වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සොඳුරු මිනිසකුගේ සමුගැනීම

සොඳුරු මිනිසකුගේ සමුගැනීම

9.05 වැඩසටහන ඔබට අමතක නම් පුදුමයකි. අනූව දශකයේ මුල් භාගයේදී ජාතික නාළිකාවෙන් සතියේ දිනවල හරියටම රාත්‍රී නවයයි පහට විකාශය වූ එය එකල ඉතාම ජනාදරයට පත් වූ කාලීන වැඩසටහනක් විය. එය මෙහෙය වූයේ හේමනලීන් කරුණාරත්නය. ඔහු ද ඉතාම ඉක්මනින් ජනතාව අතරට ගියේය. එතැන් පටන් අද දක්වාම හේමනලීන් කරුණාරත්න සහ එම සොඳුරු රුව කිසි කෙනෙකුගේ මතකයෙන් ගිලිහීි නොගියේය. ඒ සහෘදයා ජීවන ගමන් මග හාමරකොට ඇත. එකී පුවත අපට විස්මයජනක එකක් විය. ගහක් ගලක් මෙන් සිටි හේමනලීන් දෛවයේ නියමය පරිදි ඉකුත් අඟහරුවාදාවේ අවසන් හුස්ම පොද වා තලයට මුසු කළේය.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 56 ක් විය. හේමනලීන් ලෙසට නම තිබුණ ද ඔහු කොයි කා අතරේත් ප්‍රකට නලින් අයියා ලෙසටය. ඊයේ පෙරේදා නිවේදනයට යොමු වූ අය පවා ඔහුව ඇමතුවේ එලෙස ආදරණීයවය. තමන්ටම ආවේණික වූ ශෛලියකින් නිවේදනය නමැති කලාවෙන් නලීන් අයියා ප්‍රේක්ෂකයින් ග්‍රහණය කොට ගත්තේ ඉතාම සීරුවෙනි. ඔහුගේ හඬ තුළ තිබුණේ මහත් වූ ළයාන්විත භාවයකි. එමෙන්ම මනාව පාලනය වූ හඬකි. ඔහුව හඳුනා ගැනීමට රුව අවශ්‍යම නොවීය.

හඬ පමණක් ප්‍රමාණවත් විය. පසුකාලීනව ස්වර්ණවාහිනියට පැමිණෙන නලීන් අයියා එහි වැඩසටහන් අධ්‍යක්ෂ ධූරය හොබ වන්නේය. ඉන් නොනැවතී තවත් නිවේදන පරපුරක්ම රටට දායාද කරන්නේය. අවසනදී හෙරිටේජ් ටී වී නමැති තමන්ගේම රූපවාහිනී නාලිකාවක් අරඹන නලින් අයියා තවත් වෙනසක් කිරීමට කටයුතු කරන ලදී. හේමනලීන් කරුණාරත්න යනු විශිෂ්ට වූ නිවේදන දාමයක තවත් එක් ප්‍රබල පුරුකක් වන්නේය. ඔහුගේ අකල් වියෝව අපට තදින් දැනෙන්නේ එහෙයිනි.