වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




උදයකාන්ත සිනමා පාතාලයට බයයි ද?

උදයකාන්ත සිනමා පාතාලයට බයයි ද?

දිනේෂ් ප්‍රියසාද් අසයි

මා සරසවියට ලියූ ලිපි මාලාව අවසන් වීමට මත්තෙන්ම ඒ පිළිබඳව උනන්දුව දක්වමින් පළ කළ පිළිතුරු - පැනයට, මා උදයකාන්තට අනේක වාරයක් ස්තූති කරමි.

'ඔබ පිළිතුර' යට කී ලිපි පෙළ අවසානයේදී මුදා හැරියා නම් 'ඔබ පිළිතුරේ' හැඩතල සහ වටිනාකම - හාත්පසින්ම වෙනස් වනු ඇත.

කෙසේ හෝ ඔබටත් - සියලු සිනමා විද්වතුන්ටත් නොපෙනෙන මෙන්ම - නොසිතන, සිනමාව පිළිබඳ භයංකාර කොටසක් වර්තමානයෙහි සැඟ වී ඇත. නැතිනම් එම කොටස, හිතාමතාම තම පහසුව සඳහා බැහැර කොට ඇත. ඒ පිළිබඳ මුනිවත රැකීම - යම්තාක් දුරට තම වත්මන් වෘත්තීය රැක ගැනීමට සිනමාකරුවන්ට ඉවහල් වනු ඇතැයි මට සිතේ. සුනුවිසුණු වී ගිය සුන්දර අතීතයක නටබුන් කා ළඟත් ඉතිරිව පවතී. අතීතයේදී කෙනෙකු විඳි කටුක, දුර්වර්ණ වූ, කාල පරිච්ඡේදයක් - අවුරුදු දහයකට පසුව ආවර්ජනය කිරීමේදී - එය අති සුන්දර 'ස්වර්ණමය යුගයක්' සේ හැඟී යයි. එවන් කාලයක් නැවත කිසිදා නොඑන බවට සමහරු ප්‍රතිඥා දෙයි. සිනමාවේ ස්වර්ණමය කාලය ද එවැන්නකි. එය හීල්ලීමට කරුණක් නොවේ. උදය, ඔබ මතු කරන අදහසේ, පළමු වගන්තිය අවුල් සහගතය. 'චිත්‍රපට සංස්ථාවේ' ඇරඹුමත් සමඟ සිනමාව හැසිර වූ මෙරට ධනපති සමාගම්වල (සිලොන් තියටර්ස් සහ සීමාසහිත - සිනමාස් සමාගම - විය හැකියි) කෙනෙහිලිකම් යටපත් වූ බවත්, ඒ සමඟම විදේශීය චිත්‍රපට ගෙන්වීම ඇන හිටීමෙන්, එමඟින් හොඳ විදේශීය චිත්‍රපට නැරඹීමේ අයිතිය ද මෙරට ප්‍රේක්ෂකයාට අහිමි වූ බවත් ගෙන හැර පා ඇත. එයින් ඔබේ යටි සිත මුමුණන්නේ 'චිත්‍රපට සංස්ථාව' ටිකක් හොඳ මෙන්ම, ගොඩක් නරකයි කියාද?

මට පෙනෙන ආකාරයට නම් අද තවමත් චිත්‍රපට සංස්ථාව නීරෝගිමත්ව ජීවතුන් අතරය. ධනපති චිත්‍රපට සමාගම්වල කෙනෙහිලිකම් සංස්ථාව ඉදිරියේ 'කිසියම් කාලයකට' යටපත් වූ බවක් ඔබ කියාපෑමෙන් විද්‍යාමාන වන්නේ, මේ වන විට කෙනෙහිලිකම් නැවත සංස්ථාව ඉදිරියේම හිස ඔසවා ඇති බවක්ය. එය පිළිගත හැකි සත්‍යයකි.

දැන් ඔබට, සියලුම වත්මන් සමාගම්වල කෙනෙහිලිකම් දැනෙන්නේ කොයි ආකරයෙන්ද? එයට විරුද්ධව නැඟී සිටියහොත් අපේ ''job' එක ගහල යයිද, ඔබ 'දලුලන සිනමා පාතාලයට' බයද? ඔබ වැනි කෙනෙකු 'සිනමා පාතාලයට' හෝ සිනමාව හසුරන 'බළල් අත්වලට කොහෙත්ම බිය විය යුතු නැතැයි මම සිතමි. අනික උදය, 'සංස්ථාව' පසු කලෙකදී නොව, මෙරට නිෂ්පාදනය කරන 'සංස්ථාවේ' ලියාපදිංචි සෑම චිත්‍රපටයක්ම ප්‍රදර්ශනය කිරීමට බැඳී ඇත්තේ ආරම්භයේදීමය. එනම්, 1972 රාජ්‍ය චිත්‍රපට සංස්ථා - පාර්ලිමේන්තු පනතින් බව පසක් කර සිටිමි.

එය අදට ද වලංගුය. එහි බරපතළකම සහ වටිනාකම නොදන්නා මෙන්ම පියවර නොගන්නා නිෂ්පාදකවරු අද අනාථ වී ඇත.

එමෙන්ම ඔබ කියන හොඳ විදේශීය 'චිත්‍රපට විශේෂය' මොනවාද යන්න මම නොදනිමි.

සංස්ථාවේ ආරම්භයත් සමඟම ආනයනය තහනම් කෙරුණේ ඇමෙරිකානු චිත්‍රපට පමණි. ගුවන් විදුලියේදී තහනමට ලක් වූයේ ඊයේත් - අදත් - හෙටත් ජනප්‍රියම ගායකයාණන් වූ ජෝතිපාලයන් පමණි.

ඒ සමගම, චෙකොස්ලොවේකියානු, රුසියානු, ජර්මානු, පෝලන්ත සහ බෙංගාලයේ නිපද වූ හොඳ උසස් යැයි සම්මත චිත්‍රපට මෙරටට ගෙන් වූ කාලයේ ඔබ ඉපදී නැති ද යන්න සැක සහිතය.

ජෝන් වේන්ගේ 'ද ග්‍රීන් බෙරේස්' චිත්‍රපට පිටපත ශ්‍රී ලංකා වරායෙන්ම නැවත හොලිවුඩයට හරවා, පටවා යැව්වේ 'කොළ පාට' අරහං වූ නිසාය.

ඉන් අනතුරුව - ඔබ කියන්නේ විනෝදවීමට වෙනත් මාධ්‍යයක් නොමැති බැවින්, කිසිවෙකු - තරාතිරම නොබලා සිනමා ශාලාවට පිරුණු බවත් ඒ සමඟම සිනමාවේ ස්වර්ණමය යුගයක් උදාවුණු බවත්ය.

හිතවත් උදය, ලාංකීය සිනමාවේ 'ස්වර්ණමය යුගය' යනු 60 දශකයයි. එම යුගය පල්ලම් බැසීමට පටන් ගත්තේ 70 දශකයේ මැද භාගයේදී බව හොඳින් වටහා ගන්න. එය මා සටහන් කළේ - ඔබේ දැනගැනීම සඳහාත්, ඇරත්, එය මුද්‍රණ දෝෂයක්දැයි වරෙක මට සිතෙන නිසාත්ය.

අනික, තරාතිරම නොබලා රසිකයින් පිරුණේ තම තරාතිරමට සරිලන ටිකට් පතක් සිනමාහල තුළ තිබූ බැවින් සහ තම තරාතිරම නඩත්තු කරගත හැකි පංතියක ආසනයක් සිනමාහල තුළ තිබූ බැවින්ය. එහෙත් කසිකබල් චිත්‍රපට නැරඹීමට නොව ඔබ කියන වර්ගයේ ආකර්ෂණීය චිත්‍රපට නැරඹීමටය. එය එදත් - අදත් - හෙටත් වලංගුය. ඇරත් - ඔබ කියන යුගය - කියන තරම්ම 'ස්වර්ණමය' යුගයක් නොවනු ඇත. එදා දවසේ නිෂ්පාදකවරු නැති 'බංගස්ථාන' කොට 'නන්නත්තාර' කළ චිත්‍රපට ද එමටය. වැහිලිහිණි - මගෙ රන් පුතා - ඇස් ඉදිරිපිට - දිවි තිබෙන තුරු - වානරයෝ - ක්ෂිතිජය - හදවතක වසන්තය - ඒක දිග කථාවක් - රොඩීගම - කොහොම කියන්නද? - සාගරිකා - සුදු මාමා - එක හිත සහ ලෝක හොරු ඉන් බිඳකි. තව තොගයක් ඇත.

අද ලෝකයේ විනෝද මාධ්‍යයන් බොහෝය. එහෙත්, සිනමා තිරයෙන් ලබන තෘප්තිය හුදු විනෝදයක් පමණක් නොව, එහි වෙනත් 'ප්‍රබල රසයක්' සමඟ නරඹන්නාගේ මනසට සහ සිතට ලබාදෙන සිතුවිලි සමුදාය - කිසිදා වෙනත් විනෝද මාධ්‍යයකින් ලබා නොදෙනු ඇත. එබැවින් එහි නියම රසාස්වාදය, තෘප්තිය ලබාගත හැක්කේ ඔබම පවසන අන්දමට සිනමාහලේදී පමණය. එය පරිගණකය ආශ්‍රිතව හෝ ඩී. වී. ඩී ටෙලිවිෂන් හෝ දුරකතනයෙන් නැරඹීම තුළ කිසිදා රසිකයා සැනසිල්ලට පත් නොවනු ඇත. අද ටෙලිෆෝනයෙන් චිත්‍රපට නැරඹීම 'ගොඩයට මැජික්' වැනිය. එය ටෙලිවිෂනය ශ්‍රී ලංකාවට සැපත් වූ කාලයට සමානය. මගේ ලිපි පෙළ හරි අවබෝධයෙන් පරිශීලනය කළා නම් වැසී ගිය සහ ඉතිරි වූ සිනමාහල් ඉලක්කම් සහිතව කාලවකවානු සමඟම සිනමාහල් වැසියාමට පාදක වූ කරුණු ද දැන ගැනීමට හැකි වනු ඇත.

ඔබගේ ඊළඟ පිළිතුරු - පැනයට උත්තරය වශයෙන් දීර්ඝ කතාවක් කෙටි කරන්න. ඔබ සිනමා ක්ෂේත්‍රයට පැමිණීමට පෙර - විජය කුමාරතුංග අභාවයෙන් පසු 1989 දී නිෂ්පාදකවරුන් සහ සිනමාහල් හිමියන්ගේ ගාලගෝට්ටිය මැද සිනමාහලේ පංති පද්ධතිය අහෝසි වී ගියේය. ඒ මොහොතේ ද මා එතැන විය.

එය එසේ මෙසේ සිදුවීමක් නොවුණු බව මා නැවත නැවත පවසන්නේ සිනමා විද්වතුන්ට දැන ගැනීමටය. ටිකට් මිල අධික ලෙස ඉහළ දැමු සිනමාහල් හිමියා ඉදිරියේ 'සංස්ථාව' මුනිවත රැක්කේය. එහෙත් සංස්ථා උසස් නිලධාරීන් කිහිප දෙනෙකු (ශීලා මිස් - වයලා මිස් සහ චිත්‍රා වරකාගොඩ මහත්මිය ඇතුළු තවත් කිහිප දෙනෙකු) සිනමාහලේ පංති පද්ධතිය අහෝසි කිරීමට ද - ප්‍රවේශ පත්‍ර මිල ඉහළ දැමීමට ද විරුද්ධ වූ බව ද මේ මොහොතේ සඳහන් කරන්නේ සිනමාව වෙනුවෙන් ඔවුන් කළ සටනට ද ගෞරවය දැක්වීම පිණිසය.

විරුද්ධකම් මැද කෙසේ හෝ සිනමාහල ජය ගත්තේය. එබැවින්, චිත්‍රපට අපේක්ෂිත පොදු ජනතාවට සිනමාහල අතැර දැමීමට සිදු වූයේ තමන්ගේ ජීවන රටාවට සරිලන මිලකට සිනමාහලේ ප්‍රවේශ පත්‍රයක් නිකුත් නොකළ බැවිනි.

1977 වන විට චිත්‍රපට සංස්ථා සාමාන්‍යාධිකාරී ඩී. බී. නිහාල්සිංහ මහතා විසින් ගොඩ නැඟූ ලක්ෂ 700 ක ප්‍රේක්ෂක ජනතාව 1990 වන විට දියාරු වී ගියේය. අවුරුද්දකට චිත්‍රපට නැරඹූ ලක්ෂ 700 ක ප්‍රේක්ෂක ජනතාව අද දින ලක්ෂ 175 ට බැස ඇත. එවන් වූ සිනමාවක නිහාල්සිංහ මහතා වන් සිනමාකරුවෙකු තවදුරටත් රැඳී සිටීද? එතුමා, රූපවාහිනියට මාරු වූයේ, චිත්‍රපට නොමැතිකම නිසා නොව, රූපවාහිනිය ද ජනතාව ආමන්ත්‍රණය කරන ප්‍රබල මාධ්‍යයක් වූ නිසාය. ඊළඟ ඔබේ අදහස - කෙළින්ම පිළිගත හැකිය. සියයට සියයක්ම එයට මාත් එකඟය. ඔබේ අදහස පරිදිම මා එදත් හැදුවේ ආකර්ෂණීය චිත්‍රපට පමණි. නිෂ්පාදකවරු නිවැරදි වියදම දරන්නේ නම් එය සුළු දෙයකි.

එහෙත් උදය, මොන සිනමා තාක්ෂණය යෙදුවත්, මොන උපක්‍රම යෙදුවත්, කෙතරම් ආකර්ෂණීය තත්ත්වයක් සිනමාපටය තුළ රැක ගත්තත් - ජනතාවගේ අතේ ඇති මුදලට චිත්‍රපටයක් නැරඹිය නොහැකි නම් කිසිදා ඔවුන් සිනමාහලට නොඑනු ඇත. ඔවුන් අසන්නේ - චිත්‍රපටයක් ඔවැනි අධික මුදලකට නරඹන්නේ කුමක් අරබයා ද යනුවෙනි.

සිනමාහලේ ඉදිරි පෙළ අසුන්වලට ප්‍රේක්ෂකයින් වාඩි කරවීම අපහසු යැයි ඔබ කියයි. ඒ ටිකට් මිල FLAT RATE  (සම ගාස්තු) නම් පමණි. රුපියල් 30/- ගණනේ ටිකට් පතක් 03 වෙනි පංතිය වෙනුවෙන් නිකුත් කොට බලන්න. රුපියල් 200/- ක් දී ඉදිරි අසුනකට ගොස් බෙල්ල කඩා ගන්නේ මක්නිසාද?

ඉන් ඔබ්බට ගිය කල . . .

ඔබ පවසන අන්දමට බරපතළ කාරණය වන්නේ, හොඳ චිත්‍රපට හෙවත් විනෝදාත්මක හෝ කලාත්මක චිත්‍රපට හිඟකමත්ය. විමෝදාත්මක සහ කලාත්මක යනු දෙවර්ගයකි. ඉන් හොඳ එක - කෝකද යන්න මට නොවැටහේ. ඔබේ පළමු චිත්‍රපටය 'මහ මෙර උසට' 1997 මා දන්නා පමණින් හොඳ කලාත්මක වටිනාකමක් ඇති චිත්‍රපටයකි. එම චිත්‍රපටය ජනතාව මඟ හැරියේ මන්ද? එය හොඳ එකක් නිසාද? නැතිනම් නරක එකක් නිසාද? ඔබේ කොස්තාපල් පුඤ්ඤසෝම ජනතාව වැලඳ ගත්තේ මන්ද? එය හොඳ ඒකක් නිසාද - නරක එකක් නිසාද?

කෙසේ නමුත් 'කොස්තාපල් පුඤ්ඤසෝම' ආදායමෙන් ඔබ සෑහීමකට පත් වුව ද, මගේ නිගමනයට අනුව එම සිනමාපටය ඔයිට වඩා වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් වැලඳ ගැනීමට නියමිතව තිබුණි. එය, එසේ වන්නේ 02 වන සහ 03 වෙනි පන්ති පද්ධතිය සිනමාහල තුළ ක්‍රියාත්මක වූවා නම්ය.

අද නිර්ධන පංතියට සහ මධ්‍යම පාංතිකයාට සුදුසු අසුනක් සිනමාහල තුළ නොතිබීමෙන් ද අතැති මුදලට ටිකට් පතක් නොමැතිවීමෙන් ද චිත්‍රපටයකට වැඩි වැඩියෙන් ප්‍රේක්ෂකාවධානය දිනා ගැනීමට නොහැකි වී ඇත. සිනමාව පසුබැස්මට එයම පාදක නොවේද?

චිත්‍රපට අපේක්ෂිත විසල් පිරිසක් සිනමාහලෙන් බැහැරව සිටියදී අද චිත්‍රපට නරඹන්නේ ඉතාම සුළු පිරිසකි. සියලු චිත්‍රපටකරුවන් යැපිය යුත්තේ ඒ සුළුතරයෙන්මය. සමාජයේ පුංචි මිනිහා පිළිබඳ අප දෙදෙනා මෙයට වඩා සංවේදීව සිතා බැලිය යුතුය. ඒ කරුණ සම්බන්ධයෙන් මටත් වඩා සුදුසුම අදියුරු ඔබය. චිත්‍රපට නිර්මාණකරු හැම විටම පොදු ජනාතාව වෙනුවෙන් සීරුවෙන් සිටිය යුතුය. චිත්‍රපට නරඹන සුළුතරය හේතුවෙන්ම ප්‍රවේශ පත්‍ර මිල ඉහළ දැමීමට සිදු වී ඇත්තේ නිරායාසයෙන්ය. මන්ද සිනමාහල් නඩත්තුවට වැය වන මාසික මිල ද ඉතා අධික බැවිනි.

'මන්ද මානසික' තත්ත්වයේ පෙළෙන නිලධාරින්, සිනමාහල් හිමියන් 'ගැලරියට' හරිම බයය. හැම බුද්ධිමතාටම වුවද 'ගැලරිය' තේරුම් ගත නොහැකිය. එම නිසා 'ගැලරි' නම ඉවත් කොට, එයට 03 වෙනි පංතිය යනුවෙන් ලකුණු කොට දුම්රියේ මෙන්, අවම මුදලකට ටිකට්පත නිකුත් කරන මෙන් ද දෙවෙනි පංතිය හෙවත් - මධ්‍යම පංතිය, පවුලකට දරාගත හැකි මිලකට - ටිකට් පත සීමා කොට, 01 වෙනි පංතිය හ පිටුපස ආසන ද, බැල්කනිය ද සිනමාහල් හිමියාට කැමති මිලකට අලෙවි කර ගැනීමට අවසරය ලබා දෙන ලෙස මා අවුරුදු 27 ක් තුළ ඉල්ලා සිටින්නේ 'සිංහල සිනමාහල' ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලියට යටත්ව තනිව සටන් වැදීමෙනි.

විසල් ජනතාවක් සිනමාව වැලඳ ගත් ඇමරිකාව, එංගලන්තය වැනි ධනවාදී රටවල ක්‍රමවේද සියල්ලම අපට නොපෑහේ. අප සුද්දගෙන් ගත යුත්තේ 'කැමරාව' - 'ප්‍රක්ෂේපණ යන්ත්‍රය' සහ 'පංති පද්ධතියයි'. අප ලැජ්ජා විය යුත්තේ 'ගැලරියට' නොව O D C යන කම්කරු අරුත දෙන අකුරු තුනටය. එයද ගලවා විසිකර එයට V I P ලෙස නම් කරන මෙන් මා ඉල්ලා සිටින්නේ 12 වෙනි වතාවටය. 'ගැලරි' නම හරියටම ගැළපෙන්නේ බැල්කනි පිරිසටය. මන්ද ප්‍රභූවරු රාජ්‍ය නායකයින් බැල්කනියේ සිට නරඹන බැවිනි. 'ගැලරිය' යනු ප්‍රභූ පැලැන්තියේ පංතියයි.

ඊළඟ පැනයට . . . චිත්‍රපටය 'මෙලෝ රහක්' ඇතිද නැති ද යන්න දැන ගැනීමට චිත්‍රපටය පළමු දින (1st DAY-1st SHOW) නැරඹිය යුතුමය. යථෝක්ත 03 වෙනි සහ 02 වෙනි පංතියේ සිටින්නේ අන්න ඒ 'රසිකයා' බව අමතක නොකරන්න. ඔවුන්ගේ 'කටින්' දෙන ප්‍රචාරය වනාහී නිර්ව්‍යාජ ප්‍රචාරක මාධ්‍යයක්ය. චිත්‍රපටයක් 'නැග්ගවීමට' හෝ 'බැස්සවීමට' එය හොඳටම ප්‍රමාණවත්ය. ඒ පිරිස අද සිනමාහල තුළ නොමැතිකමින් - සෙනඟ එනතුරු - සති 02 ක් හෝ 03 ක් තිස්සේ අලුත්ම අලුත්  BRAND NEW  චිත්‍රපටයකට අද මඟ බලා දත නියවා සිටීමට සිදු වී ඇත. එදා අප ප්‍රධාන සිනමාහලේ ආරම්භක 10.30 දර්ශනය HOUSE FULL  නොවුණා නම් නිෂ්පාදකයා චිත්‍රපටය එදාම සිතින් අත්හැර දමනු ඇත.

මේ මහත් වූ 'ප්‍රදර්ශන අක්‍රමිකතාවයේ' අනුහසින් නිෂ්පාදකට සිදු වී ඇත්තේ ටෙලිවිෂනය ඉදිරියේ මහජනතාවට වැඳ නමස්කාර කොට සිනමාහලට පිවිසෙන ලෙස ඇවිටිලි කිරීමටය.

සිනමාහලට සෙනඟ අද්දවා ගැනීමේ හොඳම ක්‍රමවේදය අප දෑස් ඉදිරිපිට තිබියදී වෙනත් අයථා ක්‍රම භාවිතා කොට ජනතාව රවට්ටන්නේ ඇයිදැයි මට නොතේරේ. පළමු දර්ශනය, නොමිලේ - 2.30 දර්ශනය ළමයින්ට නොමිලේ - 6.30 දර්ශනය ආයඅම්මලට නොමිලේ මෙලෙස චිත්‍රපට පෙන්වීමෙන් සිනමාකරුවාගේ ආත්ම - අභිමානයට කුමක් සිදුවේද? අප එදා චිත්‍රපට පෙන් වූයේ 'සියලුම පාස් සහ පහසුකම් අත්හිටුවා ඇත' යනුවෙනි. එහි අභිමානය කෙලෙසද යන්න ඔබට දැනෙනවා ඇත.

ඊයෙත් - අදත් - හෙටත් ප්‍රධාන ධාරාවේ හොලිවුඩ් - බොලිවුඩ් චිත්‍රපට දෙස බලන්න. ඔබ කියන හොඳම වර්ගයේ හොඳම චිත්‍රපට පැය 03 කි.

ඇමරිකන් ඩොලර් මිලියන 245 වැය කොට හැදූ අලුත්ම 'ජේම්ස් බොන්ඩ්' චිත්‍රපටය SPECTRE පැය 02 මිනිත්තු 28 කි. රහසිගතයි:- පැය 2 කට හැදුවා නම් ඩොලර් මිලියන 49 ක් ඉතිරි කර ගැනීමට තිබුණි. හැබැයි එය නිෂ්පාදකට දැනුම් දෙන්න නම් එපා . . . ඊළඟ 'ජේම්ස් බොන්ඩ්' එක කොට කරාවි. පසුගියදා ගරු අග්‍රාමාත්‍යතුමා රීගල් සිනමාහලේ ඉතා සන්සුන්ව පැය දෙක හමාරක්SPECTRE' නැරඹුව හෙයින්ම එය අපට හොඳ අභිමානයක් මෙන්ම ආදර්ශයක් ද විය. චිත්‍රපටයක තත්ත්වය - ප්‍රමිතිය පිළිබඳ මනින නිල නොවන ඒකකය වන්නේ චිත්‍රපටයක ධාවන කාලයත් - චිත්‍රපටය පතිත වන දැවැන්ත තිරයත්ය. 'අප ගුරු ඉන්දියාවට' හෝ ඇමරිකාවට නැද්ද හැකියාවක් - කොට චිත්‍රපට හැදීමට? ඔවුන් කිසිදා සිනමාව හෑල්ලු නොකරන - වෘත්තීය බාල්දු නොකරන පිරිසිදු සිනමාකරුවන්ය. චීටින් CHEATING  අයිති අපටය. එබැවින් ඔවුන් ජනතාවගෙන් ලබාගගන්න මුදලට නියම සාධාරණය ඉටු කරනු ලබයි. අප සිනමාකරුවන් වංචාවෙන් සහ අසාධාරණයෙන් ජය ගැනීමට බලා සිටියි.

ඔබේ ඊළඟ අදහසට . . .

හොඳම නළුවා සහ හොඳම ගායකයා අද සිටියත් විසිල් ගහන පිරිසක් - අද නිර්මාණය කිරිමට නොහැකි බව - ඔබ පිළිගෙන ඇත. එහි ඇත්තක් ඇත. ප්‍රධාන ඇත්ත නම් අද සිටින අධ්‍යක්ෂවරු එමට දුර්වලය. දුර්වලකම් ඇත්තේ නළුවා හෝ නිළිය ළඟ නොව - අධ්‍යක්ෂවරයා ළඟය. 1986 මගේ 'පෙරළිකාරයෝ' සිනමාපටයේ මිනිසුන් නොහඳුනන ටෙඩී විද්‍යාලංකාරට ද, 'විජය'ට මෙන්ම විසිල් ගසයි. ජනප්‍රිය නොවන ටෙනිසන් කුරේට ද 'විජය' ට මෙන්ම විසිල් ගසයි. මෑතකදී තිරගත වූ චිත්‍රපටයක - ටෙලිවිෂන් ප්‍රචාරක කටයුත්තක් සඳහා යම් මහත්මයෙකු මෙසේ කියන ලදී. 'මං දැක්කා අවුරුදු ගාණකින් සිනමාහල්වල විසිල් ගැහුවා' මාද එයින් උද්දාමයට පත්ව, ඉක්මනින් ගොස් චිත්‍රපටය නැරඹුවා. එහෙත් එහි කිසිම තැනක විසිල් ගැසීමට තරම් මා සිත තුළ උත්තේජනයක් ඇති වූයේ නැත. 'විසිල්' නිකංම ගැසීමට නොහැක. එයට පසුබිමේ සිටින අධ්‍යක්ෂවරයා අති දක්ෂයෙකු විය යුතුමය.

එබැවින් සිනමාවේ මහ බලවතුන් කරන - කියන හැම දේටම අප හිස නැමිය යුතු නොවේ. උදය, අවසන් ලේ බිංදුව දක්වා සිංහල සිනමාව වෙනුවෙන් සටන් වදිමු . . .! නැතිනම්, භයංකාර සිනමා පාතාලයට නමස්කාර කොට වඳිමු.

අවසාන . . . මහජනතාවගේ පහසුව සඳහා ද, ජාතික සිනමාවේ උන්නතිය තකාද - සිනමාහල තුළ පංති පද්ධතිය නැවත ආරම්භ කොට, ප්‍රවේ පත්‍ර මිල පහතට හෙළා - ඉදිරිපස පංති දෙකට - ලාබෙට චිත්‍රපටයක් නිකුත් කරන්නේ නම් , ඔබත් - මාත් පතන සිනමාව හරහා - කිසිදා නොමියෙන 'ස්වර්ණමය යුගයක' උදෑසනකට, හිරු පායනු ඇත.

ඒ උදයද උදාවේවා . . .!