වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




ඔය වයර් ගලවපං නැත්නං කරන්ට් වදියි

ඔය වයර් ගලවපං නැත්නං කරන්ට් වදියි

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය
ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්

නිවහනෙන් පිටත් වුණ වෑන් රිය අතුරු පාරෙන් ප්‍රධාන පාරකට ද අනතුරුව තවත් පාරකට ද පිවිසුණි. එය නැවතුණේ තවත් ගෙයක් අද්දරය. නලාව හැඬවිණ.

යුවතියක රථයට නැංගාය. මානවීගේ තනියට නිිර්මලා ද උන්නාය. ඔවුහු වෑන් රථයේ පසු අසුනට වී මුළු ගැන්වීය. අලුතින් රියට නැංග යුවතිය අව් කන්නාඩියක් පැළඳ සිටියාය. ඇයගෙන් නැගුණ විලවුන් සුවඳ රිය පුරා පැතිර ගියේය. මානවී කවුළුව අරි්න්නට තැත් කළේය.

'ඒ. සී. දාලා'

නිිර්මලා කෙඳිරුවාය. මානවී අදහස අත ඇරියාය. යුවතිය කිසිවකු සමඟ කතා කළේ නැත. ඇයගේ දුරකතනයෙන් නැගුණ සුදු පැහැති වයර් සවන්පත් සිර කොට තිබිණ. රථය තවත් ඇදී ගියේය. තවත් යුවතියක ද රථයට නැංගාය. ඈ මානවී දෙස බලා සිනාසුනාය. අනතුරුව ඇය ඔවුනට ඉදිරි අසුනේ වාඩි විණ.

'උඹලා අහුල අහුල ගිහින් කීයට ද පටන් ගන්නේ'

ඈ ඇසුවේ සුජිත්ගෙනි.

'තව පැය භාගයයි. ඊට පස්සේ රම්පෙට පොරි හැලෙන්න ෂොට් ටික ගහනවා'

'උඹ කියයි'

ඇය පැවසුවේ මානවී දෙස බලමිනි. ඉදිරි අසුනේ යුවතිය ඔවුන් දෙස බැලුවේවත් නැත. මේ අලුත් යුවතිය ගැන මානවීගේ සිතෙහි පහන් සිතක් ආවේය.

වාහනය තවත් වටයක් දෙකක් කැරකිණ. කඩවසම් තරුණයකු රථයට නැංගේය. ඔහු ද උපැස් පැළඳ සිටියා. ඔහු දුටු නිර්මලාගේ මුහුණට සිනහවක් නැඟිණ.

'කැළුම්'

ඈ දියණියගේ කනට කොඳුලාය.

'කොහොමද බං නයෙක් පොළඟෙක් එකට දාගත්තේ'

ඔහු සුජිත්ගෙන් ඇසුවේ ඉඟිමරමිනි.

'එහෙම තමයි ඩෝ ප්‍රඩක්ෂන්වල. නයි පොලොංගු නෙවේ, මාපිල්ලුත් ඔබාගෙන යනවා.'

සුජිත් සිනහ වුණේය. කැළුම් අසුන් ගත්තේ පියකරු යුවතිය ළඟය.

'පලයං නරියා'

ඈ ඔහුගේ උරහිසට ගැසුවාය. ඔවුන්ගේ සිනාහඬ පැතිරිණ. ඉදිරි අසුනේ වූ යුවතිය ඔරවා මෙන් පසුපස බලා යළි ඉදිරිය බලා ගත්තාය. කැළුම් විසිළු මුහුණක් පා ඇයට නොපෙනෙන්නට ඉඟි කළාය.

'කැළුමා උඹ නිකං හිටපං'

එකවරම ආපසු හැරුණ යුවතිය කැළුම්ට තර්ජලාංගුලිය එසෙව්වාය.

'මෙන්න යකෝ වැඩක්, මම මොකද්ද කළේ?'

කැළුම් හැසිරුණේ නොදන්නා ගානටය.

'උඹ බබා, මං අර ග්ලාස් එකෙන් බලං හිටියේ'

ඈ බැණ වැදී ආපසු හැරුණාය.

'පලයං, නංගි මං එහෙම කළාද?'

කැළුම් හගිස්සන්නට ඇසුවේ මේ නාඩගම බලා සිටි මානවීගෙනි. ඇය ගල් ගැසුණාය. මානවීට මුලින් සිනා යන්නට ආවත් දැන් නම් ඇයට උන් හිටි තැන් අමතකය. ඇය අසරණව කැළුම් දෙස ද අනිත් යුවතිය දෙස ද බැලුවාය.

'උඹලාගේ ගෝරිවලට ඔය කෙල්ලව අල්ලගන්න එපා. මේ නංගි අපේ ගමේ. මං එක්කන් ආවේ'

සුජිත් ඇගේ පිහිටට ආයේය.

'උඹලෑ ගමේ කියලා කී දෙනෙක් ගෙනාවද සුජියෝ'

ඒ පැවසුවේ කැළුම්ට යාබද පියකරු යුවතියයි.

'ඇයි උඹ ඉස්සෙල්ලා ආවෙත් එහෙමනේ'

එයට සුජිත්ගේ පිළිතුරයි. ඉදිරි අසුනේ සිටි යුවතිය හැර අන් සියල්ලෝම එයට සිනාසුනි. සුජිත් සිටියේ වෑන් රියේ ඉදිරි අසුනේමය.

ප්‍රතිචාර ලෙස කවර ආකරයෙන් හැසිරෙන්නටදැයි අම්මාත් දුවත් දෙදෙනාම කල්පනා කළහ. මේ සියළු දෙනාගේ හැසිරීම නිදහස්ය. තවත් දෙතුන් දෙනෙක් වාහනයට ගොඩ වීමත් සමඟ කතාබහ උණුසුම් විය.

රථය අතුරු පාරකට හැරිණ.

'මොකක්ද බං ප්‍රඩක්ෂත් එකට වෑන් දෙකක් දාගනිංකෝ, වට වන්දනාවේ යනවා'

මුලින් නැඟි යුවතිය කතා කළාය.

'උඹ කියහංකෝ, මේක මම එන වාහනේ. ඇයි උඹත් එක්ක ප්‍රඩියුෂර් හොඳයිනේ. උඹට වෙනම වාහනයක් දෙයි'

සුජිත්ගේ ස්වරයේ වුණේ යුවති මෙල්ල කර ගන්නා වූ ස්වරූපයකි. ඇය වාද කර ගන්නට ගියේ නැත. කැළුම් සමඟ සිටි යුවතියගේ මුහුණ සිනහවෙන් බැබලිණ. රථයට ජිතේන්ද්‍ර ගොඩ වැදුණේ බාගෙට ඉදි කළ නිවහනක් ළඟදීය. ඔහු මුල් යුවතිය තල්ලු කොට අයිනෙන් වාඩි විණ.

'ඔය වයර් ටික ගලවපං. නැත්නම් කරන්ට් වදියි'

ඔහු යුවතියට පැවසුවේය. එයට ඇය සිනාසුණා පමණි. ඔහු ඇගේ කනේ ඇති ඉයර්ෆෝනයක් ගලවා කෑගැසුවේය.

'කරන්ට් වදියි'

ජිතේන්ද්‍ර පසුපස බැලුවේ අනතුරුවය. ඔහු මානවීගේ මුහුණ දෙස බලා ඉවත බලා ගත්තේය. අනතුරුව ඔහු ආපසු හැරුණේ ඇස් අදහා ගත නොහැකිව මෙනි.

'යකෝ මේ අපේ තඹුත්තේගම කොච්චි කරල නේද?'

ඔහු සිත් එලවා ගත් සේ පැවසුවේ වෑන් රථ්‍ය දෙදරවා යන අන්දමටය. මානවී අහිංසක ලෙස සිනාසුණාය. නිර්මලාට පුදුම සිතිණ. ඈ ජිතේන්ද්‍ර ගැන දැන සිටියාය. ඔහුගේ කතාබහට, රඟපෑමට ඈ ප්‍රිය කළාය. ජිතේන්ද්‍ර වෑන් රථයට නැග ගත් විගස නිර්මලා ඔහු දෙස බැලුවේ උනන්දුවෙනි. එහි සිටින බොහෝ දෙනකු ඈ රුවින් දැන සිටියායා. ජිතේන්ද්‍ර නම් චිත්‍රපටවල දැක තිබිණි. ජිතේන්ද්‍ර සම්මානනීය නළුවකු බැව් දැන සිටියේය. ඔහුට හොඳ බිරියක් සහ දරුවන් තිදෙනෙකු සිටින වග ද පුවත්පතක පළ විය. නිර්මලා ජිතේන්ද්‍ර දෙස බැලුවේ දැකගන්නට ආසා වූ වස්තුවක් අහම්බෙන් දැක ගත් කෙනෙකු තුළ ඇති සතුට විඳ ගනිමිනි. පුදුමය නම් ඔහු දියණිය දැන සිටීමය. ගත වූ රාත්‍රියේ දියණියට තරවටු කළ ආකාරය ගැන නිර්මලාට කනගාටුවක් ඇති විය.

'අක්කාද?'

ජිතේන්ද්‍ර නිර්මලා දෙස පෙන්මින් ඇසුවේය. මානවී නැතැයි කියන්නට හිස සැලුවාය.

'අම්මා'

ඇය දෙතොලින් පැවසුවාය. ජිතේන්ද්‍ර ඒ ආකාරයෙන්ම පැවසුවේය.

'මේ උඹලෑගේ හද්ද වන්නියෙ කෙල්ලෙක්'

තමන්ගේ පාඩුවේ දුරකතන වයර් කනේ ගසා සිටි යුවතියගේ ඉයර්ෆෝන් ගැල වූ ජිතේන්ද්‍ර පැවසුවේය. ඇය මානවී දෙස බැලුවාය. ඇගේ රූමත් මුහුණ මානවී හරියට දුටුවේ එවිටය. පත්තරයක මුල් පිටුව ඇගේ රුවින් සැරසී තිබිණ. අනතුරුව ඇය සිනා නොවී සිටින්නට බැරි බව හඟවන සිනහවකින් අහක බලා ගත්තාය.

ඇය කවර පළාතකදැයි දැනගන්නට මානවීට වුවමනා විය. ඕනෑ නෑ, ඔය ආඩම්බරකම මොකටද? පස්සේ දැනගන්න බැරියැ. අනතුරුව ඇය තමාටම කියා ගත්තාය.

අතුරු පාරක් දිගේ ගිය මෝටර් රථය වත්තක ඇතුළට ගොස් නතර විය. ඒ අසල ලොකු ලොරියක් හා මෝටර් රියක් තිබිණ. ලොරියේ පැත්තක් බාගෙට හැරගෙනය. එයින් දැවැන්ත විදුලි පහනක් කර ගහගත් තරුණයෙකු අසල ගෙතුළට ගියේය. මානවී හා නිර්මලා ගැන නොතැකූ සෙස්සන් ගෙතුළට ගියහ. ඔවුන් දෙදෙනා වාහනයෙන් බැස ගත්තේ රියදුරුගේ අණ පරිදිය. මානවී අත වූයේ ගමන් මල්ලකි. ඇය තමා ඉදිරිපිට ඇති දැවැන්ත ගෘහය දෙසත් හතර අත ඉක්මනින් දිව යන කිහිප දෙනාත් දෙස බලා සිටියේය. මේ මිනිසුන් අතර තමා කූඹියකු වැන්න යැයි හැඟුන සිතුවිල්ල ඉක්මනින් වලකා ගන්නට මානවී සිතා ගත්තාය.

'යං යං ඇතුළට'

සුජිත් මානවීට කතා කළේය. ගෘහය විශාල වුවත් ගේ ඇතුළේ බඩු බාහිරාදිය පොදි ගසා තිබිණ. වෑන් රථයෙන් ගෙතුළට පිවිසි පිරිස අතුරුදහන් වූවා සේය. සිනා හඬක් ඇසිණ. එය කොතැනින් ඇසෙද්දැයි බලන්නට මානවී හිස යොමු කළාය. නිර්මලා ඇයට පිටුපසින් සිටගෙන සිටියාය. සුජිත්ගේ ඇණවුමෙන් තවත් තරුණයෙකු මානවී ළඟට ළං විණ. ඔහු අත පොතක් විය.

'මේ තියෙන්නේ ඩයලොග්ස් ටික, කියවලා බලන්න'

ඔහු මානවීගේ අතට පොතක් දුන්නේය. එය ටයිප් කළ අකුරුවලින් යුක්තය.

'මෙන්න මේ චරිතෙ'

ඔහු අතින් පොතේ ඉරි ඇන්දේය.

'කියවන්නකෝ'

දිනේෂ් මේ නංගිගේ ඩයලොග් ඩිලිවරි බලපං' සුජිත් යළි තරුණයාට පැවසුවේය.

නිර්මලා ද එයට එබිකම් කළාය. මානවී අම්මා දෙස බැලුවාය.

'කියවන්නකෝ'

'මේක මොන වගේ චරිතයක්ද?'

නිර්මලා ඇසුවාය.

'කෙල්ලගේ යාළුවෙක්'

'උඹ හිතාගෙන හිටියට ඒ කොල්ලා හොඳ වැදගත් පවුලක කෙනෙක්'

මානවී පොතේ වූ වදන පැවසුවාය. දිනේෂ්ගේ මුහුණේ සිනහවක් නැඟිණි.

'නංගි ඔහොමම මේක්අප් එකත් දාගන්න'

නිර්මලා හා මානවී සිටියේ අතරමං වෙමිනි. දිනේෂ් ඔවුන් කාමරයකට රැගෙන ගියේය. නිළියක් වීම මෙතරම් පහසුදැයි නිර්මලාට සිතිණ.

'මචං මේ නංගිට මේකත් දාපං'

එහි සිට සෙස්සන් මානවී දෙස බැලුවේ අලුත් ලොවකට ගොඩ බසින්නියක හැටියටය. නැත්නම් තමන්ගේ ගොදුර ගිල ගන්නට ආ සතෙකු විලසටය. ගම් පළාතේ තරුණිය නැතිනම් විලාසිතාකාරිය නැගිට්ටාය.

'එන්න නංගි මේකප් එක දාන්න, මෙතැනට එන්න'

ඇයගේ පෙනුම ද හැසිරීම ද එකිනෙකා හා පෑහුණේ නැතැයි මානවීට වැටහිණ. මානවී බියෙන් මෙන් ඇය දෙස බැලුවාය. ඇය මානවී පුුටුවක වාඩි කරවූවාය.

ඊළඟ මොහොතේ වෙස් ගැනීම් ශිල්පී නලින්ගේ පින්සල මානවීගේ මුහුණ මත ඇඳිණ.