වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




දිරිය මිනිසකුගේ කතාව අස්වැන්න

දිරිය මිනිසකුගේ කතාව අස්වැන්න

මේ 19 වන සියවසේ අග භාගයයි. බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව ජීවත් වූ ලාංකිකයන් බහුතරයකගේ දිවි ගෙවුණේ ගොවිතැනින්ය. බුංජප්පු ද ඒ මිනිසුන් අතර එක් මිනිසකු විය. සතුටින් සොම්නසින් දිවි ගෙවූ ඔහුගේ ජීවිතයට එක්වරම නස්පැත්තියක් සිදු විය. දුක උරුම කරගත් මිනිසාට කරදර කම්කටුලු එමටය. ඔහුගේ බිරිය හදිසියේ මෙලොව හැර ගියාය. දරුවා සහ බුංජප්පු තනි විය. මරණයට හේතුව ගමේම වූ ඊර්ෂ්‍යාකාරයකුගේ හුනියමකි.

වනාන්තරය සැරිසරා බලන කළ මේ රූස්ස ගස් මැද නොපෙනෙන බලවේග බොහොමයකි. බුංජප්පු එයින් මිදෙන්නට වෙර ගන්නේය. ඔහු සිය දරුවා ද රැගෙන වනගත වූයේය. ඒ තමා වටා ජීවත් වූ පිරිස් කෙරෙහි ඇති වූ කලකිරීමෙනි. වනාන්තරය සමඟ ඔට්ටු වන ඔහු එය මට්ටු කරන්නට වන මැද පැලක් සාදා දරුවා සමඟ පදිංචි විය. අවාසනාව මිනිසකු සොයා ලුහුබඳිද්දී ඉන් මිදෙන්නට මඟක් නැත. ඔහුගේ එකම දරුවා අවාසනාවන්ත ලෙසට පිඹුරකුගේ ග්‍රහණයට නතුව මරු තුළට ගියේය.

කැලය මැද තනි වන බුංජප්පුගේ ජීවිතයට නැවත සෞභාග්‍යය උදා වන්නේ සුදු ජාතික සොල්දාදුවන්ගෙන් මිදී කැලයට පැන ගන්නා පොරොන්සිනාගේ හමුවත් සමඟිනි. ඇය ද ඉතා ධෛර්යවන්ත යුවතියකි. බුංජප්පු සමඟ ඈ දීග කන්නට පටන් ගත්තාය. බුංජප්පුගේ ගොවිතැන ද එතැන් පටන් සරු වන්නට පටන් ගත්තේය. කැලෑව එළිවේ. විවිධාකාරයේ පුද්ගලයින් බුංජප්පුගේ අසල්වැසියන් බවට පත්වේ. ඔවුන් බුංජප්පුගේ නිවස ආශිත ප්‍රදේශයේ නවාතැන් ගනියි. බුංජප්පු සහ ඔවුන්ගේ හැල හැප්පීම් මැද අලුත් මිනිසුන්ගේ ජීවිත කතාව පෙරට ඇදෙයි.

1971 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ජයසේන ජයකොඩි සූරීන්ගේ අස්වැන්න නවකතාව ඇසුරෙන් සැම්සන් කුමාරගේ තැනූ අස්වැන්න ටෙලි සිතුවම බුංජප්පුගේ කතාවයි.

මෙහි බුංජප්පු ලෙස ජගත් චමිල රංගනයේ යෙදෙයි. අස්වැන්න සෙසු චරිතයන් මෙසේය.

ඩබ්ලිව්. ජයසිරි, ක්ලීටස් මෙන්ඩිස්, පාලිත සිල්වා, රශිප්‍රබා සංදීපනී, රින්ස්ලි වීරරත්න, ජගත් බෙනරගම, නිල්මිණි තෙන්නකෝන්, මාලි ජයවීරගේ, රෝහිණී වික්‍රමආරච්චි, උපුල් වීරසිංහ, අයේෂා එදිරිසිංහ, දිනුක මීගහකුඹුර, ප්‍රේමනාත් ජයසේකර, සරත් දිසානායක, ප්‍රියා විතානාච්චි, ශාක්‍යා

තීක්ෂණි ජයතිලක, දර්ශන සඳරුවන් රණසිංහ, හංසනී පෙළකැටියගේ, නයිජල් ස්ට්‍රෝක, සමීන්ද්‍ර කුමාරගේ, නිරුපමා රංචාගොඩ, සචිත් කුමාරගේ, සුභාග්‍යා සේනිදු.

නිෂ්පාදන පිරිවර:

රූපවාහිිනී රචනය - සැම්සන් කුමාරගේ

නිෂ්පාදනය - අජිත් ගුණතිලක

කැමරාකරණය - මයුර කෞශල්‍ය

අංග රචනය - ගාමිණී කොස්තා

සහාය අංග රචනය - ශ්‍රීලාල් හේමන්ත

ඇඳුම් නිර්මාණය - චිත්‍රා විජේරත්න

සහාය අධ්‍යක්ෂණය - තුෂාරි ජයසිංහ, සුනෙත් රසාංග,

පද්මසිරි විජය බණ්ඩාර

කොණ්ඩා සැකසුම - සහන් බණ්ඩාර

විධායක නිෂ්පාදනය - සරත් දිසානායක

නිෂ්පාදන කළමනාකරණය - රොෂාන් බෙලිකැටිමුල්ල