වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවියේ නුදුටු වීරයා හා කැමතිම නළුවා සොයා ගියෙමි

සරසවියේ නුදුටු වීරයා හා කැමතිම නළුවා සොයා ගියෙමි

'සරසවිය' පුවත්පත මට විශ්වවිද්‍යාලයක්ම විය. සිනමාවට වැඩි තැනක් ලැබුණ ද, සාහිත්‍යයට, වේදිකා නාට්‍ය කලාව ඇතුළු සෙසු කලාවන්ට ද විශේෂයෙන් කවි කලාවට ද විශේෂ තැනක් හිමි විය. 1964 වසරේ මුල්වරට 'සරසවිය' සම්මාන සඳහා මුල්ම සිනමා වාර්ෂිකයක් නිකුත් විය. එදා රුපියල් 2 කට මිල දී ගත් 'සරසවිය සිනමා' නම් එම සඟරාව උසස් ලිපිවලින් යුතු අගනා සිහිවටනයකි. එහි සංස්කාරක ඩයස් ගුණරත්නය. ඔහු 'සරසවිය'ට ලියූ සාහිත්‍ය හා සිනමා ලිපි මම ආසාවෙන් කියවීමි. එදිරිවීර සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ හා සාකච්ඡා කොට ලියූ ලිපි තවමත් මගේ ළඟ සුරැකිව ඇත. එම ලිපිවල අර්ථය වැඩි වුයේ සරසවියේ ප්‍රධාන කැමරා ශිල්පී නිමල් පෙරේරා අභයවර්ධනගේ කලාත්මක ඡායාරූප නිසාය. සිංහල නවකථාව, සිංහල කෙටි කතාව, සිංහල පාඨකයා ගැන ඩයස් ගුණරත්න සකස් කළ විශේෂ අතිිරේක මෙන්ම කේ. එන්. ඕ. ධර්මදාස, එච්. එල්. සෙනෙවිරත්න, ඈෂ්ලි හල්පේ, අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල වැනි ලේඛකයන් තමන් කිය වූ පොත් ගැන ද, ඔහු අපූරු ලිපි මාලාවක් සංස්කරණය කර තිබුණේය. සත් සමුදුර, රන්සළු යන චිත්‍රපට ගැන ඩයස් ගුණරත්න ලියූ විචාර ද හරවත් සිනමාවක් ගොඩ නැංවීමට රුකුලක් විය. රෙජී රණසිංහ නම් විදග්ධ සිනමා විචාරකයා සම්භාව්‍ය සිනමාව ගැන ලියූ ලිපි මාලාව මම කපා එකතු කර ගතිමි. ඔහු මගේ වීරයෙක් විය. මා සරසවියට බැඳීමට යන විට හඳුනා ගන්නට බලා සිටි අපූරු රසවතා ඒ වන විට 'සරසවිය' කර්තෘ මණ්ඩලයෙන් ඉවත්ව පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ කථිකාචාර්යවරයකු ලෙස පත් වී ගොසිනි. 'ආර්. ඩී. ගුණරත්න' නමින් ද දාර්ශනික විද්‍යාව ගැන පොත පත හා ශාස්ත්‍රීය ලිපි ලියූ ඔහු ජීවමානව දැක ගැනීමේ වාසනාව මට අහිමි විය.

'එයා දැන් දර්ශන අංශයේ කථිකාචාර්යවරයෙක්' සරසවියේ ප්‍රධාන උප කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහ ඔහු ගැන ඇසූ විට කීවේය.

'මම එයා දකින්න ආසාවෙන් හිටියේ. එයා ලියූ ඔක්කොම ලිපි මම එකතු කරලා තියෙනවා'

'එහෙනම් එයා ඔයාගේ වීරයෙක්' ලක්ෂ්මන් කීවේය.

'සත්තකින්ම'

ඩයස් ගුණරත්න ලියූ 'ශ්‍රී දර්ශනය' නම් කෘතිය ද මිල දී ගෙන තිබුණි. ඔහුගේ මුද්දරයක් පමණ ඡායාරූපයක් 'සිළුමිණ' පත්‍රයේ චිත්‍රපට විචාරයක පළ වී තිබුණි. ඔහු ජීවමානව දැක ගත්තේ 2003 වසරේ 'සරච්චන්ද්‍ර දාර්ශනිකයා හා කලාකරුවා' නම් සරච්චන්ද්‍ර සමරු දේශනය ඇසීමට ගිය විටය. මම මගේ වීරයා දැක කතා කිරීමට අවස්ථාවක් උදා කොට ගතිමි.

මුල් මාස කිහිපයේ විවිධ වර්ගයේ විශේෂාංග 'සරසවිය'ට ලියූවත් මගේ ඒකායන අරමුණ වූයේ ගාමිණී ෆොන්සේකා නම් මගේ ප්‍රියතම නළුවා සමඟ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් ලිපියක් ලිවීමය. ඒ වන විට සරසවියේ මට වඩා ජ්‍යෙෂ්ඨයින්ව සිටි එල්මෝ ගුණරත්න, කුමාරදාස වාගීස්ට, එඩ්මන් පෙරේරා, ලක්ෂ්මන් වික්‍රමසිංහ, පර්සි ජයමාන්න, අර්නස්ට් වඩුගේ, සිරි කහවල ඔහු ගැන විශේෂාංග ලියා තිබුණි. 'සරසවිය' පුවත්පතේ ප්‍රධාන උප කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහ ඉතාම කාරුණිකව නවකයන්ට අත හිත දෙන නිහතමානී පත්‍රකලාවේදියෙකි. පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ සංස්කෘත ගෞරව උපාධිධාරියකු වූ ඔහු තුළ උගත්කමත් මිනිස්කමත් කැටි වී තිබුණි. අප ඔහු ඇමතුවේ 'ලකී' නමිනි.

'ලකී මට ලොකු ආසාවක් තියෙනවා ගාමිණී ගැන ආටිකල් එකක් ලියන්න. හැබැයි මම පුද්ගලිකව අඳුනන්නේ නැහැ'

'ඕක සුළු දෙයක්. බලමු ටෙලිෆෝන් කරලා. ෂූටිං නැතිනම් ගෙදර ඇති'

ලක්ෂ්මන් ටෙලිෆෝනයේ අංකය කැරකැවීය. වාසනාවට ඔහු ගෙදර සිටියේය. නොයෙක් තොරතුරු කතා කළ ලක්ෂ්මන් කාරණාවට බැස්සේය.

'ගාමිණී අපේ අලුත් ගෝලයෙක් ඉන්නවා. මිනිහා දක්ෂයා. ගෙදර ඉන්න වේලාවක එවන්න පුළුවන්'

තව ටික වේලාවක් කතා කළ ලක්ෂ්මන් සිනාසෙමින් රිසීවරය තැබුවේය.

'හෙට උදේ 10 ට ගාමිණී එන්න කිව්වා. දන්නවද ඉන්න තැන? රත්මලානේ මැලිබන් හන්දියෙන් බැහැලා සිරිමල් උයනට යන්න. කාගෙන් ඇහැව්වත් ගෙදර පෙන්නාවි'

ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවේ කිව්වලු. මගේ අරමුණ ඉටු වී ඇත. ඒ කාලයේ ගාමිණී 'නිධානය' හා 'වැලිකතර' චිත්‍රපට දෙකෙක්ම රඟපෑමේ යෙදී සිටියේය.

'මම වැලිකතර ගැනත් අල්ලලා ආටිකල් එක කරන්නම්'

'ඕනෑ ප්‍රශ්නයක් අහන්න. ජෝ අබේවික්‍රම ගැන වැඩිය අහන්න එපා. මොකද? ගාමිණියි, ජෝයි මේ දවස්වල අමනාපයෙන් ඉන්නේ කාගේදෝ කේලමක් නිසා'

පසුදා උදේ 9.30 ට පමණ වන විට මම රත්මලානේ මැලිබන් හන්දියෙන් බැස ශ්‍රී ධර්මාරාම පාර ඔස්සේ අව් කූටකයේ සිරිමල් උයනේ සමන් මාවතේ පිහිටි ගාමිණීගේ නිවස බලා පියවර මැන්නෙමි. මට නිවස හමු විය. මම ගේට්ටුව අසලට පැමිණියාය. ඇය මා පත්තර පින්තූරවලින් දැක තිබේ.

ගාමිණී මහත්තයා . . .'

'එයා ගෙදර නැහැ'

මට කතා කිරීමටවත් ඉඩ නොලැබිණි. මා ගාමිණීගේ රසිකයෙක් වූ පාසල් සිසුවෙකු යයි ඇය සිතුවා විය හැකිය. මම ආපසු අව් රැස්වලින් පීඩා විඳිමින් නැවත මැලිබන් හන්දිය වෙත පැමිණ විජය හවුස් එකෙන් තේ එකක් බී ගිමන් හැරියෙමි.

විනාඩි 15 ක් ගත විය. දැන් දහයේ කණිසමටත් කිට්ටු නිසා නැවත ගමන් ඇරඹුවෙමි. එවිට ගේට්ටුව සොලවද්දී වෙනත් කවුදෝ කෙනෙකු පැමිණියේ.

'මම සරසවිය පත්තරෙන් . . .'

'ආ එන්න ඇතුළට . . .'

ඔහු ගේට්ටුව විවෘත කළේය. ගේ ඉදිරිපස ඇති කොටසේ හාන්සි පුටු කිහිපයක්ම විය.

'වාඩිවෙන්න . . . මම ගාමිණීට කියන්නම්

අවටින් සිසාරා පැමිණි සුළං රැල්ලකින් මගේ ගත සිත පුබුදුවාලයි. දහඩිය නිවාලයි.

විනාඩි 10 ක් පමණ ගත විය. කිසිම ශබ්දයක් නැත. ගාමිණීගේ බිරිඳ ආලින්දයෙන් මතු විය.

'ඔයා නේද ඉස්සෙල්ලා ආවේ. අනේ සොරි . . . ගාමිණී ගෙදර ඉන්න දවස් දැනගෙන ඉස්කෝලේ යන ගැහැනු ළමයි, පිරිමි ළමයි උදේ ඊඳලාම ආවා. ගාමිණී ටිකක් අසනීපෙන් ඉන්නේ. මේ ටිකේ ෂූටිංවලට ගියෙත් නැහැ. ඇයි සරසවියෙන් කිව්වේ නැත්තේ . . .'

මා සිනාසුණා මිස කිසිවක් කීවේ නැත.

'ඉන්න ගාමිණී දැන් ඒවි . . .'

තවත් විනාඩි දහයක් පමණ ගත විය කිසිදු හැල හොල්මනක් නැත.

ගේ තුළින් විසිල් හඬක් ඇසේ. ඒ ගාමිණීගේය. ඒත් එළියට එන පාටක් නම් නැත. ඒ සමඟම පියානෝවේ තත් පිරිමැදෙනු ඇසේ. එය ඔහුගේ විය හැකි යයි අනුමාන කළ හැකිය. මොහොතකින් එය ද නතර විය.

ගාමිණී දුම්වැටියක් අතැතිව අහම්බෙන් මෙන් ආලින්දයට ආවේය.

'මම සරසවියෙන්. ලක්ෂ්මන් එන්න කිව්වේ'

'ආ . . . මට ලකී ඊයේ කිව්වා'

'මම අලුතින් සරසවියට බැඳුණේ'

ඔහු පුළුල් සිනාවක් මුවට නඟා ගනිමින් බොකුටු හම් පුටුවේ වාඩි වුණේය. බතික් සරමකින් සැරසී සිටි ඔහුගේ උඩුකය නිරාවරණය වී ඇත. සීතල වතුර රූ ගන්වද්දී පරෙස්සම් කිරීමට දුන් රන් මාලය සහිත සුරය ඔහුගේ ගෙලෙහි විරාජමාන වී පෙනෙයි.

මම ප්‍රශ්න අසමි. ඔහු පිළිතුරු දෙන්නේ ඕනෑවට එපාවටය. ඒවාත් කෙටි පිළිතුරුයි. මේ කෙටි පිළිතුරුවලින් මට විශේෂාංගයක් ලිවිය හැකිද? නාහෙට නාහන මෙන්ම තරුණ මදයෙන් සිටි මගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොසිනි. ඔහු කුපිත කොට පිළිතුරු ලබා ගත යුතු යයි මම සිතුවෙමි.

'දැන් ඔබ කීවා වැලිකතරේ වික්‍රම රන්දෙනියගේ චරිතය සංකීර්ණ චරිතයක් කියලා. ඔබේ ප්‍රතිවාදියා ගෝරිං මුදලාලි. ඒ චරිත නිරූපණය ගැන ඔබට කියන්න තියෙන්නේ මොනවාද?'

මගේ ප්‍රශ්නයෙන් ඔහු දුම්වැටිය කිහිප වරක් උරා එය එළිමහනට වීසි කර හරි බරි ගා පුටුවට හාන්සි වුණේය.

'වික්‍රම රන්දෙනිය චිත්‍රපටයේ මතු වී පෙනෙන්නේ ගෝරිං මුදලාලිගේ ප්‍රබල රඟපෑම නිසා. ජෝ අබේවික්‍රමගේ විශිෂ්ට රංගනය මා දැක්කේ වැලිකතරින්. මෙපමණ කලක් අප දෙදෙනා එකට රඟපෑවේ සැහැල්ලු චරිත'

මගේ යටි සිත සිනාසෙයි. මට මේ ටික හොඳටම ඇතිය. තවත් ප්‍රශ්න දෙක තුනක් අසා මම ඔහුගෙන් සමුගතිමි. වැලිකතර චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඩී. බී. නිහාල්සිංහයන් මා හොඳින් හඳුනන නිසා චිත්‍රපටයේ රසබර තොරතුරුත්, ඒවාට සම්බන්ධ ඡායාරූපත් මා සතුව ඇත. තිස්ස අයියා (තිස්ස අබේසේකර) සමීපව ඇසුරු කරන නිසා වැලිකතරේ තිර නාටකය ද මා කියවා තිබුණි. ගෙදර ගිය මම මේ සියලු මූලාශ්‍ර ආශ්‍රයෙන් මට තෘප්තිමත් විය හැකි විශේෂාංගයක් ලීවෙමි. පසුදා එය ලක්ෂ්මන් අතට පත් කළේ යුද්ධයකින් ජය ගත් සෙනෙවියකු මෙනි.

'මම හිතුවා ඔයා තාම ගාමිණීගේ ගෙදර කියලා' ඔහු නියපොතු හපමින් ලිපිය කියවීමට පටන් ගත්තේය. මගේ විශේෂාංගය කියවා ලක්ෂ්මන් එය ද රැගෙන සරසවිය ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරා මහතාගේ කාමරයට යනු මම දුටුවෙමි.

මොහොතකින් විමලසිරි මහතා මා ඔහුගේ කාමරයට කැඳවීය.

'ගාමිණී ජෝ ගැන කිව්ව කතාව ඇත්තද?'

'ඔව්'

'බොරුවක් නං මළ කෙළියයි වෙන්නේ. ක්‍රිමිනල් කේස් එකක්' ඔහු බොරු තරහක් මවාගෙන සිනාසෙමින් කීවේය.

'එයා කිව්ව නිසා තමයි මම භය නැතිව ලිව්වේ'

මම ආපසු පැමිණ මගේ අසුනෙහි වාඩි ගතිමි. ලක්ෂ්මන් මට කතා කළේය.

'ආටිකල් එක මරු. අපි මැද පිටු දෙක ගම්මු. ඔයා පින්තූර ටික තෝරලා පිටුව හදල ගන්න'

වැලිකතරේ ගාමිණී හා ජෝ පෙනී සිටින ලොකු පින්තූර දෙකක් මම තෝරා ගතිමි. වම් පැත්තේ පිටුවේ ගාමිණී පොලිස් යුනිෆෝම් එකින් සැරසී අතේ පිස්තෝලයක් සහිතව සිටි පින්තූර කපා සකස් කර ගත් මම දකුණු පැත්ත පිටුවේ ජෝ වෙඩි පහරක් වැදී පපුව අල්ලාගෙන සිටින පින්තූරය දැමීමට සැලසුම් කළෙමි. ඒ වන විට මම චිත්‍ර ශිල්පියෙකු ලෙස ද සරසවියේ ප්‍රධාන ශීර්ෂ පාඨ ඇන්දෙමි. එබැවින් මේ ලිපියේ අලංකාරය සඳහා හැම ශිල්පයක්ම කිරීමට මට නිදහස තිබුණි. පිටු දෙක සකස් කොට ලක්ෂ්මන්ට ගොස් පෙන්නුවෙමි.

'ජෝගේ විශිෂ්ටම රඟපෑම මා දුටුවේ වැලිකතරෙනි' - ගාමිණී කියයි.

ලකී හෙඩිම දැම්මේය.

වැලිකතරේ තිර නාටකයෙන් දෙබස් තෝරා මම සෑම පින්තූරයක් යටින්ම ලිව්වෙමි. පත්‍රය මුද්‍රණයෙන් නිකුත් වී කර්තෘතුමාට මුල් පිටපත ආවිට ඔහු කුතුහලයෙන් කියවනු දක්නට ලැබුණි. ඔහු මට කතා කළේ කට පුරා සිනාසෙමිනි.

'නැගලා යනවා වැඩේ. හෙට තමයි මළ ජූලියක් වෙන්නේ. වැඩේ වැරදුණොත් මේකව තමයි එල්ලන්න වෙන්නේ' විමලසිරි මහතා ලක්ෂ්මන්ට කීවේ මා දෙසට හැරෙමිනි.

පසුදා පත්‍රය වෙළඳපොළට නිකුත් විණ. එකල ලංකාවේ වාර්තාගත කලා පුවත්පත වූ 'සරසවිය' පිටපත් එක් ලක්ෂ පහළොස් දාහක් පමණ අලෙවි විය. කර්තෘට එන හැම ටෙලිෆෝන් පණිවුඩයකින්ම මම තිගැස්සුණෙමි.

'රන්ජිත් මෙන්න කෝල් එකක්' කතුවරයා සිනාමුසු ස්වරයෙන් කීවේය.

'මම ගාමිණී, ඔහේගේ ආටිකල් එක හොඳා. විවේක තියෙන වෙලාවක හමුවෙමු. ලබන සතියේ විතර'.

'හොඳයි' මම කීවෙමි.

'පුදුමයි, ගාමිණී හොඳක් කිව්වා. තමුසෙව හිතට අල්ලලා' කතුවරයා කීය.

සතියකට පමණ පසු මා පිටතට ගොස් පැමිණි දිනයක ලක්ෂ්මන් මෙසේ කීවේය.

'අන්න ගාමිණී කතා කරලා කිව්වා හෙට උදේට පුළුවන් නම් එන්න කියල''

මම කල් ඇතුව ගාමිණීගේ ගෙදර ගියෙමි.

'අයිසෙ අපි යමු මගේ කාමරයට. මෙතැන ඉන්නව දැක්කම මිනිස්සු එන්න පටන් ගනිවී'

ඔහුගේ කාමරය විසිතුරු එකකි. ඉංග්‍රීසියෙන් ලියූ පොතපතින් සපිරුණු පුස්තකාලයක් ඔහු සතුය. කුමරතුඟුන් පොත පත ද ඒ අතර විය.

'මම ලබන සතියේ ඉතාලියට යනවා වැනිස් ෆිල්ම් ෆෙස්ටිවල් එකට ලෙස්ටර් එක්ක. මම ගිහින් ඇවිත් රන්ජිත්ට කතා කරන්නම්. අපි හොඳ ආටිකල් එකක් ලියමු'