|
|
‘ජීවන මේ ගමන සංසාරේ’ හමු වූ දයා - පද්මිණී ‘සැඩ සුළං’ මතක අතරට...
චිත්‍රපට ගීතයකට රූගත කිරීම් අරඹන්නට සියලු කටයුතු කඩිනමින් සූදානම් වෙමින් පවතී. දර්ශන තලය වේදිකාවකි. කඳුවැටි ගස් කොළන්වලින් පිරි සන්ධ්‍යා කාලය දැක්වෙන පසුතල දර්ශනයකින් වේදිකාව අලංකාර වී ඇත. වේදිකාවේ ඉදිරිපෙළ අසුන් ප්‍රේක්ෂකයන්ගෙන් පිරී තිබේ. ආලෝකකරණ ශිල්පියා වේදිකාව ආලෝකමත් කරන අතරතුරේ කැමරා ශිල්පියා පුළුල් කෝණයකින් කැමරා කාචය වේදිකාව මතට මානමින් සිටී. පසුපසින් රූගත කිරීම් අරඹන්නට අවසර ලැබිණි. සියල්ලෝම එකවර නිශ්ශබ්දතාවයේ ගිලුණි. ඒත් සමඟම මියුරු සංගීත නාදයකින් හාත්පස පරිසරය පිරී ඉතිරී ගියේය. දර්ශන තලයේ නර්තනයක රූගත කිරීම් කෙමෙන් කෙමෙන් ආරම්භ වුණි. දිගු කලිසමකින් සහ අත් කොට තමිසයකින් සැරසුණු පුංචි කොලු ගැටයෙක් වම්පසින් වේදිකාවට සම්ප්‍රාප්ත විය. වේදිකාවේ දකුණු පසින් ගීතයේ තාලයට පාද තබමින් පුංචි දැරියක් දර්ශන තලයට පැමිණියාය. ඇය කොට ගවුමකින් සැරසී සිටියාය. එක අතක් ඉණෙහි තබා ගත් ඇය අනෙක් අත ඉහළට ඔසවා වේදිකාවේ වට කිහිපයක් කැරකුණේ සිය සිඟිති සිනහවෙන් ප්‍රේක්ෂකයන් තමා වෙත නතු කර ගනිමිනි. ඇය රඟන අයුරු දෑස් දල්වා දෑත් බැඳ බලා සිටි පුංචි කොලු ගැටයා පසුව ගීතයේ රිද්මයට ඇය සමඟ අතිනත් ගෙන නර්තනයේ යෙදුණේය.
'ජීවන මේ ගමන සංසාරේ ඒ 1955 වසරයි. ටී. සෝමසේකරන්ගේ අධ්‍යක්ෂණයෙන් සැඩ සුළං චිත්‍රපටය තිරයට පැමිණි වසරයි. 'සැඩ සුළං' සමඟ හමාගෙන ආ 'ජීවන මේ ගමන' එදත් අදත් සිනමාලෝලීන්ගේ මුවඟ රැඳෙන නොමියෙන ගීතයකි. ජමුණා රාණිගේ සහ ඒ. එම්. රාජ්ගේ හඬින් ගීතවත් වූ මෙම ගීතයට එදා නර්තනයෙන් දායක වූයේ පද්මිණී මානෙල් දහනායක ආරියදාස හා දයා අබේසේකර යන නළු නිළි යුවළය. සැඩ සුළං චිත්‍රපටය ඇරඹෙනුයේ මොවුන් දෙදෙනාගේ නර්තනයෙනි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන සීතාගේ (ෆ්ලොරිඩා ජයලත්) හා සුනිල්ගේ (ප්‍රේම් ජයන්ත්) ළමා කාලය ජීවන මේ ගමන සංසාරේ ගීතයෙන් ඉදිරිපත් වුණි. ඒ අදින් වසර හැට එකකට පෙරයි. එදා ළමා නළු නිළි යුවළක් ලෙස අප දුටු පද්මිණී සහ දයා අද අපට හමු වනුයේ ජීවිතයේ සැඳෑ සුවය විඳින අතරතුරේයි. කලකට පසුව දයා හා පද්මිණී ඔවුනොවුන් හමු වී සිය සිනමා අත්දැකීම් පිළිබඳ මතකය අවදි කළ සොඳුරු පිළිසඳරකි මේ. දයා- කොහොමද පද්මිණී? 'බොහෝ කාලයකට පස්සේ වුණත් සැඩ සුළං චිත්‍රපටය ගැන කතා කරද්දී හිතට හරි සතුටුයි. එදා වගේම අදත් ප්‍රේක්ෂකයන්ට අපිව මතකයි. පද්මිණී- ඔව් දයා . . . වසර හැට හයකට පස්සේ වුණත් ජීවන මේ ගමන සංසාරේ ගීතය අදත් එදා වගේම ජනප්‍රියයි. ගීතය නැවත අසද්දී හිතට පුදුම සතුටක් දැනෙන්නේ. ඒ නර්තනය ඇතුළත් දර්ශනය රූගත කළ විදිහ මට දැනුත් මැවී මැවී පේනවා. ඒ මතකය සුන්දරයි පද්මිණී. අපේ රූගත කිරීම් තිබුණේ ඉන්දියාවෙනේ. අනික හවස් වරුවේ. රෑ එළිවෙනකම් රූගත කිරීම් කළා මට මතක හැටියට. පද්මිණී- මමත් ඉන්දියාවේ ඉගෙන ගන්න ආව අලුත වගේ එතකොට. මට අවුරුදු එකොළහයි ඕකට සම්බන්ධ වෙන කොට. දයා- ඔව්, මට මතකයි පද්මිණී මියුසියස් විද්‍යාලයෙන් අයින් වෙලා ඉන්දියාවේ නර්තනය වැඩිදුර හදාරන්න ගිය අලුතනේ. එතකොට මම නාලන්දාවේ. නවය වසරේ හිටියේ. ඉස්කෝලේ ළමයින් අතර මම හරියට ජනප්‍රිය වුණා සැඩ සුළං චිත්‍රපටය තිරගතවීමත් එක්කම. පද්මිණී- කරුණාරත්න අබේසේකර ඔයාගේ වැඩිමල් සහෝදරයා නිසා දයාට කොහොමත් හොඳ පිළිගැනීමක් තිබුණනේ ඉස්කෝලේ. මගේ අයියා මොරිස් දහනායකයි, කරුණාරත්න අබේසේකරයි ගජ යාළුවෝනේ. අම්මයි තාත්තයි තේරුම් අරන් හිටියේ මුල ඉඳන්ම මට හොඳට ඩාන්සින් පුළුවන් කියලා. එතකොට මම කොල්ලුපිටියේ චිත්‍රසේන කලායතනයේ නැටුම් ඉගෙන ගන්නවා. නැටුමට උපන් හපන් නිසයි හැමෝගෙම ආශිර්වාදයෙන් මම පාසලට සමු දීලා ඉන්දියාවේ නර්තනය හදාරන්න ගියේ. එතකොට මට වයස එකොළහයි. ඇත්තටම දයා මට තාමත් හිතාගන්න බෑ පොඩි වයසකදී මාව අපේ අම්මා වෙන රටකට යවන්න කොහොම හිත හදා ගත්තද කියලා. ඒත් අම්මා එදා ගත්ත නිවැරදි තීරණය නිසයි මම අද මෙතන ඉන්නේ. දයා- ඇත්තටම පද්මිණී පොඩි වයසකදී තනියම ඉන්දියාවට ගිය අත්දැකීම කොයි වගේද දැනෙන්නේ? පද්මිණී- මටත් පුදුමයි දයා වෙලාවකට. අම්මාගේ තුරුලෙන් මිදිලා අවුරුදු එකොළහේදී මම තනියෙන් ඉන්දියාවේ කොහොමද හිටියේ කියලා. මම එහේ අවුරුදු පහක් හිටියා. ගිය දවසේ ඉඳන් තනිවමයි හැමදේම කළේ. 'කලා ක්ෂේත්‍රා' ආයතනයේ හිටියේ මම වගේම පුංචි ළමයි. දැඩි විනය නීති මාලාවක් යටතේයි අපිව ඒ ආයතනයෙන් මෙහෙය වූයේ. දයා- එතකොට පද්මිණී චිත්‍රපටයට සම්බන්ධ වුණේ කොහොමද? මොරිස් අයියා මාව ලංකාවේ ඉන්දැද්දි සම්මුඛ පරික්ෂණයකට එක්කගෙන ගියා. ඉන්දියාවට ගියාට පසුවයි මම දැනගත්තේ සම්මුඛ පරික්ෂණයෙන් සමත් කියලා. පස්සේ තාත්තා ඉන්දියාවට ඇවිත් මාව මදුරාසියේ වාහිනී චිත්‍රාගාරයට එක්කගෙන ගියා රූගත කිරීම්වලට. කලාකරුවන් සමඟ අයියාගේ සමීප සම්බන්ධතා තිබුණනේ. ඒ නිසා බොහෝ අය දැනගෙන හිටියා මට නටන්න හැකියාව තියෙනවා කියලා. පද්මිණී- දයා චිත්‍රපයට සම්බන්ධ වුණේ කරු අයියාගේ හැඳුනුම්කම් නිසා නේද? දයා- අපේ කරු අයියයි කලාකරුවන් අතරයි සමීප සම්බන්ධතා තිබුණනේ. මොරිස් අයියයි, කරු අයියයි නිසානේ අපි දෙන්නගේ පවුල් අතරත් මිත්‍රත්වය ගොඩ නැගුණේ. අපේ අයියා ලියන ගීත මොරිස් අයියා ගායනා කළා. කරු අයියා තමා මාව ඉන්දියාවට එක්කගෙන ගියේ රුගත කිරීම්වලට. පවුල් අතර සමීප සම්බන්ධකම් තිබුණත් මම පද්මිණීව හඳුන ගත්තේ දර්ශන තලයේදී. රූගත කිරීම් අතරමැදදී මම ආයිත් ලංකාවට ආවනේ. මතකද පද්මිණීට? පද්මිණී- අපොයි ඔව්. මොකද මතක නැත්තේ. නැටුම් පුරුදු කරද්දී අත අල්ලගෙන නටන්න තිබුණා. මාත් එක්ක අත අල්ලගෙන නටන්න බෑ කියලනේ ආයිත් ලංකාවට ආවේ. දයා- ඒ දවස්වල ගෑනු ළමයෙක්ගේ අතින් අල්ලනවා කියන්නේ හරි ලොකු දෙයක්නේ. අනික අපි ගෙදර හැදුණු වැඩුණු පරිසරය එක්ක හරි ලැජ්ජයි ඕවාට. පස්සේ ගෙදර අය කරුණු පහදලා දුන්නාට පස්්සෙයි ආයිත් ඉන්දියාවට ආවේ රූගත කිරීම්වලට. දැන් නම් ඒක මතක් වෙද්දිත් හිනා යනවා. පද්මිණී- ඒ කියන්නේ දැන් දයාට එහෙම ලැජ්ජාවක් නෑ වගේ? දයා- ඔව්, ඔව්, දැන් එහෙම ලැජ්ජාවක් නෑ. දැන් වුණත් ගෑනු ළමයෙක්ගේ අතින් අල්ලගෙන ඉන්න පුළුවන්. පද්මිණී- එදා එළිවෙනකම් රූගත කිරීම් තිබුණ නිසා පද්මිණී පුටුවකට වෙලා හොඳට නිදාගත්තා නේද? දයා- පුංචි කෙල්ලනේ. මහන්සිත් එක්කනේ. ඉතින් අනෙක් රූගත කිරීම් ඉවර වෙනකම් මම පුටුවට වෙලා නිදාගත්තා. තාත්තාත් ළඟනේ. පද්මිණී- ඒක නෙමේ දයා, චිත්‍රපටය තිරගත වුණාම ලැබුණු ප්‍රතිචාර කොහොමද? දයා- මම හිටියේ ඉන්දියාවේ ඒ දවස්වල. කෝල් කරලා කට්ටිය මට සුබපැතුවා. ලංකාවට ආවාට පස්සෙත් හමුවෙන අය ඒ ගැන මගෙන් ඇහුවා. අදටත් සමහරු ඒ ගැන මා එක්ක කතා කරනවා. වැඩියෙන්ම ගෑනු ළමයින්ගෙන් තමා ප්‍රතිචාර ලැබුණේ පද්මිණී. කොළඹ අවට ග(ර්)ල් ස්කූල්වලින් මං ගැන හොඳට හොයලා බැලුවා කවුද මේ චිත්‍රපටයේ නටන කොල්ලා කියලා. මම පාරේ යද්දී මං දිහා කෙල්ලෝ හොරෙන් බලනවා , සමහරු කතා කරනවා. හොඳ ප්‍රතිචාර ලැබුණා මට. කෙල්ලන්ට නම් ආඩම්බරකම් පෙන්නුවා ටිකක්. පද්මිණී- දයා රඟපාපු චිත්‍රපටවලින් වැඩියෙන්ම ජනප්‍රිය වුණේ මේ චරිතය නේද? දයා- ඔව්, මම පාසල් කාලයේදීම 'වරද කාගේද' චිත්‍රපටයේ රඟපෑවා. සැඩ සුළං චිත්‍රපටයෙන් පස්සේ 'සල්ලි මල්ලි සල්ලි' චිත්‍රපටයේ රඟපෑවා. අදටත් මාව වැඩිපුර මිනිසුන්ට මතක සැඩ සුළං චිත්‍රපටය නිසා. දයා- පද්මිණී සැඩ සුළං සිනමාපටයෙන් පස්සේ ආයිත් චිත්‍රපටවලට එකතු වුණාද? පද්මිණී- මම නර්තනය හොඳට ඉගෙන ගත්තා. කලා ක්ෂේත්‍රා ආයතනයෙන් 1959 දී ශාස්තී‍්‍රය භරත නාට්‍ය ඩිප්ලෝමාධාරිනියක ලෙස නැවත ලංකාවට ආවා. එවකට භරත නාට්‍ය ඩිප්ලෝමාවක් ලැබූ පළමු සිංහල කාන්තාව වුණේ මම. ඊට පස්සේ මම නර්තන ආචාර්යවරියක ලෙස ලංකාවේ පාසල් කිහිපයකම කටයුතු කළා. ඒ අතරතුර චිත්‍රපට නර්තන අධ්‍යක්ෂවරියක් ලෙසත් කටයුතු කළා. ධීවරයෝ, අල්ලපු ගෙදර, යටගිය දවස, සුභසරණ සැප සිතේ, ආත්ම පූජා, දෙමෝදර පාලම වැනි චිත්‍රපටවල මම නර්තනය අධ්‍යක්ෂණය කළා. සැඩ සුළං සිනමාපටයෙන් පස්සේ 'දරුවා කාගේද' චිත්‍රපටයේ 'ගෙදරට සිරියාවයි' සුජාතා අත්තනායක විසින් ගයන ගීතයකට නර්තනය ඉදිරිපත් කළා. අදටත් මම නැටුම් පන්ති කරනවා. ජනප්‍රිය රංගන ශිල්පිනියන් රැසකට මම නර්තනය පුහුණු කරලා තියෙනවා. දැනට මගේ ගෝලයන්ගේ අරංගේත්‍රම් අනූ තුනක් කරලා තියෙනවා. දයා- පද්මිණීට දැන් වුණත් ජීවන මේ ගමන ගීතයට නටන්න පුළුවන්නේ. ඒක ඇඟේම තියෙනවනේ. මට නං දැන් ටිකක් අමාරුයි. පද්මිණී- ඒ කාලේ වගේ ළමා පෙනුමක් නැති වුණාට නටන්න පුළුවන්. දයාටත් උත්සාහ කළොත් බැරි නෑ. ඒක නෙමේ, ඒ දවස්වල සිරි අයියාගේ ළමා පිටියේ දයා හිටියා නේද? අදටතේ දයා නිවේදන කටයුතු කරනවාද? දයා- ඔව් පද්මිණී. මගේ හරි නම දයානන්ද අබේසේකර, සිරි අයියා තමයි මගේ නම දයා අබේසේකර කළේ. දවසක් වැඩ සටහනකදී සිරි අයියට කියවුණේ දයා කියලා. මම කිව්වා මගේ නම දයානන්ද කියලා. එතකොට සිරි අයියා කිව්වා නෑ දයාට හොඳ දයා අබේසේකර නම තමා කියලා. සිරි අයියාගේ ළමා පිටියෙන් තමයි අන්තිමේදී මගේ නමත් හැඳුණේ. මම ලංකාවේ ඉගෙන ගත්තාට පස්සේ එංගලන්තයට ගියා. එහේ ගිහින් මහජන සම්බන්ධතාව ගැන වැඩිදුර ඉගෙන ගත්තා. එංගලන්තයේදී මම වේදිකා නාට්‍යයක පවා රඟපෑවා. එහේදී ඕඕඛ්, සංදේශය වැනි මාධ්‍ය නාළිකාවල මම වැඩසටහන් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය සම්මුඛ සාකච්ඡා. දැනට ඒ වගේ වැඩ සටහන් හාරසීයක් පමණ කරලා තියෙනවා. එංගලන්තයේ අවුරුදු 10 ක් ඉඳලා කැනඩාවට ගියා. එහෙදී ආරංචි වුණා අයියාගේ මරණය. අයියාගේ පුතා දිලීප ගැනත් හිතලා මම තීරණය කළා නැවත ලංකාවට එන්න. අදටත් මම ධ්ඊව් එකේ ද්වි භාෂා නිවේදකයකු ලෙස කටයුතු කරනවා. වසර 27 ක් තිස්සේ 'රුපීස් ඇන්ඩ් සෙන්ස්' ඉංග්‍රීසි වැඩසටහන මම තවමත් කරනවා. පද්මිණී- අවුරුදු ගණනාවකට පස්සේ අපි දෙන්නට සැඩ සුළං චිත්‍රපටය ගැන මතක් කරන්න ලැබීමත් සතුටක්. ඇත්තටම ඒ ගීතයට නටන්න ලැබීමත් අපේ වාසනාවක්. අද දරු මුනුපුරන් එක්ක ගීතය රස විඳිද්දී පුදුම සතුටක් දැනෙනවා. ඒ ගීතය අදත් හෙටත් පරපුරෙන් පරපුරට අමරණීයව තියේවී. ආනන්ද සමරකෝන් ලියපු ඒ ගීතයට අපිට නර්තනය පුහුණු කළේ ඒ. කේ. චොප්රා. සංගීතය ඇස්. දක්ෂිණමූර්තිගේ. මදුරාසියේ වාහිනී චිත්‍රාගාරයේ තමයි ඒක රූගත කළේ. ඒ මතකයන් හැමදාම අපේ ජීවිතේ රැඳිලා තියෙනවා . එහෙම නේද දයා. දයා- ඔව් පද්මිණී, මම ඒ කතාවට එකඟයි. සැඩ සුළං සිනමා කෘතිය අපේ ජීවිතවලට වටිනාකමක් එකතු කළා කීවොත් අපි නිවැරදියි. දහස් ගණනක දරුවන්ගේ නර්තන ආචාර්යවරියක වන කලාසූරි, කලාභූෂණ, නර්තන කීර්ති, නර්තන මාතා පද්මිණී මානෙල් දහනායක ආරියදාස හා ප්‍රවීණ ද්වි භාෂා නිවේදක දයා අබේසේකරයන් 'ජීවන මේ ගමන සංසාරේ' ගීතයට ඉදිරිපත් කළ රංගනය ඔවුනට මෙන්ම ප්‍රේක්ෂක ඔබටත් නැවුම් අත්දැකීමක් තිළිණ කර හමාරය. ජීවිතයේ සැඳෑ සමය සතුටෙන් ගෙවන ඔවුන් දෙපළට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු!
|
|