වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




බෞද්ධ පූජාකර්මවල නාට්‍යමය ලක්ෂණ
2018 උසස් පෙළ සඳහා සැරසෙමු

බෞද්ධ පූජාකර්මවල නාට්‍යමය ලක්ෂණ

ආලවක දමනය

ධර්ම දේශනාවට වඩින භික්ෂූන් වහන්සේ ප්‍රථමයෙන් පිරිස පංච ශීලයෙහි පිහිටුවයි. ඉන් අනතුරුව ආලවක දමනයේ කතා පුවතේ මුල් කොටස දේශනා කරයි. එහිදී අලව් රටේ අලව් රජතුමා මුව දඩයමේ ගිය ආකාරයත්, ආලවක යක්ෂයාට බිලිවුණු ආකාරයත්, ඔහුට දිනපතා නරබිල්ල බැඟින් දීමට පොරොන්දු වූ ආකාරයත්, මෙලෙස නරබිලි දී අලව් රජුගේ පුත් කුමාරයා බිල්ලට දීමට සිදු වූ ආකාරයත්, එදින අලුයම් වේලේ ලොව බලන බුදුන් වහන්සේ මෙම සිද්ධිය දිවැසින් දැක ආලවක යක්ෂයාගේ විමානයට වැඩම කළ බවත් දේශනා කරයි.

ඉතිරි කොටස නාට්‍යානුසාරයෙන් රඟ දැක්වේ.ගද්‍රභයා ලෙස වෙස් වලාගත් අයෙකු ආලවක යක්ෂයාගේ විමානය මුර කරයි. භික්ෂූන් වහන්සේ බුදුන් වහන්සේගේ දෙබස් ප්‍රකාශ කරයි. මහායාන බුදු දහමේ මෙන් බුදුන් වහන්සේගේ චරිතයේ රඟපෑමක් මෙහිදී සිදු නොවේ. එයට හේතුව වස්වදීවි යැයි බියක් ඔවුන් තුළ තිබූ නිසාය. ගද්‍රභයා සහ බුදුන් වහන්සේගේ චරිතය අතර නාට්‍යමය සංවාදයක් සිදුවේ. එහිදී බුදුන් වහන්සේට පිටතට යන ලෙස ගද්‍රභයා අණ කරයි. තමා පිටතට නොයන බව බුදුන් වහන්සේ ප්‍රකාශ කරයි. මේ බව ආලවක යක්ෂයාට දැනුම්දීමට ගද්‍රභයා පිරිස මැදින් පිට වී යයි.

නැවත භික්ෂූන් වහන්සේ කතාව දේශනා කරයි. එහිදී ආලවකයාගේ බිරිඳට බුදුන් වහන්සේ ධර්මය දේශනා කළ බවත්, යක්ෂයන්ගේ රැස්වීමට ගොස් සිටින යක්ෂ සෙනවියන් එය හමාරව නැවත යන විට බුදුන් වහන්සේ සිටින බැවින් ආලවකයාගේ විමානය පසු කළ නොහැකි වූ බවත්, එම නිසා බුදුන් වහන්සේ වෙත පැමිණ මුණගැසුණු බවත්, ආලවකයා යක්ෂ සමාගම හමාර වී නැවත තම විමානයට පැමිණෙන බවත් භික්ෂූන් වහන්සේ දේශනා කරයි.

මෙතැන් සිට කොටස නාට්‍යාකාරයෙන් රඟ දැක්වේ. ධර්ම ශාලාවේ පසුබිමින් හූ හඬක් ඇසේ. බලි තොවිල්වල දක්නට ලැබෙන යක්ෂයකු මෙන් වෙස් වලාගෙන සිටින ආලවක යක්ෂයා ප්‍රේක්ෂකයන් අතරින් භික්ෂූන් වහන්සේ අසලට එයි. ඔහු ගෙජ්ජි සොලවමින් භික්ෂූන් වහන්සේ ඉදිරියේ භයානක විලාසයක් මවාපායි. ගද්‍රභයා බියෙන් තැති ගනිමින් ඔහු අසලින් සිටී. ආලවක යක්ෂයා බියකරු විලාසයක් මවාපාමින් ඔබමොබ ඇවිදියි. විද්‍යාචක්‍රවර්ථි බුත්සරණේ කියා ඇති අයුරින් ආලවක යක්ෂයා විවිධ වැසි වැස්ස වූ ආකාරය භික්ෂූන් වහන්සේ දේශනා කරයි. ආලවක යක්ෂයා සහ බුදුන් වහන්සේ අතර ඇතිවන සංවාදය නාට්‍යමය සංවාදයකි. අවසානයේ යක්ෂයා බුදුන් වහන්සේට (භික්ෂුවට) වැඳ තෙරුවන් සරණ යයි.

නැවත භික්ෂූන් වහන්සේ කතාව දේශනා කරයි. එහිදී ඇමතිවරු රජුගේ පුතා ආලවක යක්ෂයාට බිලිදීම සඳහා ගෙන ආ බව භික්ෂුව දේශනා කරයි. ඉතිරි කොටස රඟ දක්වා පෙන්වයි. එහිදී ඇමතියන් දෙදෙනා ලෙස පුද්ගලයන් දෙදෙනකු වෙස් වලාගෙන සිටී. කුමාරයා ලෙස බෝනික්කෙකු රැගෙන පැමිණෙයි. ඇමතියන් යක්ෂයාගේ අතට කුමාරයා භාර දෙති. යක්ෂයා ලජ්ජාවෙන් ඇඹරී භික්ෂුව අතට දරුවා භාර දෙයි. භික්ෂුව දරුවා නැවත ඇමතියන් අතට භාර දෙයි. අතින් අතට ගිය නිසා කුමාරයා ‘හත්ථාලවක’ නම් වූ බවත් අවසානයේ යක්ෂයා සෝවාන් වූ බවත් භික්ෂූන් වහන්සේ දේශනා කරයි.

ආලවක දමනයේ දක්නට ලැබෙන නාට්‍යමය ලක්ෂණ

කතා පුවතක් දක්නට ලැබීම

කථිකයෙක් හෙවත් පොතේ ගුරෙක් සිටීම (භික්ෂුව)

සමාරෝපයක් දක්නට ලැබීම (ගද්‍රභයා, ඇමතියන්)

භික්ෂූන් වහන්සේ බුදුන් වහන්සේගේ දෙබස් ප්‍රකාශ කිරිම

රංග භාණ්ඩ භාවිතය (බෝනික්කා)

පේ‍්‍රක්ෂකයන් සිටීම (සැදැහැවතුන්)

ප්‍රේක්ෂකයන් අතරින් ගොස් රඟපෑම

ගද්‍රභයා සහ භික්ෂූන් වහන්සේ අතර සංවාදය

ආලවකයා සහ බුදුන් වහන්සේ අතර සංවාදය

අංග රචනය සහ රංග වස්ත්‍ර භාවිතය

දොරකඩ අස්න

සති පිරිත පවත්වන විට සෑම දිනකම උදේ 6.00 ට පිරිත් සජ්ජායනය කරන නමුත් සත්වැනි දවස එසේ නොකරයි. එදින භික්ෂූන් වහන්සේලා වඩින්නේ උදේ 8.00 ට පමණය. එදින වෙනදා මෙන් නොව පැය භාගයකින් පමණ සියලු වැඩහමාර කරයි.

දේවදූතයෙකු ලෙස වෙස් වලාගත් පිරිමි ළමයෙක් කලින් පෙරහැරේ හිස මත තබාගෙන ආ තල් ගොබයක් සංඝයා වහන්සේලාට පිරිනමයි. මෙහිදී එක් භික්ෂූන් වහන්සේ නමක් ලිත බලා දේවදූතයා ගමන ආරම්භ කළ යුතු වේලාව හා නැකත තල් කොළයක ලියා සංඝයා ඉදිරියේ කියවා දැනුම් දෙයි. තවත් භික්ෂූන් වහන්සේ නමක් විහාර අස්නය කියවයි. එම විහාර අස්නයෙන් කියවෙන්නේ සියලු විහාරවල නම් කියා, එම විහාරවල සහ අසල දේවාලවල දෙවිවරුන්ට එදින රාත්‍රියේ මංගල සූත්‍රය සහ ආටානාටි සූත්‍ර දේශනාව ඇසීමට පැමිණෙන ලෙස දැනුම් දීමයි.

මින් අනතුරුව ලිත කිය වූ භික්ෂුවම දේවාල තල්පත ලියයි. මෙය තල්පත් 4 ක් ලියනු ලබයි. එය අසල පිහිටි දේවාලවල දෙවියන්ට පැමිණ පින් ලබාගන්නා ලෙස කෙරෙන ‘සංඝාන්තිය’ (සංඝයාගේ අණ) කි. මෙය උල්ලංඝනය නොකළ යුතුය. මෙම දේවාල තල්පත භික්ෂූන් වහන්සේ නමක් දේව දූතයාට භාර දෙයි. ඉන්පසු භික්ෂූන් වහන්සේලා පිටව යයි.

තල්පත් සතර අලංකාර ලෙස සකස් කරන ලද ලීයක දෙකොනෙහි එල්ලා, දේව දුතයා කඩුගත් දොරටු පාලකයන් අට දෙනකු පිරිවරින් දේවාලවලට ගෙන යයි. භික්ෂූන් වහන්සේලා ද පෙරහැරින් දේවාලයට වැඩම කරති. දේවාලයට වැඩම කළ පසු විෂ්ණු සහ කතරගම දේව රූප ඉදිරියේ භික්ෂූන් වහන්සේලා කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරයි. ඉන් අනතුරුව වාදනය කෙරෙන මඟුල් බෙර වාදනයෙන් පසුව දේව දූතයා දේවාල තල්පත කියවයි. ඉන් අනතුරුව පහන් දල්වා පිරිත් පැන් ඉසිනු ලබයි. අවසානයේ තල්පත් සතර දේවාලයේ සතර දිසාවේ එල්ලා භික්ෂූන් වහන්සේලා විහාරයට වැඩම කරති.

භික්ෂූන් වහන්සේලා නැවත වඩින තුරා දේවදූතයා කඩුගත් ආරක්ෂකයන් විසින් මුර කරන කාමරයක තබයි. අනුශාසනාව දේශනා කිරීමට පත්කළ භික්ෂූන් වහන්සේ සමඟ දේව දූතයා ද රාත්‍රියේ පිරිත් කීමට භික්ෂූන් වහන්සේලා වඩින පෙරහැරේ පැමිණේ.

දොරකඩ අස්නේ අවසාන ජවනිකාව අතිශයින්ම නාට්‍යමය ජවනිකාවකි. භික්ෂූන් වහන්සේලා පිරිත් මණ්ඩපයේ වැඩ සිටිති. දේවදූතයා දොරටුව ළඟ සිටියි. දොරටු පාලකයෝ දේව දූතයා දෙපස සිටිති. දේවදූතයා කැටුව ආ භික්ෂුව සහ දේවදූතයා අතර සංවාදයක් ඇතිවේ. ඉන් අනතුරුව දේවදූතයා දොරකඩ අස්නේ පෙල කියවයි. උපද්‍රව නිවාරනයට සහ අභිවෘධි වර්ධනයට විරූඨ, විරූපාක්ෂ, දෘථරාෂ්ඨ, වෛශ්‍රවණ යන සතරවරම් දෙවිවරු පිරිවරින් වැඩි බව එයින් කියැවේ. අවසානයේ භික්ෂුව අනුශාසනාව කරනු ලබයි.

නාට්‍යමය ලක්ෂණ:

සමාරෝපය (දේවදූතයා, දොරටු පාලකයෝ)

සංවාද භාවිතය (දේවදූතයා සහ භික්ෂුව අතර)

රංග වස්ත්‍ර, අංග රචනය, රංග භාණ්ඩ භාවිතය

* සංගීත භාවිතය (මඟුල් බෙර වාදනය)

ප්‍රවීණ ආචාර්ය, සම්මානනීය නාට්‍යවේදී

චාමික හත්ලහවත්ත ගෙන එන උසස් පෙළ නාට්‍ය හා රංග කලාව