වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




උතුරේ පිපෙන සිනමාවේ ලකුණ කේෂවරාජන් නවරත්නම්

උතුරේ පිපෙන සිනමාවේ ලකුණ කේෂවරාජන් නවරත්නම්

ඔහු කේෂවරාජ් නවරත්නම්ය. යාපනේ ඉපදී හැදී වැඩුණෙකි. වත්මනෙහි ඔහු අපේ අවධානයට හසු වනුයේ මීට ටික කලකට පෙර මෙරට ප්‍රදර්ශණය කළ ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දර විසින් ඉදිරිපත් කරන ලද චිත්‍රපට ත්‍රිත්වය අතරින් ප්‍රසන්න විතානගේ ගේ චිත්‍රපටය වූ ‘ඇය’ හි ප්‍රධාන නළුවා වූ බැවිණි. කේෂවරාජ්ට නළුවෙකු ලෙස එවැනි වැදගත්කමක් හිමිවන අතරතුරම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස මෙරට දෙමළ ජනතාව අතරට ඔහු පැමිණ ඇත්තේ මීට බොහෝ කලකට ඉහතදීය.

ප්‍රසන්න විතානගේ ගේ ‘ඇය’ චිත්‍රපටයට මට සම්බන්ධ වෙන්න ලැබුණේ ටික කලක පටන් අප දෙදෙනා අතර ගොඩ නැඟුණු මිත්‍රකම නිසාවෙන්. මම ගැන ප්‍රසන්න දැනගෙන ඉඳලා තියෙන්නේ 2003 දී විතර ඉඳලා. ඒකට හේතුව ඒ කාලේ වන්නි පළාතේ මම කරපු චිත්‍රපට ඔහු නරඹලා තිබුණා. ඒ චිත්‍රපටවලට හුඟාක් ප්‍රස්තුත වුණේ භාෂා ප්‍රශ්නය, ජාතික ප්‍රශ්නය වැනි දේවල්. ඊට පස්සේ 2010 දී ප්‍රසන්න යාපනේට ආවා සිනමාව පිළිබඳ වර්ක්ෂොප් එකකට.

කේෂවරාජ් චිත්‍රපට නිපද වූයේ එවකට එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නිෂ්පාදනයන් ලෙසිනි. යුද්ධය හා ජනවාර්ගික අර්බුදය පසුබිම් කරගෙන ඔහු උතුරේ සිට චිත්‍රපට නිෂ්පාදනය කළේය.

ප්‍රසන්නගේ ‘පුරහඳ කළුවර’ චිත්‍රපටය බලන්න කියලා මට එව්වේ ප්‍රභාකරන්. මගේ චිත්‍රපට නිෂ්පාදනය කළේ ඔවුන්ගේ ‘ඉදර්ශනම්’ නම් ආයතනය. ඒක තමයි එල්. ටී. ටී. ඊ. එකේ විෂුවල් වැඩ කරපු ආයතනය. ‘පිංජුමනම්’ නම් මගේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ මේ ආයතනය. මම යාපනේ හිටපු කලාකරුවෙක්. ඔවුන් මගෙන් කලා නිර්මාණ සඳහා දායකත්වය ලබා ගත්තා.’

කේෂවරාජ්ගේ පියා ශ්‍රී ලංකා පොලීසියේ සේවය කළ පොලිස් නිලධාරියෙකි. මව ගුරුවරියකි. මේ දෙදෙනාම රාජ්‍ය සේවකයන් බැවින් යාපනේ ඉපදුන ද කුඩා කල පටන්ම දිවයිිනේ විවිධ පළාත්වල ජීවත්වීමට ඔවුන්ට සිදු වී ඇත. මව සහ පියා දෙදෙනාම දෙමළ ජාතිකයන් වුව ද දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත් වූ නිසාවෙන් සිංහල බස ද ඔවුන්ට හොඳින් හැසිර විය හැකි විය.

‘මම පළවෙනි පංතියේ ඉඳලා පස්වන පංතිය වෙනකම් ඉගෙන ගත්තේ හලාවත. 9 පංතියේදී මම මහනුවර සිල්වෙස්ටර් විදුහලට ඇතුළත් වුණා. එකොළහේ පංතියේදී නැවත යාපනේ හින්දු විද්‍යාලයට ගියා. හතරෙ පංතියේ විතර ඉඳන්ම මගේ වැඩි කැමැත්ත තිබුණේ සිනමාව, නාට්‍ය කලාව වැනි පැත්තට. ඉස්කෝලේ උත්සවවලට එහෙමත් සහභාගි වුණා. පුංචි කාලේ ඉඳලම මට සිංහල චිත්‍රපට නැරඹීමේ අවස්ථාව ලැබුණා. ඉස්සර අපි ගෙදරදි විතරයි දෙමළ භාෂාව කතා කළේ. අපි නුවර ඉන්න කාලේ අම්මා වැඩ කළේ ගලහ ඉස්කෝලෙක. උදේ අම්මා ගෙදරින් ගියාම ඉස්කෝලේ ඇරිලා එනකොට 4 - 5 වෙනවා. අපි සෙල්ලම් කළේ සිංහල යාළුවොත් එක්ක.’

කේෂවරාජන්ට ඇත්තේ සහජීවනයෙන් පිරී ගිය සොඳුරු ළමා කාලයකි. මහනුවර පොලිස් නිල නිවාසවල ගත කළ කාලයේ මසකට දෙවරක් සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරිමේ සිරිතක් එහි විය. මේ නිසා සිංහල චිත්‍රපට රැසක් නැරඹීමේ අවස්ථාව ඔහුට කුඩා කලදීම ලැබී ඇත.

‘විජය කුමාරතුංග අපේ තාත්තගේ හොඳම යාළුවෙක්. පස්සෙ කාලෙක අපි යාපනේ පදිංචියට ගියාම එයා අපේ ගෙදර ආවත් මට මතකයි. යාපනේ ගියාට පස්සේ දෙමළ චිත්‍රපට බලන්න පටන් ගත්තා. ගාමිණී, විජය දෙන්නම ඒ වෙනකොට සිංහල සිනමාවේ මගේ හිතේ ඇඳුණු නළුවෝ. මම හිතුවා ගාමිණී දෙමළ සිනමාවේ එම්. ජී. ආර්. වගේ කියලා. විජය ශිවාජි ගනේෂන් කියලා.

කේෂවරාජ්ගේ සිනමාගමනය අති දුෂ්කර වූවකි. ගැටවර විය, යොවුන් විය එළඹෙන විටම අඳුරු වර්ගවාදයේ සෙවණැලි යාපනේ පුරා පැතිරෙන්නට අර අඳිද්දී අධ්‍යාපනයෙන් දුරට යාමේ අභිලාෂය තරුණ සිත්වලින් ගිලිහී යන්නට විය. එහෙත් යටි සිතේ වූ සිනමා රුචිකත්වය වීඩියෝ කැමරාවක් භාවිත කරමින් සඵල කර ගන්නට කේෂවරාජ් උත්සාහ දැරීය. ‘නායගමේ නාගම් ඔහු එසේ කළ පළමු වීඩියෝ චිත්‍රපටය විය. වීඩියෝ ප්‍රොජෙක්ටර් මඟින් එය යාපනේ ප්‍රදේශයේ පමණක් ඔහුට පෙන්වන්නට හැකි විය. මේ චිත්‍රපටය කරන්නට ඔහු මුදල් සොයා ගත්තේ සිය මවගේ මාලයක් උකසට තැබීමෙනි. ඉන් වසරකට පමණ පසු ‘මරණම් වාලසිවින් මුස්වල්ල’ (ජීවිතය මරණයෙන් අවසන් නොවේ) නම් චිත්‍රපටය නිපදවීය.

‘මගේ වාසානාවකට වෙන්න ඕනෑ මේ චිත්‍රපටය ඒ කාලේ ප්‍රභාකරන් නරඹලා තිබුණා. ඊට පස්සේ ඔහු මේ චිත්‍රපටය මගෙන් සල්ලි දීලා ගත්තා. ඔවුන් ඒකට පෝස්ටර් ගහලා ප්‍රදර්ශනය කළා. ඔය කාලේ තමයි ඉන්දියන් හමුදාව ලංකාවට ආවේ. මට මතකයි ප්‍රභාකරන් අහල එවලා තිබුණා ඊළඟ චිත්‍රපටය කරන්නේ නැත්තේ ඇයි කියලා. ඔහු ඊට පස්සේ ක්‍රමවේදයක් හැදුවා අපි හදන චිත්‍රපට ඔහු මුදල් දීලා අරගෙන ඔහු පෙන්වලා ඉතිරි ලාබය අපට දෙන විදියට. නමුත් ඒක දිගට කරන්න බැරි වුණා යුද්දෙ පටන් ගත් නිසා. මම මැද පෙරදිග ගියා.

කේෂව නැවත ලංකාවට පැමිණෙනුයේ 1994 දීය. ඒ වන විට එල්. ටී. ටී. ඊ. සංවිධානය ඔවුන්ට චිත්‍රපට ඒකකයක් ද නිර්මාණය කර තිබිණි. කේෂව ලංකාවට පැමිණි ආරංචියෙන් එල්. ටී. ටි. සංවිධානය ඔහු එම චිත්‍රපට ඒකකයට සම්බන්ධ කර ගත්තේය. ඒ අනුව චිත්‍රපට 07 ක් ඔහු නිර්මාණය කළේය.

‘සාම සාකච්ඡා කාලේදී තමයි මට ප්‍රසන්න මුණ ගැහෙන්නේ. එතකොටත් ඔහු මගේ චිත්‍රපට කිහිපයක් බලලා තිබුණා. යුද්දෙ ඉවර වුණාම ‘සිනේ යාත්‍රා’ කියලා අපි’ චිත්‍රපට උලෙළක් කළා. එතනදි ධර්මසිරි බණ්ඩාරනායක වැන්නොත් මුණ ගැසුණා. අපි එකතු වෙලා චිත්‍රපට කරමු කියලා කතා වුණා. මේ කාලේ වෙනකොට මගේ ආච්චි අම්මට සිදුවුණ සත්‍ය සිදුවීමක් ඇසුරින් මම තිර පිටපතක් ලියලා තිබුණා. යුද්දෙ වෙලාවෙ නිවසේ තනිවුණු ආච්චි අම්මට හමුදා සොල්දාදුවෙක් පිහිට වෙච්ච අයුරු. ඒක කරන්න ඉරන්ති අබේසේකර කැමති වෙලත් හිටියා. ඒත් යුද්ධය නිසා කරන්න බැරිව ගියා. ‘පානෙයි මරත්තාඩු’ කියලා තව චිත්‍රපටයක් කරලා තියෙනවා. තාම ප්‍රදර්ශනය කර ගන්න බැරි වුණා. ඒ සඳහා මේ වන විට රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා. පසුගිය කාලේ යාපනේ සිනමා උලෙළේ මේ චිත්‍රපටය පෙන්නුවා.’

කේෂවරාජ්ලාගේ උතුරත්, ප්‍රසන්නලාගේ දකුණත් එක්ව නව සිනමාවක පෙරමඟ ලකුණු දකින්නට අපි බලා සිටින්නෙමු.