වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




මේකප් අවුල

මේකප් අවුල

සාමාන්‍යයෙන් නළුවකුට හෝ නිළියකට මේකප් දාන්නේ ඊට අදාළ දර්ශන තලයේදී. රූගත කිරීමට පොඩි වේලාවකට පෙර තමයි එහෙම හැඩගන්වන්නේ. නමුත් ඊට හාත්පසින්ම වෙනස් වූ දෙයක් පසුගියදා සිදු වුණා. දර්ශන තලය තිබුණේ ඇහැටුවැව. නළුවට මේකප් දැම්මේ කොළඹ. මෙහෙම කළ අංග රචනා ශිල්පියා වෙන කවුරුවත් නොව නලීන් ප්‍රේමතිලක. සිද්ධිය මේකයි.

සුමිත් රෝහණ තිත්තවැල්ගල අධ්‍යක්ෂණය කළ පුංචි අන්දරේ සිනමා සිතුවමේ එක දවසක ෂූට් එකක් තිබුණා. එය සඳහා සියලු දෙනා සහභාගි වුවත් එහි නලීන්ට දර්ශන තලයට යන්න බැරි වුණා. ඒ කොළඹ තිබුණු වැඩක් නිසා. නමුත් නලින් ගෝලයෝ දෙන්නෙක් එහෙ යැව්වා. එදින දර්ශනයකට අවශ්‍ය නළුවකු හිටියා. ඔහුගේ මේකප් එක කාටවත් දාන්න බැහැ. නලීන්ට විතරමයි පුළුවන්. ඉතින් නලීන් කළේ කොළඹ ඉඳන් මේකප් එක දාලා අර නළුවට එදා රෑම ඇහැටුවැවට පිටත් කරපු එක. නළුවා පැය ගණනාවක් මේකප් පිටින්. කොහොම හරි පහුවෙනිදා අර නළුවා හොඳින් රූගත කිරීම්වලට සහභාගි වුණා. වැඩේ කියන්නේ එදා රූගත කිරීම් ඉවරවෙලත් නලීන් නළුවට දාපු විග් එක ලෙහෙසියෙන් ගලවන්නට බැරිවීම. බොහොම අමාරුවෙන් තමයි ඒ විග් එක ගලවලා තියෙන්නේ. නලීන් සෑහෙන්න තදට මේකප් එක දාලා.