වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




මම ජනපි‍්‍රය නිළිය වුණේ ගෙදරින් කූපන් දාලා නොවෙයි

මම ජනපි‍්‍රය නිළිය වුණේ ගෙදරින් කූපන් දාලා නොවෙයි

අනුලා කරුණාතිලක

1964 වසරේ අභිමානවත් සිනමා සම්මාන උලෙළක අසිරිය මෙරට ජනතාවට ගෙන දෙමින් පළමු වැනි සරසවිය සම්මාන උලෙළ අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. සරසවිය තවත් අභිමානවත් සිනමා සම්මාන උලෙළකට සූදානම්වන මේ අවස්ථාවේදී ප්‍රථමවරට හොඳම නිළියට හිමි සම්මානය මෙන්ම ජනපි‍්‍රය නිළියට හිමි සම්මානය ද වශයෙන් සම්මාන ද්විත්වයක් හිමිකරගත් රංගන ශිල්පියක වෙනුවෙන් Road to prestige අද වෙන් වේ.

තරුවක් වීමේ භාග්‍යය හැමෝටම නොලැබෙන්නකි. එසේම එම තරුවල ජනප්‍රියත්වය යුග ගණනක් පැවැතෙන්නේ රිදී තිරයේ, පුංචි තිරයේ හෝ වේදීකාවේ අමරණීය වූ චරිත ජීවමාන කිරිම සමඟිනි. ගම්පෙරළියේ ලැයිසාට පණ දෙමින් රිදී තිරයට පිවිසි අනුලා කරුණාතිලකද එවැනි වූ භාග්‍යවන්ත නිළියක වූවාය. 1968 වසරේ සරසවිය සම්මාන උලෙළේ ජනප්‍රියම නිළිය ලෙසින් පිදුම් ලබන්නට ඇය වාසනාවන්ත වූවාය. අනතුරුව 1969 සහ 1970 වසරවලද ඒ ජනප්‍රිය නිළි කිරුළ ඇය සතු විය.

ගම්පෙරළියෙන් පසු ඈ චණ්ඩියා, පරසතුමල්, රන්සළු, මී මැස්සෝ, සීතල වතුර වැනි චිත්‍රපට රැසක් සිය රංගන කෞෂල්‍යෙයන් ඔපවත් කළාය. ගොළු හදවතේ දම්මි ජීවමාන කළේද අනුලා ය. දම්මි ලෙසින් ඇය යුග යුග ගණනාවක් ගතවී අදටද ඒ ජනප්‍රියත්වයේ කිරුළ දරන්නීය. 1969 වසරේ සරසවිය සම්මාන උලෙළ තම නාමය ඉහළින් රැඳවීමට ඇය සමත් විය. ඒ ප්‍රථමවරට හොඳම නිළිය මෙන්ම ජනප්‍රිය නිළිය ලෙසින්ද අභිසෙස් ලබමිනි. අද සරසවිය මතක සැමරුම ඇය වෙනුවෙනි.

ඔබ සිනමාවට අභිෂේක කළ ගම්පෙරළිය සම්මානනීය වූ ප්‍රථම සරසවිය සම්මාන උලෙළේ සොඳුරු මතකය යළි සිහිපත් කරමු?

සරසවිය සම්මාන උලෙළ අපේ රටට සිනමා සම්මාන උලෙළක සිරිය මහ ඉහළින් අත්විඳීන්න ලැබුණු විශේෂ අවස්ථාවක්. ගම්පෙරළියට දායක වෙනකොට මගේ වයස අවුරුදු දහසයක්. පළමු සරසවිය සම්මාන උලෙළට දායක වෙන්න ලැබුණෙත් ඒ නිසා. එදා නළු නිළියන් සම්මාන උලෙළ පැවති අශෝක සිනමා ශාලාව වෙත කැඳවා ගෙන ගියේ අලංකාර ලෙස සැරසූ විවෘත රථ පෙරහරකින්. ඒ වුණත් මම ඒ විවෘත රථයේ ගියේ නැහැ. මොකද ලෙස්ටර් මහත්තයා සහ සුමිත්‍රා මහත්මිය මා ඔවුන් සමඟින් කැඳවාගෙන යන්න තීරණය කරලා තිබුණේ.

එදා මම සැරසුනේ ඉන්දියානු ක්‍රමයට. මාව හැඩ කළේ ලතා අක්කා. ඇය සීතල වතුර චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගේ දියණියක්. තිස්ස ලියනසූරිය මහතාගේ ආදරණීය බිරිඳ වන්නේ ඇය යි. ලතා අක්කායි ඇගේ සහෝදරියොයි මාව ලස්සනට අන්දවලා හොඳ කොණ්ඩ මෝස්තරයකුත් දැම්මා. ගම්පෙරළිය චිත්‍රපටයට එදා සම්මාන ගොඩක් ලැබුණා.

1968 වසරේ සරසවිය පිදූ ජනප්‍රිය නිළි කිරුළ හිමි වන්නේ ඔබටයි?

ජනප්‍රියම නිළිය වීමේ සතුට නම් කියා නිම කරන්න බැහැ. ගොඩක් අය ආදරය කරනවා කියන්නේ ලොකු වාසනාවක්. කලා ශිල්පිනියකට රසික රසිකාවන්ගේ ආදරය ගොඩක් වටිනවා. 1968 වසරේ දී මම ජනප්‍රියම නිළිය වුනත් අපේ ගෙදර එක්කෙනෙක්වත් මගේ නමට කූපන්පත් එවලා තිබුණේ නැහැ. මගේ රසික රසිකාවන් මාව ජනප්‍රිය නිළියට තොරලා තිබුණා. එදා මට සරසවිය කුසලතා සම්මානයකුත් හිමි වුණා. ඒ වෙනකොට මට රසික රසිකාවන් ගොඩක් හිටියා. හැමදාම අපේ ගෙදරය එන ලියුම් මල්ලෙන් ඒක බලාගන්න පුළුවන්. මම ඔවුන්ට මගේ පින්තූර වගේම පිළිතුරු ලියුම් යවනවා. හැබැයි පිළිතුරු ලියන්නේ නම් මම නෙවෙයි. මගේ හොඳම මිතුරිය සුමනා දමයන්ති පෙරේරා. ඇය තමයි මා වෙනුවෙන් පිළිතුරු ලියන්නේ. ඊට පස්සේ මම මගේ අත්සන දාලා ලියුම් තැපැල් කරනවා.

මේ තරම් ජනප්‍රිය වෙන්න මට ලැබුණු චරිත විශේෂ වෙන්න ඇති. මගේ රංගන ගමන ආරම්භයේ පටන්ම මට ඒ ජනප්‍රියත්වය ලැබුණා. චණ්ඩියා චිත්‍රපටයේ රංගනයත් විශේෂ වෙන්න ඇති. එමිල් කුරුකුලසූරිය කියලා මගේ රසිකයෙක් ඉන්නවා. ඔහු එදා පටන්ම අද වන තුරුත් මගේ රසිකයෙක්. මගේ උපන්දිනයට ඔහු නොවරදවාම සුබ පතනවා.

පිටපිටම තෙවරක් ජනප්‍රිය නිළි සම්මානය හිමිවීම සුවිශේෂ භාග්‍යයක්?

මට හිතෙන්නේ වෙනත් කිසිම නිළියකට ඒ වගේ අවස්ථාවක් නොලැබෙන්න ඇති. ඒ කාලයේ ජීවරාණිටත් රසික රසිකාවන් විශාල සංඛ්‍යාවක් හිටියා. සරසවිය සම්මාන උලෙළේ ජනප්‍රියම නිළියට හිමි ප්‍රථම සම්මානය හිමි වූයේ ඇයටයි. ඒ 1966 වසරේදීයි. ඇයටත් කොහේවත් තැනකට යන්න බැරි විදියට සෙනඟ වටකර ගන්නවා. ජීවාත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ලැබූ නිළියක්.

ප්‍රේක්ෂකයන් බොහොමයක් මම පණ දුන් චරිතවලට ආදරය කළා. චණ්ඩියා චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා සමඟ රංගනයත් විශේෂ වුණා. සීතල වතුර, පරසතු මල් චිත්‍රපටවලත් මට හොඳ චරිත ලැබුණා. ගැහැණු ළමයි වගේම පිරිමි ළමයිනුත් ඒ කාලයේ මට ලියුම් ලියනවා. හැබැයි විවාහ යෝජනා නම් ආවේ නැහැ. මං හිතන්නේ මම ඒ කාලයේ පොඩි නිසා වෙන්න ඇති. මම චිත්‍රපට විශාල සංඛ්‍යාවකට දායක වුණේ නැහැ. වැඩිම වුණොත් චිත්‍රපට විසිහයක් විතර වෙන්න ඇති. ඒ වුණත් චිත්‍රපට සිය ගණනක් කළ කෙනෙකුටත් වඩා මිනිසුන්ගේ හිත් තුළ මා රැඳී සිටින බව නම් දැනෙනවා. මීට ටික කලකට පෙර මම උත්සවයකට සහභාගිවී සිටින විට වයස අවුරුදු පනහක විතර මහත්තයෙක් ඇවිත් මට අත දික්කරන්න කිව්වා. මම අත දිගු කරන විට ඔහු වෙරළු ගෙඩියක් මගේ අතේ තැබුවා. එදා ගොළු හදවත ප්‍රේක්ෂකයන්ට කෙතරම් සමීප වෙන් ඇතිද කියලා මට හිතුණා. ඇත්තටම ගොළු හදවත කියන්නේ බොහෝ දෙනාගේ ජීවිතවලට සමීප වූ චිත්‍රපටයක්.

1969 වසරේ සරසවිය සම්මාන උලෙළ ඔබට ගොඩක් සුවිශේෂ වුණා?

ඇත්තටම ඒ සම්මාන උලෙළ විශේෂයි. මොකද මම ඒ සරසවිය සම්මාන උලෙළට සහභාගි නොවෙන්නයි තීරණය කරලා තිබුණේ. මට එදාටම විවාහ මංගලොත්සවයක් යෙදිලා තිබුණා. මගේ මහත්තයා ඡායාරූප ශිල්පියෙක්. එහි ඡායාරූප ගැනීම ඔහුට පැවරිලා තිබුණා. එවකට සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහත්තයා මට කතා කළ අවස්ථාවක මට සහභාගි වෙන්න නොහැකි බව පැවසුවා. “අනුලා මේ සම්මාන උලෙළට ඔයා ආවේ නැත්නම් ඔයාට ගොඩක් කනගාටු වෙන්න වෙයි” කියලා එතුමා පැවසුවා. දුක් වෙන්න බැරිකමට කොහෙම හරි එදා මගේ මහත්තයා පින්තූර ගන්න එකත් වෙන කෙනෙකුට පවරලා මමත් එක්ක සරසවිය සම්මාන උලෙළට ආවා. එදා හොඳම නිළිය සම්මානයත් ජනප්‍රියම නිළියට හිමි සම්මානයක් දෙකම හිමි වුණේ මට. එදා දැනුණු සතුට නම් වචනයෙන් විස්තර කරන්න බැහැ.

ශිරාණි සහ ජානකී කුරුකුලසූරිය සොහොයුරියන්ගෙන් අනුලාට සුබ පැතුම්

විශිෂ්ටතම නිර්මාණකරුවන්ගේ විශිෂ්ට නිර්මාණ රැසකට දායක වන්න අවස්ථාව ලැබීම ගැන මොකද හිතෙන්නේ?

මම කවදාවත් රඟපාන්න ඕනි කියලා හිතුවේවත් නැති කෙනෙක්. ඒ වුණත් මට ඒ අවස්ථාව ලැබුණා. 1962 වසරේ දවස පත්තරේ රූප සුන්දරී තරගයකදී තිස්ස අබේසේකර මහත්තයා සහ සුමිත්‍රා පීරිස් මහත්මිය (එවකට සුමිත්‍රා ගුණවර්ධන මෙනවිය) මාව දැකලා ගම්පෙරළියේ අනුලාගේ චරිතයට යෝජනා කරලා තිබුණා. නන්දාගේ චරිතයට මම පුංචි වැඩියි කියලා ලෙස්ටර් මහත්තයා මාව තෝරා ගත්තේ ලැයිසාගේ චරිතයට. ඒ විදියට ලොව පුරා නම රැන්ඳු විශිෂ්ටතම සිනමාවේදියෙකුගේ සිනමා නිර්මාණයකින් මගේ සිනමා ගමනා ආරම්භ කරන්න ලැබීම මා ලැබූ වාසනාවක්. ඒ නිසා ජනප්‍රියම නිළිය වගේම වාසනාවන්තම නිළිය වෙන්නෙත් මම.

එදා රංගනයන් මතක් වෙනකොට අද මොන වගේ හැඟිමක්ද දැනෙන්නේ?

මම පණ දුන් හැම චරිතයකටම සාධාරණයක් ඉටු කළා කියා මම හිතනවා. මම මට පුළුවන් උපරිමයෙන් ඒ හැම චරිතයකටම දායක වුණා. ලෙස්ටර් මහත්තයා, ටයිටස් තොටවත්ත මහත්තයා වගේම ගාමිණි ෆොන්සේකාටත් මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනි. මගේ සිනමා ජීවිතයේ මුල් ගුරුතුමන්ලා ලෙසින් ඔවුන් අමරණිය වෙනවා. විශ්වවිද්‍යාලවලින් අපි එදා රංගනය ඉගෙන ගත්තේ නැහැ. මේ ජ්‍යෙෂ්ඨයන් විසිනුයි අපට ඒ දැනුම ලබා දුන්නේ.

මට මතකයි චණ්ඩියා චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළ මුල් කාලයේදී ටයිටස් තොටවත්ත මහත්තයාට මම පුදුම බයකින් හිටියේ. ඔහු කතා කළත් මම බය වෙනවා. මුල් කාලයේදී සමහර දර්ශන කිහිප වතාවක් රූගත කරන්නත් සිදු වුණා. ඒ වෙලාවට ගාමිණි ෆොන්සේකා නම් වූ ඒ රංගධරයා මට පොඩි ළමයෙකුට වගේ හැමදේම තේරුම් කරලා දෙනවා.

මම රංගන ක්ශේෂත්‍රයට ආවේ 1962 වසරේදී. 68, 69 සහ 70 වසර වල ජනප්‍රියම නිළිය වුණා. ඉන් පසුව මම සිනමාවෙන් දුරස් වුණත් එදා මම පණ දුන් චරිත අදටත් ජීවමාන වෙලා තියෙනවා. දැන් මගේ වයස අවුරුදු හැත්තෑවක්. මේ තරම් වයසට ගියත් බොහෝ දෙනා මම හඳුනා ගෙන කතා කරනවා. වර්තමානයේ තරුණ ළමයින්ගේ මතකයේ මම ඉන්නේ අඹ යහළුවෝ ටෙලි නිර්මාණය සමඟින්. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි. ඇත්තටම නිළියකවීම ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු සන්තෝසයක්.