වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




කොළඹ ගැන රූපාලංකාරයක්

කොළඹ ගැන රූපාලංකාරයක්

කොළඹ කියන්නේ ලංකාවේ පැරණි අගනුවරක් බව ඇත්තය.එහෙත් කොළඹ යනු කුමක්ද ?මේ කොළඹ සැරිසරන අප පවා නොදන්නා බොහෝ දේ සිත්තමට නගා එළි දකින අපූරු චිත්‍ර ප්‍රදර්ශනයක් හෙට එනම් 8 වැනි දින කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වේ.මේ අපූරු චිත්‍ර ශිල්පියා වසන්ත පෙරේරාය.වසන්ත අමුම අමු කොළඹයෙකි.උපන්නේ කොල්ලුපිටියේය.අරලිය ගහ මන්දිරය අල්ලපු වත්තේය.සිය ළමා වියේ දී ක්‍රිකට් ගසන්නට ගොස් වැටෙන බෝලය ගන්නට අරලිය ගහ මන්දිරය වත්තට රිංගන වසන්තලා ඔට්ටු සෙල්ලම් දුවන්නේ කොල්ලුපිටිය පොලිස් සථානය මැදිනි.ඉගෙන ගත්තේ මහානාම විදුහලේය.සේවය කළේ කොළඹ තරු පහේ හෝටලයක කලා අධ්‍යක්ෂවරයා හැටියටය.්‍දැනට අවුරුදු ගණනකට කලින් එක දවසක තරු පන්තියේ හෝටලයට හිටි අඩියේ සමු දෙන වසන්ත සිය පින්සල අතට ගත්තේ ජීවිතය සොයා යන්නටය. ලංකාවේ පමණක් නොව අප්‍රිකාවේ වන බිම් වල සැරිසරමින් වනජීවින් සිත්තමට නැගු ඔහු ලංකාවේ මිනිසුන්ගේ විත්ති සොයා ගියේ විටෙක සමාජ ගවේෂකයෙකු පරිද්දෙනි.විටෙක ඉතිහාස ගවේෂකයකු ලෙසය.මේ ගවේෂණයන් නිසා ඔහු බොහෝ ජනි ජනයාගේ අක් මුල් සොයා ගැනීමට සත් විය.ඔහු එය අපට කියන්නේ ඔහුගේ ඇසිනි.සිතුවමිනි.වසන්ත යාපනය බලා යන්නේ එහි යුද්ධය පවතිද්දිය.ඔහු එහි සිතුවමට නංවන්නේ එහි වෙසෙන මිනිසුන්ගේ ජීවිතයයි.අනතුරුව ඔහු මහනුවර සිත්තමට නැගුවේය.ඔහු තමා දන්නා කොළඹට පිවිසෙන්නේ එයින් පසුවය.

පසුගිය කාලයේ කොළඹ එහි ඵෙතිහාසික බොහෝ දෑ නවිකරණයට ලක් කළේය. සාමාන්‍යෙයන් ඕනෑම නගරයක් කාලානුරූපව වෙනස් වීම සුලභ කරුණක් වෙයි.කොළඹට එය පොදුවෙයි.එහෙත් ගම කොළඹ කර ගත්තෙකුට එය ඉවැසිය නොහැකි කරුණකු වනුයේ ඒ සමග මැකී යන බොහෝ කාරණා තම අතීත පුරාවතට කෙළින්ම සම්බන්ධ හෙයින්ය.වසන්ත එම පීඩාවට ලක්වුවෙක්යැයි කොළඹ සිතුවම් අතර සැරිසරන්නෙක්ට නිකමට සිතෙන්නේය.

ප්‍රවීණ චිත්‍රශිල්පි සිබිල් වෙත්තසිංහ මහත්මිය අතින් විවෘත වන කොළඹ සිතුවම් දැක්මට සමගාමිව වසන්ත විසින් ඉංග්‍රිසි බසින් රචනා කරන ලද කොළඹ ග්‍රන්ථය ද එලිදකිනු ඇත.එහි වසන්තගේ කොළඹ ගවේෂණය ද සිතුවම් ද ඇතුළත්ය.ඔහු යාපනය සහ මහනුවර පිළිබඳ වද මෙබදුම ග්‍රන්ථ දෙකක් සම්පාදනය කළේය. අද අප පැරණි කොළඹ දකින්නේ පැරණි චිත්‍රපට අතරිනි.එහෙත් වසන්ත සිය කොළඹ පිළිබඳ මානයකට අප ගෙන යන්නේය.එය නැරඹිය යුතු චිත්‍ර දැක්මක් වනුයේ එහෙයිනි.

මෙම චිත්‍ර දැක්ම 10 වැනිද දක්වා දිනපතා පැවැත්වේ.