබ්ද පරිපාලකයෝය. පළමු සහාය අධ්‍යක්ෂණයෙන් අරුණ තිලකරත්න ද, දෙවන සහාය අධ්‍යක්ෂණයෙන් නිරෝෂන් එදිරිමාන්න ද මේ සඳහා එකතු විය. හැරල්ඩ් කරුණාතිලකගේ නිෂ්පාදන කළමනාකරණයකි. දැවෙන විහඟුන් සිනමාපටය මේ වන විට අන්තර් ජාතික සම්මාන පහක් හිමි කරගෙන තිබේ. එය අන්තර් ජාතික සම්මාන උලෙළයන් දහ නවයක් නියෝජනය කොට ඇත.


රණ මයුර නැවත නිවසට

අග්‍රගණ්‍ය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවමඟුල් දා සොරාගත් රණමයුර සම්මානය ඉකුත් දා නැවතත් සුමිත්‍රා පීරිස් මැතිනියට භාර දී තිබේ. කොල්ලුපිටිය පොලීසිය විසින් එම සම්මානය සොයා ගන්නා ලද්දේ බස් රථයක් තුළ තිබියදීය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය අසල තිබියදී මෙම සම්මානය සොරාගෙන තිබිණ. මෙම සම්මානය අතුරුදහන් වීම පිළිබඳ බොහෝ දෙනෙකු දැඩි අප්‍රසාදයක් පළ කොට තිබිණ.


චරිත්ගේ මිණි ගං දෑල සිරසට

චරිත් අබේසිංහගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන නවතම ටෙලි සිතුවම ‘මිණි ගං දෑල’ මෙම මස 11 වැනිදා සිට රාත්‍රී 8.25 සිරස නාළිකාව ඔස්සේ විකාශයවීමට නියමිතය. කැලණි ගඟ අසබඩ දිවි ගෙවූ යුග තුනක මිනිසුන්ගේ කතා පුවත මේ සඳහා පාදක වී තිබේ.

ප්‍රියල් චාමින්ද වීරසිංහගේ රූපවාහිනී රචනයකට අනුව නිර්මාණය වූ මිණි ගං දෑල සඳහා සතිස්චන්ද්‍ර එදිරිසිංහ, බුද්ධදාස විතානාරච්චි, ඩබ්ලිව්. ජයසිරි, හේමසිරි ලියනගේ, මොරින් චාරුණී, උද්දික ප්‍රේ්මරත්න, සාරංග දිසාසේකර, චරිත් අබේසිංහ, ඩිනක්ෂි ප්‍රියසාද්, මේනකා පීරිස්, තිසුරි යුවනිකා, හිමාලි සයුරංගි ඇතුව නළු නිළියන් 80 කට අධික පිරිසක් රංගනයෙන් දායක වේ. චන්දන ජයසිංහගේ කැමරා අධ්‍යක්ෂණයකි. නලින් ප්‍රේමතිලක අංග රචනයෙන් දායක විය. මිණි ගං දෑලේ සංගීත අධ්‍යක්ෂණය නුවන් තේනුවරගෙනි. තරංග අතුරලිය සහ ඒ. පාරිස්ටර් මෙම ටෙලි සිතුවම නිෂ්පාදනය කොට තිබේ.