වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




ස්පිල්බර්ග්ගේ චිත්‍රපටයකින් පිදුම් ලද ස්ටැන්ලි කුබ්‍රික්
සිනමාවේ විශිෂ්ටතම සිනමාකරුවන් ගැන කියවෙන වින්දනීය සිනමා ප්‍රේමය 02

ස්පිල්බර්ග්ගේ චිත්‍රපටයකින් පිදුම් ලද ස්ටැන්ලි කුබ්‍රික්

කුබ්‍රික් යනු ලෝක සිනමා ඉතිහාසයේ ඉතා නිපුණ, විශාරද, නව අදහස් ඇති, බලපෑමක් ඇති කළ සිනමාකරුවන්ගෙන් කෙනෙක් බවට පුළුල් පිළිගැනීමක් තිබෙනවා. ඔහුගේ අධ්‍යක්ෂණයෙන් බිහිවන චිත්‍රපට ගෞරවාන්විත පිළිගැනීමකට ලක්වන නමුත් බොහෝ විට විවාදාත්මක නැතහොත් මතභේදාත්මක නිර්මාණ වූවා. එම නිර්මාණ බොහෝ විට තේරුම් ගැනුණේ ඒවා කුබ්‍රික්ගේ සිතේ දැඩිව දරාගත් පාරප්‍රාප්තවාදී ස්වභාවයේ ප්‍රතිබිම්බ ලෙසයි. ඔහුගේ චිත්‍රපට නිරූපණය කර ඇත්තේ ඒවායේ චරිත විස්තර කර ඇත්තේත් විධිමත් දෘශ්‍ය ශෛලියකින් මෙන්ම ඉතා සුපරික්ෂාකාරී සවිස්තරාත්මක අවධානයකිනුත් වීම විශේෂත්වයක්. ඔහුගේ පසුකාලීන චිත්‍රපට බොහෝ විට අධි තාත්විකවාදයේ සහ භාව ප්‍රකාශන ශෛලියේ මුල ධර්ම සංකලනය වීම නිසා රේඛීය කතා තේමා ව්‍යුහයකින් ඈත් වූ ඒවා වූවා. ඔහුගේ චිත්‍රපට බොහෝ විට උපහාසාත්මක අසුභවාදී බවක් පිළිබිඹු කරන නමුත් විචාරකයින්ගෙන් කුඩා ප්‍රතිශතයක් පවසන්නේ ඔබ ඒවා දෙස සුපරික්ෂාකාරීව බැලුවොත්, ප්‍රවේසම්කාරී නැණවත් සුභවාදී බවක් දැකිය හැකි බවයි. කුබ්‍රික්ගේ චිත්‍රපට මෙතෙක් ලොව සෑදුණු චලන චිත්‍රපට අතර ඉතා නව්‍ය, ප්‍රකෝපකාරී, දූර්දර්ශී, පරිකල්පනමය කල්පනා ලෝකයේ පමණක් සමහර විට දැකිය හැකි විශිෂ්ට නිර්මාණ කිිහිපය අතරට අයත් වෙනවා.

ස්ටැන්ලි කුබ්‍රික් 1928 ජූලි 26 දින නිව්යෝක් හී මෑන්හැටන් නගරයේ ලයින්ග් ඉන් රෝහලේදි මෙලොව එළිය දුටුවා. වෛද්‍යවරයකු වූ ජැක් ලෙනාර්ඩ් කුබ්‍රික් (1901 - 1985) ගර්ට්‍රෑඩ් පවලර් (1903 - 1985) යුවළට දාව ඉපැදුණු දරුවන් දෙදෙනාගෙන් ස්ටැන්ලි වැඩිමහල්ලා වුණා. ස්ටැන්ලිගේ දෙමාපියන් ඔස්ට්‍රො - හංගේරියානු සම්භවයක් ඇති යුදෙව් ජාතිකයින් වුණා.

1946 දී ස්ටැන්ලි ආධුනික ඡායාරූප ශිල්පියෙකු ලෙස ලුක් සඟරාවට බැඳුණා. ඉන් ටික කාලෙකට පසුව ඔහු පූර්ණකාලීන ශිල්පියෙකු ලෙස එහි වැඩ කරගෙන ගියා. 1951 දී කුබ්‍රික්ගේ හොඳ යහළුවෙකු වූ ඇලෙක්ස් සින්ගර් ඔහුට මාරචි ඔෆ් ටයිම් නම් සමාගම වෙනුවෙන් කෙටි වාර්තාමය චිත්‍රපට තනන ලෙස පෙරැත්ත කළා. එම සමාගමේ කර්තව්‍ය වූයේ සිනමා ශාලාවලට පුවත් රෝල් සපයන එකයි. තම මිතුරාගේ ඉල්ලීමට එකඟ වූ කුබ්‍රික් තමන් ස්වාධීනව සොයා ගත් මුදලින් ඩේ ඔෆ් ද ෆයිට් නැමැති කෙටි චිත්‍රපටයක් 1951 දී රූපගත කළා. එයට පසුබිම් වුණේ බොක්සිං සටනක්. මෙම සාර්ථක ආරම්භයෙන් පසු කුබ්‍රික් ලූක් සඟරාවේ රස්සාව අතහැර ඔහුගේ දෙවන කෙටි වාර්තාමය චිත්‍රපටය වූ ෆ්ලයින්ග් පද්‍රේ (1951) රූගත කළා. එයට මුදලින් අනුග්‍රහය දැක් වූයේ ආර්. කේ. ඕ චිත්‍රාගාරයයි. 1953 දී තිරගත කළ ද සෆෙයාරර්ස් කුබ්‍රික්ගේ පළවෙනි වර්ණ චිත්‍රපටය වූවා. මිනිත්තු 30 ක ධාවන කාලයක් තිබූ එය අනුග්‍රාහක චිත‍්‍රපටයක් වූවා.

කුබ්‍රික් වෘත්තාන්ත චිත්‍රපටකරණයට පිවිසුණේ 1953 දී තිරගත කළ ෆියර් ඇන්ඩ් ඩිසයර් චිත්‍රපටය සමඟයි. හතුරු හමුදා සීමාවේ කොටු වුණු සෙබළුන් පිරිසක් ගැන ගෙතුණු කතාවක් වූ එය ප්‍රබන්ධිත යුද්ධයක් පසුබිම් කරගෙන නිර්මාණය වී තිබුණා. කුබ්‍රික්ගේ යහළුවෙකු වූ හවර්ඩ් සැක්ලර් විසින් රචිත එහි කාර්ය මණ්ඩලයේ සිටියේ කුබ්‍රික් සහ ඔහුගේ එවකට සිටි බිරිඳ පමණයි. මෙම චිත්‍රපටය ගෞරවනීය විචාරවලට පාත්‍ර වූ නමුත් වාණිජමය වශයෙන් අසාර්ථක වුණා.

කුබ්‍රික්ගේ මීළඟ චිත්‍රපටය වූ කිලර්ස් කිස් ද, ෆියර් ඇන්ඩ් ඩිසයර් මෙන්ම කෙටි වෘත්තාන්ත චිත්‍රපටයක් වූවා. පැයකට මඳක් වැඩි ධාවන කාලයකින් යුක්ත වූ එම චිත්‍රපටයට සීමාසහිත විචරක ප්‍රසාද සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. එහි කතාව ගෙතුණේ, තම ක්‍රීඩා ජීවිතයේ අවසාන කාලයට ළං වුණු හෙවිවේට් බොක්සිං ක්‍රීඩකයෙක් ආදර ත්‍රිකෝණයකට පැටලෙන අයුරුත්, ඔහුගේ ප්‍රතිවාදියා මාෆියා සම්බන්ධකම් ඇති කෙනකු බවට පත්වීමත් සිදුවීම් කොටගෙනය. ෆියර් ඇන්ඩ් ඩිසයර් මෙන්ම කිලර්ස් කිස් චිත්‍රපටයෙත් බරපැන දැරුවේ කුබ්‍රික්ගේ ගේ පවුල සහ යහළුවෝයි.

ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ ද කිලිං. කතාව වුණේ සූක්ෂම ලෙස සැලසුම් කළ තුරඟ තරඟ පිටියේ මුදල් මංකොල්ලයක් අවසානයේ වැරදී යන හැටියි. වෘත්තීය නළුවන් සහ කාර්ය මණ්ඩලයකගේ සහාය ඇතිව නිමැවුණු මෙය කුබ්‍රික්ගේ ප්‍රථම දිගු ධාවන වෘත්තාන්ත චිත්‍රපටය වූවා. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ස්ටර්ලින් හේඩන්ය. 1950 දශකයේ ඇමරිකානු සිනමාවට බෙහෙවින් ආගන්තුක වූ රේඛීය නොවූ කතා ශෛලියකින් නිමැවුණු මෙම චිත්‍රපටයට සමාන අනුකාරක චිත්‍රපටයක් නිපැද වුණේ ඊට අවුරුදු 40 කට පමණ පසු ක්වෙන්ටීන් ටැරන්ටිනෝ විසිනි. එය රෙසවොයර් ඩෝග්ස් වූවා. කුබ්‍රික්ගේ මෙම චිත්‍රපටය තමාට බෙහෙවින් ආභාසයක් ගෙන දුන් බව ටැරන්ටිනෝ විසින් ප්‍රකාශ කර තිබුණු අතර විචාරකයින් ද එම චිත්‍රපට දෙකේ කතා ව්‍යුහයන්ගේ සමානකම් පෙන්වා දී තිබුණා. ද කිලිං චිත්‍රපටයේ කතා වස්තුව සහ සිනමා ශිල්පය සම්මත නොආ (ෆිල්ම් නොආ) සම්ප්‍රදායට බෙහෙවින් සමානකම් දැක් වූවා. එවැනි ආකාරයේ අපරාධ සිදුවීම් සහිත චිත්‍රපට 1940 දශකයේ මහත් ජනප්‍රියත්වයක් ලබා තිබුණා. ඒත් අද බොහෝ දෙනෙක් මේ චිත්‍රපටය ඉතා හොඳම නොආ චිත්‍රපට ගොන්නෙන් එකක් බවට මත පළ කර තිබෙනවා. වාණිජමය වශයෙන් සාර්ථක නොවුණත් මෙම චිත්‍රපටයට හොඳ විචාර ලැබුණා.

කුබ්‍රික්ගේ මීළඟ චිත්‍රපටය වූ පාත්ස් ඔෆ් ග්ලෝරි 1935 හම්ප්‍රි කොබ් විසින් ලියවුණු යුද විරෝධී නවකතාව ආශ්‍රයෙන් නිමැ වුණා. එය පළවෙනි ලෝක යුද්ධය පසුබිම් කරගෙන නිර්මාණය වුණු කතාවක් වූ අතර කර්ක් ඩග්ලස් ප්‍රධාන චරිතය රඟපෑවා. මහත් අභිලාෂයක් ඇතිව කුබ්‍රික් අතගැසූ මේ චිත්‍රපටයට මූල්‍යමය ආධාර සපයා දීමට කර්ක් ඩග්ලස් මූලික වුණා. වාණිජමය වශයෙන් ලොකු සාර්ථකත්වයක් නොලැබුවත් මේ චිත්‍රපටය විචාර සම්මානවලට මෙන්ම සිනමා ක්ෂේත්‍රයේද ඉමහත් ගෞරවයට පාත්‍ර වුණා. එය කුබ්‍රික් නැඟී එන වැදගත් සිනමාකරුවෙකු බව සිනමා ලෝකයට ස්ථාපිත කරන්නට සමත් වූවා. මෙතුවක් කල් විචාරකයින් විටින් විට මේ චිත්‍රපටයේ භාවානුගත නොවූ, ඔප නොදැමූ, විචිත්‍ර නොවූ යුද ජවනිකා ද, අමු කළු සුදු චිත්‍රපට කලාව ද ප්‍රශංසාවට ලක් කර තිබෙනවා.

1960 දී කර්ක් ඩග්ලස් ඔහුගේ නිෂ්පාදනයක් වූ ස්පාටකස් නැමැති වීර කාව්‍යය අධ්‍යක්ෂණය බාරගන්නා ලෙස කුබ්‍රික්ගෙන් ඉල්ලා සිටියේ, හිටපු අධ්‍යක්ෂ ඇන්තනි මෑන්ව එම චිත්‍රපටයෙන් පහ කිරීමෙන් අනතුරුවයි. රෝමානු වහලුන්ගේ විනාශයට පත් වූ අවාසනාවන්ත කැරැල්ලක් ගැන වූ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ ස්පාටකස් නිෂ්පාදනය සැබැවින්ම දුෂ්කර කාර්යයක් වූවා. දර්ශන තලයේ මොන මොන හැල හැප්පිම් කරදර තිබුණත් ස්පාටකස් හොඳ විචාරක ප්‍රතිචාර මෙන්ම වාණිජමය වශයෙන් ද සාර්ථක වූ චිත්‍රපටයක් වූවා. මේ චිත්‍රපටය කුබ්‍රික් ක්ෂේත්‍රයම පිළිගත් ප්‍රමුඛ අධ්‍යක්ෂවරයකු බවට පත් කළා. ස්ටැන්ලි කුබ්‍රික්ගේ චිත්‍රපට අතරින් තිර රචනයට, අවසන් සංස්කරණයට නැතිනම් ෆයිනල් කට් එකකට, නළු නිළියන් තෝරා ගැනීමට මෙන්ම නිෂ්පාදනයට ද කුබ්‍රික් අත නොගැසූ ඔහුගේ නම නොගෑවුණු එකම චිත්‍රපටය ස්පාටකස් වූවා. එය විශාල වශයෙන්ම කර්ක් ඩග්ලස්ගේ ව්‍යාපෘතියක් වූවා. චිත්‍රපටය නිෂ්පාදනය සම්බන්ධ ක්‍රියාවන් බොහොමයක් සිදු වූයේ ඩග්ලස්ගේ කැමැත්තටයි. කෙසේ වෙතත් අවසානයේ ස්පාටකස් ඔස්කාර් සම්මාන 4 ක් දිනා ගත්තා. එයින් එකක් වූයේ පීටර් උස්ටිමෝව් වහල් වෙළඳාම්කරුවෙකු ගේ චරිතය රඟපාමින් දිනාගත් හොඳම සහය නළුවා සම්මානයයි. කුබ්‍රික්ගේ අධ්‍යක්ෂණය යටතේ ඔස්කාර් සම්මානයක් දිනාගත් එකම නළුවා හෝ නිළිය වූයේත් ඔහුමයි.

ලොලීටා යනු කුබ්‍රික් විසින් අධ්‍යක්ෂණය කරන ලද මතභේදයකට තුඩු දුන් ආන්දෝලනාත්මක චිත්‍රපට මාලවේ පළමු වැන්නයි. චිත්‍රපටයට මුල් වූ පොත ලොලීටා රචනය කළේ රුසියන් අමරිකානු නවකතාකරුවකු වූ ව්ලැඩිමර් නොබොකොව් විසිනුයි. එහි කියැවුණේ හම්බරටි හම්බරටි නැමැති මැදි වියේ මිනිසෙකුත් ඔහුගේ 12 හැවිරිදි ඥාති දියණියක් අතර ඇති වන ප්‍රේම සම්බන්ධතාවයි. එම පොත කුබ්‍රික් විසින් චිත්‍රපටයට නැඟීමට යන කාලය වෙන කොටත් අසභ්‍ය නැත්නම් වනචර පොතක් ලෙස නමක් දිනාගෙන තිබුණා. චිත්‍රපටය ප්‍රචාරණයේදී එහි අඩංගු දිරවා ගැනීමට අපහසු අන්තර්ගතය ගැන සරදමට ලක් කරමින් ටැග් ලයින් එකක් යෙදුණා. එයින් කියවුණේ (ඒගොල්ලෝ කොහොම ලොලීටාවලින් චිත්‍රපටයක් හැදුවද මන්දා) යන්නයි. චිත්‍රපටයට ලැබුණ ප්‍රතිචාරය මිශ්‍ර වුණා. බොහෝ අය එහි අඩංගු වූ ආන්දෝලනාත්මක අන්තර්ගතය සිනමාවට නැඟීමට තරම් නිර්භීත වීම ගැන පැසසූ අතර එය හොඳම අනුවර්තන තිර රචනය සඳහා ඔස්කාර් සම්මානයකට නිර්දේශ වුණා.

කුබ්‍රික්ගේ මීළඟ චිත්‍රපටය වූයේ ඩොක්ටර් ස්ෙට්‍රින්ජ්ලව් ඕර් හව් අයි ලර්න්ඩ් ටු ස්ටොප් වොරිං ඇන්ඩ් ලව් ද බොම්බ් (1964) යන්නයි. එය තිරගත වූ කාලයේ කල්ට් (ඛ්උඹ්ඊ) චිත්‍රපටයක් බවට පත් වූ අතර දැන් එය ක්ලැසික් චිත්‍රපටයක් ලෙසට සැලකෙයි. රාජකීය ගුවන් හමුදාවේ හිටපු ෆ්ලයිට් ලුතිනන් කෙනෙකු වූ පීටර් ජෝර්ජ්ගේ නව කතාවක් වූ රෙඩ් ඇලර්ට් ඇසුරෙන් එහි තිර රචනය නිර්මාණය වුණා. ලොලීටා චිත්‍රපටයේ අතිශය වැදගත් චරිතයක් රඟපෑ පීටර් සෙලර්ස් හට ඩොක්ටර් ස්්ට්‍රේන්ජ්ලව් හි චරිත හතරක් රඟපෑමට ආරාධනා ලැබුණු නමුත් ඔහු අවසානයේ චරිත තුනක් රඟපෑවා. චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනෙක්ට කුබ්‍රික් විසින් පීටර් සෙලර්ස්ව චරිත තුනකට යොදාගෙන ඇති බව මුලින් වැටහුණේ නැහැ. එයට හේතු වුණේ එකිනෙකට වෙනස් වේශ නිරූපණයක් කතාබහේදී සෙලර්ස් විසින් විවිධ උච්චාරණ භාවිතා කිරීමත්ය. චිත්‍රපටය ඔස්කාර් සම්මාන 4 ක් සඳහා නිර්දේශ වුණේ හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම නිෂ්පාදනය ද ඇතුළුවයි.

කුබ්‍රික් තමන්ගේ මීළඟ චිත්‍රපටය වූ 2001 අ ස්පේස් ඔඩෙසි (1968) වලට සූදානම් වීම සඳහා අවුරුදු පහක් ගත කළා. තිර රචනය කුබ්‍රික් විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකු වූ ආතර් සී. ක්ලාක් සමඟ සහයෝගයෙන් රචනා කළා. එයට මූලික වුණේ ක්ලාක් ගේ කෙටි කතාවක් වූ සෙන්ටිනල් යන විද්‍යා ප්‍රබන්ධයයි. ඩොලර් මිලියන 10 ක් වැය වූ මේ චිත්‍රපටය එම කාලයේ හැටියට අති විශාල නිෂ්පාදනයක් වුණා. එතෙක් කිසිවෙකු නොදුටු නව නිර්මාණශීලී දෘශ්‍ය ප්‍රයෝග කුබ්‍රික්ගේ අනුදැනුම යටතේ සකස් කෙරුණා. වර්තමානයේ අති සාර්ථක චිත්‍රපටයක් ලෙස 2001 අ ස්පේස් ඔඩෙසි අගැයීමට ලක් වුවත්, එය තිරගත වූ මුලදී නම් එසේ පිළිගැනුණේ නැහැ. මුල් විචාරක ප්‍රතිචාර නම් අතිශයින්ම චිත්‍රපටයට විරුද්ධ වුණා. චිත්‍රපටයේ දෙබස් අඩුකමත්, එහි ඔතෑනි ගතියත්, ගුප්ත කතාන්දරයත් විචාරකයින්ගේ පහර දීමට නොඅඩුව ලක් වුණා. අධ්‍යක්ෂණය, රචනය සහ නිෂ්පාදනය සඳහා නිර්දේශ වුවත් කුබ්‍රික්ට තම දිවියේ ලැබුණු එකම ඔස්කාර් සම්මානය ලැබුණේ චිත්‍රපටයේ ප්‍රයෝග අධීක්ෂණය සඳහායි. අද බොහෝ දෙනා පිළිගන්නේ 2001 අ ස්පේස් ඔඩෙසි එදා මෙදාතුර බිහි වූ ශ්‍රේෂ්ඨතම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය බවයි. 2001 අ ස්පේස් ඔඩෙසි යනු කුබ්‍රික් ගේ වඩාත්ම ජනප්‍රිය මෙන්ම ඉමහත් බලපෑමක් ද ඇති කළ චිත්‍රපටයයි. ස්ටීවන් ස්පිල්බර්ග් පැවසූවේ එය ඔහුගේ පරම්පරාවේ (මහ පිපිරුම) බවයි. එයට හේතුව වුවේ එකල ඇමරිකාව සහ රුසියාව අතර තිබූ අභ්‍යාවකාශ රේස් එකට අවධානයක් යොමු වූයේ මෙම චිත්‍රපටයෙන් අනතුරුව වීමයි.

2001 න් පසුව කුබ්‍රික් අධ්‍යක්ෂණය කළේ අ කලොක්වර්ක් ඔරෙන්ජ් (1971) නැමැති චිත්‍රපටයයි. ඇන්තනි බර්ජස් විසින් රචිත එම නවකතාව අනුවර්තනය කර ගත් කුබ්‍රික්ගේ චිත්‍රපටය මිනිස් සමාජයේ සැහැසිකම් ගවේෂණය කළ අඳුරු අප්‍රසන්න සිනමාපටයක් වූවා. මේ (එක්ස්) රේටිං එකක් යටතේ ඇමරිකා එක්සත් ජනපදයේ මුලින් තිරගත වූ විට ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන්නා. කතාව ගෙතෙන්නේ අනාගත නැතහොත් අධෝවර්තමාන මහා බ්‍රිතාන්‍යයයේ. නමුත් එම බ්‍රිතාන්‍යය අවුල් වියවුල් පිරුණු ආඥාදායක පරිසරයකි. කතා නායකයා වූයේ ඇලෙක්ස් ඩිලාර්ජ් (මැල්කම් මැක්ඩොවෙල්) නැමැති රස්තියාදුකාර ගැටයෙකි. ඔහුත් ඔහුගේ සගයන් තිදෙනාත් ඉතා සතුටින් ප්‍රමෝදයෙන්, මිනිසුන්ට අතවර කරමින්, ඔවුන්ගෙන් හොරකම් කරමින්, වද දෙමින්, ගුටි බැට දෙමින්, කාන්තාවන් දූෂණය කර යන්නේ හිතක් පපුවක් නැති අයුරිනි. මෙම චිත්‍රපටය මහත් මතභේදයකට තුඩු දුන්නේ එහි එළිපිටම පෙන්වන ගැටවරයන්ගේ කණ්ඩායම් වශයෙන් කරන ස්ත්‍රී දූෂණත්, ප්‍රචණ්ඩත්වයත් නිසයි. එය තවත් ඔඩු දිව්වේ බ්‍රිතාන්‍ය පුරා මේ චිත්‍රපටයේ චරිත ලෙස ඇඳ පැලඳ ගත් අපරාධකාරයන් (කොපිකැට් අපරාධ) ඒ ආකාරයටම අපරාධ කිරීමට පෙලඹීමයි.

කුබ්‍රික්ගේ මීළඟ චිත්‍රපටය ලෙස 1975 දී එළි දැක්වුණේ, විලියම් මේක්ජීස් තැකරේ විසින් රචිත ද ලක් ඔෆ් බැරි ලින්ඩන් හෙවත් බැරි ලින්ඩන් නම් නවකතාවේ අනුවර්තනයයි. විචිත්‍ර නවකතාවක් වූ මෙහි කියවුණේ 18 වන ශත වර්ෂයේ විසූ අයිරිෂ් ජාතික සූදු අන්තුවන්ගේ නිර්භීිත වික්‍රමයන් මෙන්ම ඔහුගේ දුර්භාග්‍යයයි. මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මාන හතකට නිර්දේශ වු අතර ඉන් තුනක්ම කුබ්‍රික්ගේ නමට වූවා. එය සම්මාන 4 ක් දිනා ගනිමින් වැඩිම සම්මාන ගණනක් දිනාගත් කුබ්‍රික් චිත්‍රපටය හැටියට ඉතිහාසයට එක් වුණා. ඒ වුණත් එය බොක්ස් ඔෆීස් සාර්ථකත්වයක් ලබා ගැනීමට සමත් වුණේ නැහැ. පැය තුනකටත් වඩා වැඩි ධාවන කාලය නිසා ඇමරිකානු විචාරකයින් මෙන්ම ප්‍රේක්ෂකයින් ද එය ප්‍රතික්ෂේප කෙරුවා. නමුත් අනෙකුත් කුබ්‍රික්ගේ චිත්‍රපටවලට මෙන්ම බැරී ලින්ඩන්හටත් කාලයාගේ ඇවෑමෙන් ගෞරවාන්විත බවක් හිමි වුණා. විශේෂයෙන්ම අනෙකුත් සිනමාකරුවන් එය ගෞරවයෙන් පිළිගන්නට පෙලඹුණා.

කුබ්‍රික්ගේ නිර්මාණ වේගය බැරි ලින්ඩන්වලින් පසු සැලකිය යුතු ලෙස අඩු වුණා. ඊළඟ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට ඔහුට වසර 5 ක් ගත වුණා. ද ෂයිනින් නැමැති එම චිත්‍රපටය හොල්මන් කතාවලට ප්‍රසිද්ධ ස්ටීවන් කිංග් විසින් රචිත අලෙවි වාර්තා තැබූ නවකතාවක අනුවර්තනයක් වුණා. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ජැක් නිකල්සන්ය. අද්භූත හොල්මන් පිරුණු වටපිටාවක් තුළ ටිකෙන් ටික සිහිය විකල් වී ගෙන යන ඔහු අවසානයේ මිනීමරන තරමට මනෝ විකෘතිකාවකට පත් වෙනවා. ඔහුගේ අනෙක් චිත්‍රපට සියල්ලකටම වඩා ෂයිනින් කුබ්‍රික්ගේ යනු වෘංගණෝන්මාදයෙන් හිස උදුම්මා ගත් පාරප්‍රාප්තිකයෙකු බවට කලක් තිස්සේ ඇතිවෙමින් තිබුණු මතයට යම් සත්‍යතාවයක් ගෙන දුන්නා. ඔහු සමහර ජවනිකාවන් සිය වාරයකට වඩා රූපගත කළ බවට ප්‍රචාරය වුණා. (අඩි මිලියන 1.3 ක ෆිල්ම් ප්‍රමාණයක් සම්පූර්ණ චිත්‍රපටය අවසන් වන විට රූගත කර තිබුණා) චිත්‍රපටය තිරගත වූ විට විචාරකයින් බොහොමයක් එය බැහැර කරමින් විචාර ලිව්ව නමුත් වාණිජමය වශයෙන් සාර්ථක වන්නට එයට හැකි වුණා. නමුත් කුබ්‍රික් ගේ අනෙක් චිත්‍රපට මෙන්ම ද ෂයිනින් ද කාලයාගේ ඇවෑමෙන් හොඳ විචාරවලට ලක් වූ අතරම, හොල්මන් චිත්‍රපට රසිකයන් අතර එය කල්ට් ක්ලැසික් එකක් ලෙස වර්තමානයේ පිළිගැනෙනවා.

අවුරුදු හතක් ගත වුණා. ඉන් පසුව කුබ්‍රික්ගේ මීළඟ චිත්‍රපටය ලෙස රිදී තිරයට ආවේ ෆුල් මෙටල් ජැකට් (1987)ය. එයත් අනුවර්තනයක් වුණා. ඊට පාදක වූ ග්‍රන්ථය වූයේ ගුස්ටාවි හැස්ෆෝර්ඩ් විසින් වියට්නාම් යුද සමය පසුබිම් කරගෙන ලියූ ද ෂෝට් ටයිමරස් නැමැති නවකතාවයි. චිත්‍රපටය ආරම්භ වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ, දකුණු කැරොලයිනා ජනපදයේ පැරිස් නැමැති දූපනේ නාවික සෙබළ විශේෂ කාර්ය බලකාය සඳහා අලුතෙන් බඳවා ගෙන පුහුණු කරන ඩිවෝවකයි. එහි ජ්‍යෙෂ්ඨ අභ්‍යාස උපදේශක තුවක්කු සාජන් හාට්මන් මෙම ආධුනික සෙබළුන්ව ඉතා කර්කෂ දුෂ්කර මූලික පුහුණු වැඩසටහනක යොද වන්නේ ඔවුන්ව මානසිකව තළා පෙළා දැනට වැඩකට නැති ඉහඳ පණුවන් වැනි ඔවුන්ව විනයානුකූල මෙන්ම පෙලඹුනු මිනීමරන මැෂින් බවට පත් කිිරිමටයි. විචාරකයන් පැවසූ අන්දමට, වියට්නාම යුද්ධය ආශ්‍රිතව මෙතෙක් බිහි වූ චිත්‍රපටවලට වඩා වෙනසක් කුබ්‍රික්ගේ ෆුල් මෙටල් ජැකට් හි ඔවුන් දුටු බවයි. බොහෝමයක් වියට්නාම් යුද චිත්‍රපට රූපගත කෙරුණේ ඉතා සරු වනාන්තර පෙදෙස්වලයි. නමුත් කුබ්‍රික් මෙහිදී නාගරික වියට්නාම් පරිසරයක තම චිත්‍රපටය රුගත කර තිබුණා. බෝම්බ ප්‍රහාරයට ලක්වුණු ගොඩනැගිලි මේ චිත්‍රපටයට සුවිශේෂී වූ බියකරු සහ හිස්භාවයක් ගෙන දුන්නා. කුබ්‍රික්ගේ අනෙක් චිත්‍රපට මෙන්ම මෙහිදී විචාරක පිළිගැනීම කාලයත් සමඟ වැඩි වෙමින් පවතිනවා.

කුබ්‍රික්ගේ අවසාන චිත්‍රපටය වූයේ අයිස් වයිඩ් ෂට්. එහි ප්‍රධාන චරිත රගපෑවේ එකල විවාහකව සිට නිකෝල් කිඩ්මන් සහ ටොම් කෲස්ය. ඒ දෙදෙනා රඟපෑවේ ලිංගික ඔඩෙසියක නිරත වෙන පොහොසත් මැන්හැටන් යුවළක් ලෙසයි. අයිස් වයිට් ෂට් හි කතාව පසුබිම් කෙරුණේ ආතර් ෂ්නිට්ස්ලර් විසින් රචිත ෆ්‍රොයිඩියානු කෙටි නවකතාවක් වූ ට්‍රොමිනොචෙල් නැතහොත් සිහින කතාව යන කෘතිය ඇසුරිනි. නිව්යෝක් නගරයේ ලිංගික පාතාලයේ චාරිකාවක යෙදෙන දොස්තර විලියම් හාර්ෆර්ඩ් (ටොම් කෲස්) ගේ කතාව එයින් කියැවෙනවා. ඔහු එසේ කිරීමට පෙලඹෙන්නේ ඔහුගේ බිරිඳ ඇයට සාදයකදී හමු වුණු එක් ආකාර්ෂණීය කඩවසම් මිනිසෙකු සමඟ එක රැයක් ගත කිරීම ඔහුත්, ඔහුගේ දුවත් කැප කිරීමට තරම් කාමැත්තකින් ෆැන්ටසයිස් කරමින් සිටිය බව ඔහුට පැවසීමෙනි. ඉන් පසුව ඇයගේ පතිවෘත්තාව ගැන සිත් බිඳ ගන්නා දොස්තර පෙර කී ගමන යාමට තීරණය කරයි.

මේ කාලය අතරතුර විශේෂ ප්‍රයෝග තාක්ෂණය වේගයෙන් දියුණු වෙමින් තිබුණා. ඉතින් කුබ්‍රික් හනි හනිකට ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් (2001) හී වැඩ පටන් ගත්ත නමුත් අවාසනාවන්ත ලෙස 1999 මාර්තු 7 වන දින වැළඳුණු හෘදයාබාධයකින් ස්ටැන්ලි කුබ්‍රික් නින්දේදීදීම මිය ගියා.

කුබ්‍රික්ගේ මරණයෙන් පසු ස්පිල්බර්ග් අනාවරණය කළ පරිදි ඔවුන් දෙදෙනා මිතුරන් වී සිටි අතර, සිනමාකරණය පිළිබඳව දෙදෙනා රහසිගතව බොහෝ විට එකිනෙකාට අදහස් හුවමාරු කරගෙන තිබුණා. දෙදෙනා එකිනෙකා කෙරෙහි අසීමිත අනේ‍යීන්‍ය ගෞරවයක් ඇති කරගෙන තිබුණ බවද හෙළි වුණා. ඔවුන් විශේෂයෙන් අර්ටිෆිෂල් ඉන්ටෙලෙිජන්ස් ගැන කතා කරපු බවත්, විශේෂයෙන් කුබ්‍රික් එය ස්පීල්බර්ග්ගේ ආරේ චිත්‍රපටයක් නිසා ඔහු විසින් එය අධ්‍යක්ෂණය කළ යුතු යැයි යෝජනා කර සිටිය වග අනාවරණය වුණා. මේ මිත්‍ර සම්බන්ධතාව හේතුවෙන් ස්පීල්බර්ග් චිත්‍රපයේ අධ්‍යක්ෂ ලෙස වැඩ බාරගෙන කුබ්‍රික්ගේ අවසාන ව්‍යාපෘතිය නිම කර දැම්මා. ආර්ටිෆිෂල් ඉන්ජෙලිජන්ස් 2001 දී තිරගත වූ විට එහි නාමාවලියේ නිෂ්පාදනය සඳහා කුබ්‍රික්ට ක්‍රෙඩිට් එකක් දී තිබුණා. චිත්‍රපටය අවසානයේ නාමාවලියේ (ස්්ටැන්ලි කුබ්‍රික් සඳහා) යනුවෙන් ඔහුට එය පිළිගන්වා තිබුණා.

කුබ්‍රික්ගේ චිත්‍රපටවල වැඩිපුරම ඔස්කාර් සම්මානයට නිර්දේශ වුණේ කැමරාකරණය, කලා අධ්‍යක්ෂණය, තිර රචනය සහ සංගීතයයි. කෙසේ වෙතත් මේ චිත්‍රපට 13 අතරින්ම රඟපෑම සඳහා නිර්දේශ වුණේ 4 ක් පමණයි.

කුබ්‍රික් ඔහුගේ ජීවිත කාලය තුළ සෑදුවේ චිත්‍රපට 13 ක් පමණයි. ඔහුගේ සමකාලීනයන් වන ඉන්ග්මාර් බර්ග්මාන් සහ ෆෙඩ්රිකෝ ෆෙලිනි හා සසඳන කළ කුබ්‍රික්ගේ නිර්මාණ සංඛ්‍යාත්මක අතින් අඩු වූයේ චිත්‍රපට නිෂ්පාදනය සඳහා ඔහු විසින් දරන මහන්සිය කැපවීම දීර්ඝකාලීන විධිමත් සැලසුකරණය සහ සුපරික්ෂාකාරී පිළිවෙත් සඳහා බොහෝ කාලයක් ගතවන බැවිනි. එක් එක් ශෛලියන්ට අනුරූපීව ඔහු තැනූ චිත්‍රපට අදටත් ඒ ඒ වර්ගවල චිත්‍රපට අතර ප්‍රභවාත්මක ක්ලැසික්ස් ලෙස පිළිගැනෙනවා.

කුබ්‍රික්ගේ චිත්‍රපට බොහෝමයක් මුලදී ඇල්මරුණු විචාරයන්ට භාජනය වූ අතර දශක කීපයකට පසුව එම විචාරකයින් විසින්ම ඒවා විශිෂ්ට ප්‍රභවාත්මක නිර්මාණ නැත්නම් ක්ලැසික්ස් බවට ඔවුන් විසින් දොහොත් මුදුන් දී පිළිගැනීමට ලක් කළා. කුබ්‍රික්ගේ චිත්‍රපට බොහෝ විට වැරදි අවබෝධයට පාත්‍ර වෙන, මතභේදාත්මක නමුත් නව නිර්මාණශීලී නැතහොත් පුරෝගාමී සිනමා නිර්මාණ වූවා.

‘මට චිත්‍රපටයක් හදන්න ආත්ම ශක්තිය ඇති කර දුන් කරුණුවලින් ප්‍රධානතම එකක් වුණේ, මං මෙච්චර කලක් අන්තිම නරක චිත්‍රපට ගොඩක් බලපු එකයි. මොකෝ මං ඒවා බලන ගමන් ඉඳගෙන කල්පනා කෙරුවා. චිත්‍රපට ගැන මං දන්න කෙහෙල්මලක් නම් නැහැ. ඒත් මං හොදටම දන්නවා මට මං මේ බලන ජරාවට වැඩිය හොඳ චිත්‍රපටයක් හදන්න පුළුවන් බව.’

චිත්‍රපට නාමාවලිය:

1. අයිස් වයිඩ් ෂට් - 1999

2. ෆුල් මෙටල් ජැකට් - 1987

3. ද ෂයිනින් - 1980

4. බැරි ලින්ඩන් - 1975

5. අ ක්ලොක්වර්ක් ඔරෙන්ජ් - 1971

6. 2001 අ ස්පේස් ඔඩසි - 1968

7. ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ලව් ඕර් හව් අයි ලර්න්ඩ් ටු ස්්ටොප් වොරිං ඇන්ඩ් ලව් ද බොම්බ් - 1964

8. ලොලීටා - 1962

9. ස්පාර්ටකස් - 1960

10. පාත්ස් ඔෆ් ග්ලෝරි - 1957

11. ද කිලිං - 1956

12. ද කිලර්ස් කිස් - 1955

13. ෆියර් ඇන්ඩ් ඩිසයර් - 1953