වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මලක සුවඳ සිව් සිය ගව් ඇසේයා යහපත් ගීතයට ආරාධනාවක්

මලක සුවඳ සිව් සිය ගව් ඇසේයා යහපත් ගීතයට ආරාධනාවක්

කලාව කියන මාධ්‍ය වර්ග තුනකට බෙදා දැක්විය හැකියි. ඒ උත්තම, මධ්‍යම ප්‍රමාණයේ සහ අවරගණයේ යනුවෙන්. එනම් උත්තම ගණයේ ගීතවල පද, සංගීතය, ගායනය යන තුනම වෙනස් අයුරකිනුයි පෙළ ගැසෙන්නේ.

‘මකරන්ද 5‘ පස්විධ ගැයුම් අසිරිය ප්‍රසංගය මේ මස 09 වැනිදා පස්වරු 7.00ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙයි. නිශ්ශංක දිද්දෙණියගේ ප්‍රධානත්වයෙන් රොඩ්නි වර්ණකුල, ඉන්දිකා උපමාලි, සමන් ලෙනින්, නිලක්ෂි හැලපිටිය, නවරත්න ගමගේ එකමුතු වන මකරන්ද ප්‍රසංගය පිළිබඳව, ප්‍රවීණ රංගන ශිල්පි නිශ්ශංක දිද්දෙණිය ‘සරසවිය‘ට කළ සංවාදයකි.

මේ ප්‍රසංගය ඔබ මකරන්ද යන නාමයෙන් නම් කිරීමට සිතුවේ ඇයි?

මකරන්ද කියන්නේ මල්පැණියි. මේ අවස්ථාවේ මගේ මතකයට නැඟෙන්නේ ගුත්තිලයේ තිබෙන කාව්‍යෝක්තියක්. ඒ ‘මලක සුවඳ සිව් සියගව් ඇසේ යා‘ යනුවෙන්. එහිදි පැවසෙන්නේ දිව්‍ය ලෝකයේ මල්වල ස්වභාවයයි. ඒ වගේ ම පළමු වතාවටයි අපේ සාම්ප්‍රදායික සාහිත්‍යයේ ‘සුවඳ ඇසේ යා‘ යනුවෙන් සඳහන් වන්නේ. මෙලෙසින් ගී මල් සුවඳ සිව් සිය ගව් ව්‍යාප්ත කිරීමේ අදහසිනුයි අප මේ ප්‍රසංගය පවත්වන්නේ. මේ අනුව සියලු කාරණා අනුවයි මේ ප්‍රසංගය ‘මකරන්ද‘ යන නමින් නම් කෙරෙන්නේ.

ගී මල් සුවඳ සිව් සිය ගව් ඇසේ යා යනුවෙන් අදහස් කිරීමට හේතු වූ කාරණය කුමක් ද?

කලාව කියන මාධ්‍ය වර්ග තුනකට බෙදා දැක්විය හැකියි. ඒ උත්තම, මධ්‍යම ප්‍රමාණයේ සහ අවරගණයේ යනුවෙන්. එනම් උත්තම ගණයේ ගීතවල පද, සංගීතය, ගායනය යන තුනම වෙනස් අයුරකිනුයි පෙළ ගැසෙන්නේ. එහි පද හඳුන්වන්නේ ගේයපද කාව්‍යය යනුවෙන්. එය සාහිත්‍යමය අගයකින් විය යුතුයි. එහි සංගීත රචනය කොයිතරම් උසස් තනු නිර්මාණයක් ද කියන වග වගේ ම ගායනයත් මධුර භවකින් යුතුව සිත් ගන්නා අයුරින් සිදු වනවා ද කියන කාරණා කෙරෙහි එහිදි අවධානය යොමු වෙනවා. එය අප හඳුන්වන්නේ සුභාවිත ගීතය නමින්. අවරගණයේ නිර්මාණ පිළිබඳ කතා කළහොත්, ඒවා නිර්මාණය වන්නේ හුදු විනෝදය සඳහා පමණයි. නැත්නම් නැටීම පමණක් මූලික කරගෙනයි. පිට්ටනිවල තිබෙන වේදිකාවේදි වුණත් එහි නිවේදකයා පවසන්නේ සද්දේ ගැනයි. එහිදි මගේ මතකයට පිවිසෙන්නේ කුමාරතුංග මුනිදාසයන් ශබ්ද රසය තිරිසන් රසය ලෙස හඳුන්වන බවයි. තිරිසනුන්ට කතා කරන්න වෙන ම භාෂාවක්, සද්දයක් තිබෙනවා. ඔවුන් ඒවාට අනුවයි ප්‍රතික්‍රියා දක්වන්නේ. ඒ අනුව සද්දවලින් පමණයි ඒ සතුන් හැසිරවිය හැක්කේ. ඒ වගේ ම සද්ද වලිනුයි ඔවුන්ගේ යම් යම් ක්‍රියා හඳුනා ගත හැක්කේ. මේ නිසයි ශබ්දය තිරිසන් රසය ලෙස හැඳීන්වුණේ. අවරගණයේ ගීත විඳීන අයත් අන්න ඒ වගේ යැයි අපට හැඟෙනවා. මා ඒ අයට අපහාස කරනවා නොවෙයි. එවැනි රසයක් විඳීන අයට උපරිම තලයකට අරගෙන ඇවිත් ඔවුන්ගේ සිතේ රස වින්දනයක් නිර්මාණය කරන්නයි අප මේ උත්සාහ ගන්නේ. ඒ සඳහා අපගේ උත්සාහය පමණක් නොවෙයි ඔවුන්ගේ උත්සාහයක් වැදගත් වේවි. බෝම්බ, තුවක්කු අරගෙන ගිහින් විපත් ඇති කරමින් විඳීන පිට්ටනි සංගීතයක් වෙනුවට සංවේදී සංස්කෘතික මනුෂ්‍යයකු බිහි කිරීමටයි අපට වුවමනා වී ඇත්තේ. උසස් කලාවකට එය කළ හැකියි. ගීතය මෙන්ම නවකතාව, කවිය, නාට්‍ය වැනි අනෙක් නිර්මාණ හරහාත් මෙයම සිදු කළ හැකියි. ඒ නිසයි සිව් සිය ගව් ඇසෙන්නට තරම් වන මේ ප්‍රසංගයට මුල පුරන්නේ. ඒ මඟින් අවරගණයේ ගීතවලට හුරුපුරුදු වී සිටි ශ්‍රවණ සමාජය ටික ටික ඉහළ තලයට අර ගැනීමටයි අප ආරක්ෂා කරන්නේ. මෙය එක විදියකට උඩුගම්බලා යෑමක්. පටිසෝතගාමී කටයුත්තක්.

මේ උඩුගම්බලා යෑම ඔබට පමණක් තනිවම කළ නොහැකියි. ඔබ වටා එකමුතු වුණු පිරිසක් සමඟයි ඔබ මේ කාර්යය කරන්නේ

ඒ සඳහා දායක වන ප්‍රවීණ පිරිසකුයි මා වටා ඉන්නේ. රොඩ්නි වර්ණකුල කියන්නේ උපහාසාත්මක හා ප්‍රහසනාත්මක ගීත ගැයිය හැකි, හඬ ලෙලවා බොහෝ දුරට ඇසෙන්නට ගයන්නට හැකි ශිල්පියෙක්. ඉන්දිකා උපමාලි කියන්නේ කේමදාස මාස්ටර් බිහිකළ සිනමා රූපී සංගීතය වගේ ම වේදිකා නාට්‍ය නාට්‍යනුරූපී හා ටෙලි නාට්‍යරූපී සංගීතය යනාදිය හා බටහිර ඔපෙරා සංගීතයත් සමඟ මුසු වුණු කටහඬක් තිබෙන ශිල්පිනියක්. සමන් ලෙනින් මානව වංශ සංගීත හෙවත් ජන සංගීත අංශයේ නාද රටා ඇසුරින් නිර්මාණාත්මක ගීත ගායනා කර රසිකයන් අතරට පැමිණි ගායකයෙක්. නිලක්ෂි හැලපිටිය සප්තක තුනේ ම හඬ මනාලෙස හැසිරවිය හැකි මිහිරි අයුරින් ගයන්නට හැකි ගායිකාවක්. වර්තමානයේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු වේදිකා නාට්‍යයේ සුප්පා දේවිගේ චරිතයට පණ පොවන්නේ ඇයයි. මා ඇතුළු තම තමන්ට ආවේණික හඬවල් රැගත් අපේ හඬවල් සියල්ලම වේදිකාව ඇසුරු කළ හඬවල් වීමත් මෙහි සිටින්නන්ගේ විශේෂත්වයක්. ඊට අමතරව නවරත්න ගමගේ පැමිණියේ ද වේදිකාවෙන්. සරච්චන්ද්‍රයන්ගේ අත්වැල් ගායන කණ්ඩායමට සම්බන්ධ වී, පසුව සාමාන්‍ය විදියට සංගීතයට පිවිස, ඒ පිළිබඳ පර්යේෂණ කරමින්, ඉතා උසස් රසවින්දනයක් තිබෙන මේ රසවින්දනය මනාව දියුණු කරගත් ශිල්පියෙක්. වේදිකාව, සිනමාව ආදී විවිධ ක්ෂේත්‍රවල නිර්මාණවල සංගීතය නිර්මාණය කළ ඔහුයි ‘මකරන්ද‘ ප්‍රසංගයේ සංගීතය මෙහෙයවන්නේ. ඒ පස්දෙනාට අමතරව නිර්මාණාත්මක පසුතල රචනා කරන ලද්දේ කවියකු වන බුද්ධදාස ගලප්පත්තියි. මේ කාර්යයේ පසුබිමින් සිටින අනෙක් මිනිසා වන්නේ විමල් කැටිපෙආරච්චියි. මෙහි ප්‍රසංග පිටපත රචනා කරන ලද්දේ ඔහුයි. මේ සියල්ලන්ගේ එකමුතුවෙනුයි ‘මකරන්ද‘ ඔබ හමුවට පිවිසෙන්නේ.

‘මකරන්ද‘ ප්‍රසංගයේදී ගැයෙන ගීත විවිධ අවධිවලට අයත් ඒ ගීත පෙළ ගැසී තිබෙන්නේ කුමන ආකාරයෙන් ද?

‘මකරන්ද‘ ප්‍රසංගය සඳහා ගීත විසිහතරක් ගැයීමට නියමිතයි. ඒ ගීත අවධි වශයෙන් ගත්තොත් පැරැණි ම යුගය නියෝජනය කරන නාඩගම් ගීතයකුත් මෙහි ඇතුළත්. එමෙන්ම නූර්ති ගීත, ජන කවි ඇසුරින් සකස්කර ගත් ගීතත්, හුදෙක් ගීත රචකයන් කාල්පනිකව රචනා කරන ලද ගීත, ප්‍රේම ගීත, විරෝධා කල්පවලට බර ගීත ආදී විවිධ මාතෘකා හරහා රචනය වුණු ගීතයි මේ ප්‍රසංගයේදී ගැයෙන්නේ. යුග වශයෙන් ගත්තොත් කාලවකවානු කිහිපයකට අයත් වන ගීතයි මෙහිදි ඉදිරිපත් වන්නේ. සමහර ගීත සඳහා අත්වැල් ගායක කණ්ඩායමක් ද අපට සහයෝගය දක්වනවා. ප්‍රසංගය සඳහා ම තෝරා ගත්ත සෑම ගීතයක ම වගේ මෙලෙස පසුබිම් කතාවකින් යුක්තයි. ඒ නිසා දැනුමත්, අවබෝධයත් සමඟයි ‘මකරන්ද‘ ප්‍රසංගය පැවැත්වෙන්නේ. පාසල් ගුරු - සිසු ප්‍රජාවටත්, විශ්වවිද්‍යාල ගුරු - සිසු ප්‍රජාවටත් මේ ගීත අහන විට ඒ පිළිබඳ සොයන්නට හැකියි. ඒ නිර්මාණ පිළිබඳ ලියැවුණු බොහෝ දේ අප සමරු කලඹට ඇතුළත් කළා. ගීතය කියන්නේ අද බොහෝදෙනා අතර ජනප්‍රියත්වයට පත්වුණු මාධ්‍යයක්. ඒ නිසයි ප්‍රසංගය සඳහා විශේෂයෙන් ම ගීත ඇතුළත් කරන ලද්දේ.

වසර හතරකට පෙරයි මේ ප්‍රසංගය කිරීම පිළිබඳ සිතුවිල්ල මගේ සිතට පිවිසෙන්නේ. ඒ අදහස මා මුලින් ම පවසන්නේ සරසවි පොත් ආයතනයේ එච්. ඩී. ප්‍රේමසිරි මහත්මයාටයි. ඔහු මට පවසන්නේ ඔබ කරගෙන යන්න මම උදව් කරන්නම් යනුවෙන්. එහෙත් එය ක්‍රියාවට නැඟිය හැකි වූයේ මේ වසරේයි. නෙළුම් පොකුණ රඟහල ඒ සඳහා මා තෝරා ගත්තා. මේ කටයුත්ත සඳහා පෞද්ගලික අංශයේ වගේ ම රාජ්‍ය මට්ටමින්, හිත - මිත්‍ර මට්ටමින් බොහෝදෙනා උදව් කළා. ඒ වගේ ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ,මුදල් කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, සංස්කෘතික කටයුතු ඇමතිතුමා, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සනත් වීරසූරිය, සංකෘතික අධ්‍යක්ෂතුමිය ඇතුළු බොහෝදෙනා ඒ අතර සිටියා. පළමු ප්‍රසංගය නෙළුම් පොකුණේ පැවැත්වුවත් තවත් ප්‍රසංග දිගින් දිගටම පවත්වාගෙන යෑමේ අදහසක් තිබෙනවා. ඒ අනුව රටවටා ‘මකරන්ද‘ ප්‍රසංගය රැගෙන යෑමට අප සූදානම්.