|
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්පාසලේ සිට කෙළින්ම රිදී තිරයට පැමිණි අරුණ ශාන්ති
‘දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳු, තව්තිසාවේ සරස්වතී මණ්ඩපයක් ඉදි කළහ. එහි ගැයුම්, වැයුම්, රැඟුම් සඳහා දිව්‍ය නළු නිළියන් සෙවීමේ නියුක්ත වූ සක්රදුට, මිහිරි කට හඬකින් හා අනංගයාගේ රූසිරු අඩකට නෑකම් කියත හැකි, රූ සපුවකින් හෙබි තරුණයෙක් ඒ දෙවි කුමරු ගොල්ලේදී හමු විය. හේ අරුණය. අරුණ ගැයුමට මෙන්ම රැඟුමට ද එක සේ සමත් බව දෙව් කෙල්ලන් සක්රදුට කියා සිටියහ. එදාම අරුණ තව්තිසා රඟමඬලේ ලාලි සමඟ එකට ගයමින් සක් දෙවිගේ හද පුබුදු කළේය.’ එදා පටන් සදහටම අරුණ තව්තිසාවේ ගීතවත් නළුවා බවට පළ විය. ඉතින්, අරුණ වැනි නළුවන් ඇත්තේ තව්තිසාවේ පමණක්දැයි මා කල්පනා කළේ වළාකුළු මැදින් වේගයෙන් හමා යන සිතිවිලි සුළි සුළඟට අසු වෙමිනි. ‘ඇයි ඉතින් මේ සිංහල රටේ තව්තිසාවේ අරුණයන් පරද්දවන්නට තරම් බුහුටි ගීතවත් නළුවන් කීප දෙනෙක් ඇති බව ඔබ තවමත් නොදන්නෙහිදැයි’ බර වූ වළාවකින් ඇද හැලෙන රිදීමය දිය ධාරාවකින් නැඟී ආ සිහින් කෙඳිරියකින් මට කවුදෝ කියනවා ඇසුණි. මම හිසකෙස් එක් කළෙමි. පයට දිරි දුනිමි. ඒ ගීතවත් නළුවා සොයා ගියෙමි. ඔහු අරුණ ශාන්තිය. මේ හැඳින්වීමේදී ‘මම’ යයි කීවේ මේ ලිපිය ලියන මම නොවෙමි. මීට හරියටම වසර 60 කට එපිට ප්‍රකාශයට පත් ‘චලන චිත්‍ර’ නම් සිනමා සඟරාව සංස්කරණය කළ සෝමපාල රණවීරයන්ටය. ඔහු එම සඟරාවේ ‘නළු නිළියන්ගේ තොරතුරු’ මැයෙන් විශේෂාංගයක් පළ කර තිබුණි. චිත්‍රපට නළුවකු, වේදිකා නළුවකු, ගායකයකු වූ ඔහුගේ කුඩා කාලය එතරම් සුභදායක එකක් නොවේ. කඩුවෙල පහළ වැලිවිට ගමේ වෙළඳ ව්‍යාපාරික පලිහවඩන ආරච්චිගේ මිගෙල් පෙරේරාගේ සහ මහප්පු ආරච්චිගේ දෝන රෙස්ලින් යුවළගේ දෙවැනි පුතා ලෙස උපත ලැබූ ඔහුගේ නම පලිහවඩන ආරච්චිගේ සිරිල් පෙරේරා නම් ඔහු 1927 පෙබරවාරි 12 වෙනිදා උපත ලැබීය. ඔහුගේ වැඩිමහල් අයියා ජෝෂප් පෙරේරාය. භක්තිමත් කතෝලික පවුලක උපන් කුඩා සිරිල් වැලිවිට දේවස්ථානයේ කන්තාරු කණ්ඩායමේ ගායකයකු ලෙස කැපී පෙනී ඇත. වැලිවිටියේ ශාන්ත මරියා විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ සිරිල්ගේ සිත ඇදී ගියේ රඟපෑමටය. පාසල් විවිධ ප්‍රසංගයේ කැපී පෙනුණ ඔහුට අපූරු වාසනාවක් උදා විය. එනම් එවකට සිටි මහා පඬිවරයකු වූ ආචාර්ය ගුණපාල මලලසේකර මහතා විසින් රචනය කළ ‘යම්තම් බේරුණා’ නාට්‍යයේ ප්‍රධාන නළුවා ලෙස රඟපෑමටය. එතැන් සිට සිරිල් තම අනාගතය ගැන තිරණයක් ගත්තේය. පල්ලියේ පූජකත්වය ලබා ස්වාමි කෙනෙකු වෙනවාද? නොඑසේ නම් රඟපෑම තම ජීවිත වෘත්තීය ලෙස තෝරා ගන්නවාද කියන ප්‍රශ්න දෙක අතර දෝලනය වූ ඔහු එකල තිරගත වූ සෑම හින්දි, දෙමළ හා ඉංග්‍රිසි චිත්‍රපට මෙන්ම වේදිකා නාට්‍යය ද බැලීමට දැඩි ලෙස යොමු වූයේ අනාගතයේ රඟපෑම වෘත්තීය කර ගැනීමටය. ඒ අතීත කතාව මට ඔහු වරක් පැවසුවේය. ඒ 70 දසකයේ මුල යයි මම සිතමි. එකල අප පවුලේ හිතවතෙකු වූ කලාවට ලැදි තරුණයකු වූ ජෝසප් වනිගරත්න මගේ ද මිතුරෙකු විය. ඔහුගේ සොහොයුරියක් විවාහ වී සිටියේ එවකට කැලණියේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා වූ ආර්. ඇස්. පෙරේරා මහතාය. අප ‘ජෝසප් අයියා’ යන ආදර නාමයෙන් ඔහු ඇමතුවේය. කලා ලෝකයේ බොහෝ දෙනෙකු ඔහු දැන හැඳින සිටි ඔහුගේ සමිපතම ඥාතීන් වූයේ චිත්‍රපට නළු අරුණ ශාන්ති හා ජනප්‍රිය ගායිකා ජී. ඇස්. බී. රාණි පෙරේරාය. ඇය විවාහ වී සිටි ඇන්ටන් පෙරේරා ජෝසප් අයියාගේ සමීප ඥාතියෙකි. ආර්. එස්. පෙරේරාගේ සොහොයුරාය. දිනක් ජෝසප් අයියා අරුණ ශාන්ති අප නිවසට කැඳවා මට හඳුන්වා දුන්නේය. එවකට මා ‘සරසවිය’ පුවත්පතේ උප කතුවරයකු වීමි. ‘මේ අරුණ අයියා, පළමුවැනි වතාවට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න යනවා. ඔයාගේ පත්තරයෙන් අපිට උදව් ඕනෑ’ ජෝසප් අයියා අරුණ ශාන්ති මට හඳුන්වා දුන්නේය. ‘මොකක්ද චිත්‍රපටය’ ‘ටිකක් ලොකු වැඩක්. පල්ලියේ ස්වාමි කෙනෙකුගේ කතාවක්. ගාමිණී ෆොන්සේකා මේකේ ෆාදර් සෙබස්තියන් හැටියට රඟපානවා’ අරුණ ශාන්ති මට කීවේය. ‘මරු ආරංචියක්. අපි ලබන ‘සරසවියෙන්’ රටටම කියමු’ මම ප්‍රීතියෙන් කීවෙමි. ‘දෙවියනි ඔබ කොහිද’ නම් ඒ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ජෝසප් අයියා බව කීවාම මම තවත් සතුටු වීමි. ජෝසප් වනිගරත්න නම් ඒ චිත්‍රපට නිෂ්පාදකවරයා මෑතදී ජීවිතයෙන් සමු ගැනීම මට ශෝකජනක සිද්ධියක් විය. අරුණ ශාන්ති හඳුනා ගත් කාලයේ අපේ ගෙදර ආව ගියේය. ඔහු තාත්තාගේ ද මාමාගේ ද සමීප මිතුරෙකු විය. කුඩා කළ සිරිසේන විමලවීරගේ නාට්‍ය බයිස්කෝප් මඩුවල රඟ දැක් වූ අයුරු ඔහු රස කර කර කිව්වේය. එල්පින්ස්ටන් සිනමා ශාලාවේ තමා දුටු ‘ආරියමාලා’ නම් දෙමළ චිත්‍රපටය පැය 4 1/2 ක දිගු වුව ද එය ආසාවෙන් බැලූ සැටිත්, ටවර් සිනමාහලේ දුටු ‘මා’ නම් හින්දි චිත්‍රපටය බලා ඇඬූ සැටි ද ඔහු විස්තර කළේ ඒවායේ අවස්ථා රඟ දක්වමිනි. ‘මගේ ජීවිතය මුලින්ම දැකපු කඩවසම් නළුවා සාබු. ඔහු ශක්තිමත් පෞරුෂයක් ඇති නළුවෙක්. ඔහු රඟපෑ ‘ලේඩීස් ප්ලේන්’ නම් ඉංග්‍රීසි චිත්‍රපටය මම බැලුවේ එකල ටකරම් මඩුවක් වූ මරදානේ ‘ඔලිම්පියා’ සිනමාහලේ. මේ නළුවා නිසා මම නළුවෙක් වෙන්න හිතුවා. මම එයා වගේ වෙන්න මම කායවර්ධන (බොඩි බිල්ඩින්) කරන්න උත්සාහ කළා. පොල් අතු මඩුවල රඟ දැක් වූ සෙබෙස්තියන් පීරිස්ගේ ‘බලගතු කාසිය’ මම බැලුවේ සත 25 ක් ගෙවලා. වත්තල එඬේරමුල්ලේ කූඩාරමක රඟ දැක් වූ විමලවීර මාස්ටර්ගේ ගංවතුර - සීදේවී නාට්‍යය බිම ඉඳගෙන බැලුවේ.’ අරුණ ශාන්ති කීවේය. නාට්‍යයක් බැලීමට ගොස් තමාට වූ අකරතැබ්බයක් ගැන රවීන්ද්‍ර ගුණසේකරට කියූ අපූරු කතාවක් 1990. 10. 11 සරසවිය පත්‍රයට ලියා තිබුණි. ‘දවසක් මම සිරිසේන විමලවීර මාස්ටර්ගේ නාට්‍යයක් බලලා රංගනයට කොයිතරම් ඇලුම් කරනවාදැයි කිවහොත් එම නාට්‍යය පටන් ගන්න කලින් නළු නිළියන් ඇඳුම් අඳින තැනට (වේදිකාවේ පිටුපසට) ගොස් බලා සිටිනවා. එක් දවසක් එක පාරටම නිළියක් ඇවිත් මගේ කනින් අල්ලාගෙන ඇදලා ටොක්කක් ඇනලා කිව්වා - ඈ බොල පොඩි කොල්ලො උඹ ඔය ගෑනු අඳින තැනට වෙලා මොකද කරන්නේ’ කියලා. පස්සෙ බැලින්නම් එහෙම කියලා තියෙන්නේ සෝමකාන්තා. පසු කාලයක මා චිත්‍රපට නළුවෙකු වුණු විට සෝමකාන්තා මට හමුවුණ හැම අවස්ථාවකම අරුණ ශාන්තිට මතකද එදා මම දුන්න ටොකු පාර කියලා විහිළු කරනවා.’ අරුණ ශාන්ති කලක් කඩවත කිරිමැටියාගාර සාන්ත අන්තෝනි විද්‍යාලයේත්, පාදුක්ක මධ්‍ය මහා විද්‍යාලයටත්, හංවැල්ලේ දොන් බොස්කෝ විද්‍යාලයටත් ගොස් ඇත. මේ කාලයේ ඔහුගේ හොඳම මිත්‍රයා වී ඇත්තේ කිංස්ලි කොඩිප්පිලිය. චිත්‍රපට නළු රෙක්ස් කොඩිප්පිලිගේ වැඩිමහල් අයියා. ඔහු චණ්ඩියෙකි. කිංස්ලි හා සිරිල් (අරුණ ශාන්ති) කලක් බදුල්ලේ ධර්මදූත විද්‍යාලයේ ඉගෙනීම ලබා ඇත. වයස අවුරුදු 17 වන කාලේ ඔහු බොක්සිං තරගවලට ඉදිරිපත්ව මුල් තැන ලබා ඇත. ඔහු 1947 වසරේ ලාබාල කඩවසම් තරුණයා (ජූනියර් මිස්ටර් සිලෝන්) තරඟයෙන් තුන්වැනි තැන ලබා එහි පින්තුරයක් ‘ඔබ්සර්වර්’ පත්‍රයේ මුල් පිටුවේ පළ වී තිබුණි. මේ ඡායාරූපය දුටු එඩී ජයමාන්න හා විලී ජයමාන්න තම මීගමුව නිවසට එන ලෙස ආරාධනය කළහ. ‘මේ ගමන මගේ ජීවිතය වෙනස් කරයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ. මම මගේ මිත්‍රයෙක් වූ ග්ලැඩ්වින් සූරියආරච්චි සමඟ මීගමු ගියා. ‘සිරිල් ගැහැනු ළමයෙකුට ආදරය කරලා තියෙනවාද?’ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න එකවරටම මගෙන් ඇසුවාය. ‘මම කිසිවෙකුට ආදරය කරලා නෑ මවට මිසක.’ ‘කැමති නැද්ද ආදරය කරන්න. එච්චර අමාරු නෑ. රුක්මණී දේවියට ආදරය කරන චරිතයක් තියෙනවා රඟපාන්න සතුටු නම් අපිත් එක්ක ඉන්දියාවට යමු’ ඔහු කීවා. ‘ජයමාන්න මහත්තයා මෙයාට සින්දු කියන්නත් පුළුවන්’ මගේ මිතුරා ග්ලැඩ්වින් කිව්වා. ‘ඇත්තද? කියමු සින්දුවක්’ මම ගීිතයක් කිව්වා. බී. ඒ. ඩබ්ලිව්. සතුටු වුණා. අපි චිත්‍රපටයෙත් සින්දුවක් කියමු.’ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ‘පෙරළෙන ඉරණම’ චිත්‍රපටයේ ප්‍රධාන නළුවට මා තෝරා ගත්තත් මා ඉන්දියාවට යනවට අම්මා අකමැති වුණා. පුංචි කාලේ තාත්තා මිය ගියේ මා අම්මාට ලැබෙන්න ආසන්න කාලයේලු. අම්මා මාව ආදරෙන් හැදුවේ, වැඩුවේ. චිත්‍රපටයක රඟපෑමට ඉන්දියාවට යන්න දුන්නේ නැත්නම් දිවි නසා ගන්නා බව මම කී විට අම්මා අවසර දුන්නා.’ සිරිල් පෙරේරා ‘අරුණ ශාන්ති’ නමින් බී. ඒ. ඩබ්ලිව්. සිනමාවට හඳුන්වා දුන්නා. මගේ ප්‍රථම රඟපෑමේදී මට ගුරුවරියක් වුණේ රුක්මණී. ඇය සමඟ ප්‍රධාන චරිතය රඟපාන අතර චිත්‍රපටයේ ඇය සමඟ ගී තුනක් ගැයුවා. ඉන් යුග ගීත ගැයුවේ රුක්මණී සමඟ. ‘ඕළු මලේහී සුදෝ සුදෝ මාගේ සුදාගේ මුහුණ දෝ’ ‘හද ආදර ප්‍රේමේ මන්දිරේ මගේ ප්‍රේම රජා ඔබ ප්‍රේම රජා හෝ’ ‘පාපේ මේ ජීවිතේ විකාර ලෝකයේ අඳුරේහී විදුලිය සේ මායාවකි’ මේ චිත්‍රපටයේ ගීත රචනය පී. එල්. ජේ. නන්දන කීර්ති. සංගීතය බී. එස්. පෙරේරා. අරුණ ශාන්ති අතීතයට යොමුවෙමින් කීවේය. ‘පෙරළෙන ඉරණම’ චිත්‍රපටයේ උපාලිගේ චරිතය රඟපාමින් ගීත ගායනය සඳහා අරුණ ශාන්තිට රු, 3000 ක් ලැබී ඇත. ඉන්පසු ඔහු ‘ප්‍රේම තරඟය’ චිත්‍රපටයේ ප්‍රේමදාසගේ චරිතය රඟපෑවේ අයේෂා වීරකෝන් සමඟය. ‘අයේෂා සමඟ ‘ප්‍රේම තරඟය’ චිත්‍රපටයේ එක ජවනිකාවකදී මට ඇයට කම්මුලට පහරක් ගසන්නට සිදු වුණා. ඒ පහර මම ගැසුවේ ඇත්තටමය. එය කොපමණ තදින් වැදුණාද කියනවා නම් අයේෂා තරප්පුව දිගේ පෙරලිලා වැටුණා’ ඔහු පැරැණි සිදුවීමක් මතක් කළේය. ‘අන්ධ ගායකයා’ ‘නීලකාන්ති’ ආදී නාට්‍යවල රඟපෑ ඔහු ලතා වල්පොල සමඟ ‘පිරි සුන්දර වේ මනරංජන වේ’ විනෝදනී සමඟ ‘නාමු ගිලී පෙම් සයුරේ’ ගීත ගයා ඇත. පරාජිත ප්‍රේමවන්තයෙක් ලෙස ‘රම්‍යලතා’ (1956) චිත්‍රපටයේ ඔහු රඟපෑවේ රීටා රත්නායක හා ක්ලැරිස් ද සිල්වා සමඟය. සොහොයුරෝ, මා ආලය කළ තරුණිය, වනමල, පටාචාරා, සසරක හැටි, සැකය, පිනිබිඳු, හොඳයි නරකයි, දුප්පතාගේ හිතවතා, නිල්ල සොයා චිං චිං නෝනා, අජාසත්ත, සුභානි, මුහුදු ලිහිනි, ජය අපටයි ඇතුළු චිත්‍රපට රැසක ඔහු රඟපෑවේය. ‘දෙවියනි ඔබ කොහිද’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඔහු 1949 වර්ෂයේ වැල්ලවත්තේ ප්‍රිය සම්භාෂණයකදී දැන හැඳින ගත් රෝස් ඩිල්මා සමඟ විවාහ වූයේය. ඔවුනට නෙවිල්, රන්ජන්, ටෝනි, සුමිත්, ලූෂන් යන පුතුන් පස් දෙනකු ද සොහානි ඔගස්ටා නම් දියණියක් සිටී. යුගයක් එකළු කළ අරුණ ශාන්ති 1992 වසරේදී මිය ගියේය. |