වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




අමුතුම තාලේ චරිත හයක්

අමුතුම තාලේ චරිත හයක්

ලකී ඩයස් දෙවතාවක්මහාචාර්ය සුනිල් ආරියරත්නට රැවුල දන් දෙයි

කණ්ණාඩියෙන් මාව දැකලා මටම ලෝබ හිතුණා

රංගනයේදී නළුවකුට හෝ නිළියකට තමන්ගේ බාහිර ස්වරූපය කොයි තරම් වැදගත් ද කියන එක ආයෙත් අහන්න දෙයක් නෙවේ. ඒ නිසා තමයි චරිතයට අදාල විදිහට නළු, නිළියන් වෙස් ගන්වන්නේ. නැතිනම් ඔවුන්ගේ බාහිර ස්වරූපය වෙනස් කරන්නේ. එකම විදිහට වඩා විවිධ ස්වරූපයන්ගෙන් නළු නිළියන් දකින්න ප්‍රේක්ෂකයෝ වුණත් කැමැතියි.

මෑත කාලයේ එහෙම එකිනෙකට වෙනස් චරිත කිහිපයක්ම රඟපාන්න අවස්ථාව ලැබුණු රංගංන ශිල්පියෙක් තමයි ලකී ඩයස්. ලකීගේ නමටම ඔබින විදිහට ඒ වාසනාව ඔහුට ලැබුණා. කොටින්ම මේ වෙස් ගැන්වීිම් කොයි තරම් සාර්ථක වුණා ද කිව්වොත් ප්‍රේක්ෂකයන්ට විතරක් නෙවෙයි ලකීටවත් එයා හඳුනාගන්න බැරි වුණාලු. කොහොමද වැඩේ?

තමන්ගේ රංගන ජීවිතය වෙනසකට ලක් කරපු ඒ අපූරු චරිත කිහිපය ගැන කතා කරන්න තමයි ලකී අද අපිත් එක්ක මේ කතාබහට එක් වෙන්නේ.

ලකී ඩයස් තමයි මෑත කාලයේ අපේ නළුවන් අතරින් වඩාත්ම වෙස් ගැන්වීම්වලට ලක් වූ නළුවා. මේ වෙනස ඔබට වගේම ප්‍රේක්ෂකයාටත් සුවිශේෂයි?

මට චෝදනාවක් තිබුණා මුල ඉඳලම මේ ලකී ඩයස් කියන්නේ රැවුල ආභරණයක් කර ගත්ත මනුස්සයෙක්, ඔය මිනිහා කවදාවත් රැවුල කපන්නේ නෑ කියලා. ඒ වගේ චෝදනා. ඒ නිසාමදෝ මට යෝජනා ආවා විවිධ විදිහේ. ලකී ඩයස් දැන් මේ විදිහට ඉන්නවා දැකලා මිනිස්සුන්ට ඇති වෙලා. දැන් වෙනසක් කරන්න ඕනෑ කියන මතයේ ඉඳන් තමයි බොහෝ අය මට ඒ නිර්මාණවලට කතා කළේ. ඒත් ඒ තිර පිටපත් බලපුවාම ඒවා එහෙම අංග රචනාවන්ට ලක් වෙන්න ඕනෑ චරිත නෙවේ. එතකොට එහෙම දේකට තරම් නොවන චරිතයකට මට පුළුවනි වෙස් ගැන්වීමෙන් තොරව රඟපෑම් ඉදිරිපත් කරන්න. ඉතින් අධ්‍යක්ෂවරු එක්ක සුහදව කතා කරලා ඒවා විසඳගෙන තමයි මම ඒ චරිත රඟපෑවේ.

නමුත් ඔබ රංගන ජීවිතය ආරම්භ කළේම රැවුල දන්දීලා. ඒ කතාව බොහෝ දෙනෙක් දන්නේ නැහැ?

ඔව්, මම මුලින්ම රඟපෑවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘වජිරා’ චිත්‍රපටයෙනේ. ඒක පොලිස් ඉන්ස්පෙක්ටර්වරයෙක්ගේ රෝල් එකක්. ඒ චරිතයට මාව තෝරාගෙන මහාචාර්යතුමා කිව්වා ‘අනේ ලකී, පොලීසියේ අය රැවුල වවන්නේ නෑනේ’ කියලා. එතකොට මම මූණ පුරා රැවුල වවලා. සුටුස් ගාලා ඇදලා දැම්මා. හැබැයි ප්‍රේක්ෂකයෝ මාව නළුවෙක් හැටියට ඔසවා තැබූ ‘බලදේව’ගේ චරිතය මම රඟපෑවෙ මගේ එදා තිබුණ සාමාන්‍ය ස්වරූපයත් එක්ක. එදා මගේ රැවුල කොයි තරම් ජනප්‍රිය වුණාද කිව්වොත් බාබර් සාප්පුවල ගහලා තිබ්බනේ ‘ලකී ඩයස් කට් කපනු ලැබේ’ කියලා.

රැවුල ඔබට ආභරණයක් වුණේ ඊට පස්සේ?

නෑ, රැවුල මට ආභරණයක් කියලා හිතුවේ ප්‍රේක්ෂකයෝ. නමුත් ඕනෑ වෙලාවක වටිනා කියන චරිතයක් වෙනුවෙන් රැවුල කපා දමන්න සූදානම් වෙලයි මම හිටියේ. යශෝරාවයේ ‘බලදේව‘සහ අන්තිම රැය ‘දේවේන්ද්‍ර සිල්වා’ කියන චරිතවලට එහෙම යෝජනා ආවත් අවසානයේ අධ්‍යක්ෂවරුන්ගේ තීරණය වුණේ මගේ සාමාන්‍ය පෙනුම ඒ චරිතවලට ගැළපෙනවා කියන එකයි. ‘අන්තිම රැය’ සහාය අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කළ නිලේන්ද්‍ර දේශප්‍රියට අවශ්‍යතාවයක් තිබුණා මගේ රැවුල කපා දමලා ඒ තිබුණ ස්වරූපය ටිකක් වෙනස් කරන්න. ඒක අධ්‍යක්ෂ ගාමිණී ෆොන්සේකාට යෝජනා කරපු වෙලාවේ ඔහු කැමති වුණේ නෑ මගේ බාහිර පෙනුම වෙනස් කරන්න.

‘පත්තිනි’ ගජබා රජු

ඒ කාලේ වෙනකොට ඔය රැවුල තමයි ලකී ඩයස්ගේ අනන්‍යතාවය. බැරි වෙලාවත් ගාමිණී ෆොන්සේකා රැවුල කපන්න කියලා කිව්වා නම්?

දෙපාරක් හිතන්නේ නෑ එක පයින් මම එකඟ වෙනවා. ගාමිණී මහත්තයා කිව්වා නම් බෙල්ල ගලෝලා අතේ තියාගෙන රඟපාන්න කියලා ඒකත් කරන්න සූදානමින් මම හිටියේ. මොකද එතුමා ඒ තරම් විශිෂ්ටයෙක්.

මම හිතන්නේ වර්තමාන රංගන ජීවිතයේදී තමයි ඔබ මේ අංග රචනයත් එක්ක වඩාත්ම බද්ධ වෙන්නේ. එහි ආරම්භය සුගත් සමරකෝන්ගේ ‘ඇහැළේපොල කුමාරිහාමි’ චිත්‍රපටය. එය සහමුලින්ම ඔබේ ප්‍රතිරූපය වෙනස් කළ චරිතයක්?

ඇත්තම කිව්වොත් චිත්‍රපටයේ භාගයක් යනකල් මිනිස්සු මාව හොයනවාලු. ‘කෝ ලකී ඩයස්’ කියලා. මට තියටර්ස්වලින් කිව්වා ‘ලකී මහත්තයා මේ ෆිල්ම් එකේ ඉන්නවා කියලා නමත් දානවා ඒත් හිටිියේ නෑනේ’ කියලා. ‘අර කොණ්ඩේ විහිදුවාගෙන රතු තිලකයක් තියලා නළලේ හරහට ඉරි තුනක් ගහලා ඉන්න කෙනා තමයි මම’ කියලා ඒ අයට පහදලා දෙන්න වුණා මට. මාව හොඳින් දන්න සමහර පුවත්පත් කලාවේදියෝ පවා මාව හඳුනා ගත්තේ නෑ.

‘අරීට්ඨකී වෙන්ඩු’ ඒ තරමටම වෙනස්?

ඔව්, ඇත්තටම. සුගත් සමරකෝනුයි, මමයි කතා වුණා කොහොමද මේ චරිතයට අවශ්‍යය බාහිර පෙනුම සකස් කර ගන්නේ කියලා. එහි වෙස් ගැන්වීම් කටයුතු කළේ වසන්ත විට්ටච්චි. ඊට පස්සේ කොණ්ඩේ ගැන ප්‍රශ්නයක් ආවා. මොකද දැන් හැමෝම වගේ ඒ චිත්‍රපටයේ ඉන්නේ කොණ්ඩේ බැඳලා. ඔක්කොම අමාත්‍යවරු ටික ඉන්නේ එහෙමයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුුරුවොත් කොණ්ඩේ බැඳලා. මම සුගත්ට කිව්වා මට අවස්ථාව දෙන්න කොණ්ඩේ ලෙහාගෙන ඉන්න කියලා. මුළු චිත්‍රපටය පුරාම මම ඉන්නේ කොණ්ඩේ ලිහාගෙන. සරත් රණවීර තමයි ඒ කොණ්ඩා මොස්තරය නිර්මාණය කළේ.

‘මහ රජ ගැමුණු’ චිත්‍රපටයේ ‘මහානන්ද’ අමාත්‍යවරයාගේ චරිතයත් ඔබට අපූරු අත්දැකීමක් වෙන්නට ඇති?

‘ඇහැළෙපොල කුමාරිහාමි’ චිත්‍රපටයට සූදානම් වෙන අතරතුරේදී තමයි මට ජයන්ත චන්ද්‍රසිරිගෙන් මේ ආරාධනාව ලැබුණේ. මම ඒ ආරාධනාව පිළිගත්තා. දේවානම් පියතිස්ස රජුගේ ප්‍රධාන අමාත්‍යවරයකුගේ චරිතයයි මම ඒ විදිහට රඟපෑවේ. අමාත්‍ය ‘මහානන්ද’ චරිතයත් මගේ රංගන දිවියේ සුවිශේෂී චරිතයක්.

ඔය චරිතවලට හාත්පසින්ම වෙනස් නේද ‘අනගාරික ධර්මපාල’ චිත්‍රපටයේ රඟපෑ චරිතය?

සනත් අබේසේකර ‘අනගාරික ධර්මපාල’ චිත්‍රපටයට ආරාධනා කරන්නෙත් මේ කාලයේදීමයි. එහි මම රඟපාන්නේ ලංකාවේ විසූ එඩිතර පුවත්පත් කලාවේදියකුගේ චරිතය. ඔහු අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතයට බද්ධ වෙච්ච චරිතයක්. අර ජාතික ඇඳුමත්, උඩට බාපනයත් දාලා තමයි මම ඒ චරිතය නිරූපණය කළේ. ඒ දර්ශන අපි රූගත කලේ පත්තර මහ ගෙදරමයි. සමීර මධු කිඳෙල්පිටිය තමයි ඒ චිත්‍රපටයේ මේකප් කළේ. මගේ කොණ්ඩේ අතරින් පතර සුදු කරලා, අර ඒ කාලේ විදිහට කොණ්ඩේ සකස් කරලා වෙනස්ම පෙනුමක් මට ලබාදුන්නා.

ඒ ස්වරූපය දැක්කම මොකද හිතුණේ?

හරි ලස්සනයි. කණ්ණාඩියෙන් බැලුවාම මටම ලෝබ හිතුණා. ඒ චරිතයත් ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැළඳ ගත්තා. මම කියන දෙබස්වලට මිනිස්සු අප්පුඩි ගැහුවලු හෝල් ඇතුළේ. ඒක චිත්‍රපටයේ නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු මට කියපු කතාවක්.

අපි දැන් කතා කරමු මහාචර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘පත්තිනි’ චිත්‍රපටයේ ඔබේ චරිතය ගැන?

මහාචාර්යතුමාත් ‘ඇහැළේපොල කුමාරිහාමි’ චිත්‍රපටයේදී මුලින් මාව හඳුනාගෙන නෑ. ඒ චරිතය දැකලා තමයි මට ඔහු ‘පත්තිනි’ චිත්‍රපටයේ ‘ගජබා’ රජ්ජුරුවන්ගේ චරිතය ප්‍රධානය කළේ. හැබැයි ඔහු තරයේ කියූ දේ තමයි මගේ ස්වරූපය වෙනස් වෙන්න ඕනෑ. ඒත් අර අරිට්ඨකී-වෙන්ඩු වගේ අඳුරාගන්න බැරි වෙන්න නම් බෑ කියලා. චිත්‍රපටයේ වේෂ නිරූපණ ශිල්පියා වූ සමීර මධු කිඳෙල්පිටියටත් ඔහු ඒ බව අවධාරණය කළා.

මේ රංගනයේදී ඔබේ ‘ආදරණීය රැවුල’ පවා අහිමි වෙනවා?

ඔව්. මුලින්ම මම රැවුල කැපුවේ ‘වජිරා’ චිත්‍රපටයටනේ. ඊට අවුරුදු විසි ගාණකට පස්සේ මහාචාර්යතුමා වෙනුවෙන්ම තමයි මම ආයෙමත් රේසරයක් අතට ගත්තේ. රැවුලේ යට කොටස සම්පූර්ණයෙන් ඉවත් කළා ‘ගජබා’ රජ්ජුරුවන්ගේ චරිතයට.

ඇත්තටම දුකක්, කණගාටුවක් හිතුණේ නැද්ද?

අපෝ නෑ. ඒක මට හරි සුන්දර අත්දැකීමක් වුණා. මහාචාර්ය සුනිල් ආරියරත්න කියන්නෙ මගේ හිතමිත්‍ර අධ්‍යක්ෂවරයෙක්. මාව සිනමාවට හඳුන්වා දුන්නෙත් එතුමා. ඒ වගේ වටිනා කියන පුද්ගලයෙක් සහ චරිතයක් වෙනුවෙන් මගේ රැවුල දන්දෙන්න වුණ එක ගැන මම කොහොමටවත් දුක් වෙන්නේ නෑ. ගජබා රජ්ජුරුවෝ මුහුද දෙබෑ කරගෙනනේ සොළී රටට යන්නේ පැහැරගෙන ගිය සිංහලයන්ව ගේන්න. දුප්පත් අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා නැවත ගෙනත් දෙන බවට පොරොන්දු වෙලා තමයි ඔහු සොලී රටට යන්නේ. අර යගදාවෙන් ගහලා මුහුද දෙබෑ කරගෙන යන දර්ශන ඔක්කොම අපි ගත්තේ ග්‍රීන් ස්ක්‍රීන් දාලා යාල වනන්තරේ අබියස තියෙන වෙරළ තීරයේ.

ෂූටිංවලදී මාර කට්ටක් කෑවා කියලා ආරංචියි?

දවස් ගාණක් අව්වේ පිච්චි, පිච්චි තමයි ඒ රුගත කිරීම් කළේ. උදේ 6.00 ට මේකප් කරලා 7.30 ට විතර අශ්වයා උඩ නැග්ගහම දවල් කෑමට බිමට බහිනවා. ඊට පස්සේ හවස 6.00 විතර වෙනකල් ෂූටිං. තට්ටම් දෙක හිරිවැටිලා. නමුත් මට ඒක හරි ආසා දෙයක් වුණා.

තව පොඩ්ඩෙන් ලකී ඩයස් කෙනෙක් හොයා ගන්නත් නැති වෙනවලු නේද?

නීල මහා යෝධයයි, මමයිනේ මූද දෙබෑ කරගෙන යන්නේ. ඒ යෝධයාට රඟපෑවේ මාර පෞරුෂයක් තියෙන පුද්ගලයෙක්. ඇත්තටම යෝධයෙක්. අශ්වයෙක් නෙවෙයි අලියෙක් මෙල්ල කරන්න පුළුවන් මනුෂ්‍යයෙක්. ඒ තරම් හයියක් එයාට තියෙනවා. සිද්ධිය මේකයි. අපි දෙන්නටම අශ්වයෝ පිට යන්න තිබුණා. කාට කොයි අශ්වයාද කියලා තෝර ගන්න තිබුණා අපට. හීලෑ පෙනුමක් තිබුණ අශ්වයා පිට නගින්න මම තීරණය කළා. මොනවා වුණත් අශ්වයෙක් පිටින් වැටිලා කොන්ද කඩා ගන්න ඕනෑ නෑනේ. ප්‍රොෆෙසර්ට මම ‘මේ අශ්වයා හොඳයි’ කිව්වාම ඔහු මට කිව්වා ‘නෑ ලකී අර අශ්වයයි ඔයාට මැච් වෙන්නේ’ කියලා. ඇත්තටම උගේ තිබුණේ දඩබ්බර පෙනුමක්. ඒත් ප්‍රොෆෙසර්ගේ කීම අහලා මම ඒ අශ්වයා පිට නැග්ගා.

ඊට පස්සේ?

අනේ කිසි ප්‍රශ්නයක් නෑ. මම කියන කියන පැත්තට අශ්වයා ගියා. අර මම අහිංසකයි කියලා හිතපු අශ්වයා පිට තමයි යෝධයා නැග්ගේ. රූගත කිරීම් අතරතුරේ දවසක් හැන්දෑවේ පහ මාරට විතර අර අශ්වයා කුලප්පු වෙලා යෝධයා බිම දැම්මා. ඊට පස්සේ උගේ ලාඩම තියලා තද කළා අර යෝදයාගේ කණ. මිනිහා යෝධයෙක් හින්දා කණ් අඩි පිපිරුවේ නෑ. අනේ පහුවදා උදේ මිනිහා ෂූටිංවලටත් ආවා. මම ඇහුවා කොහොමද කණ කියලා. ‘නෑ අප්සෙට් එකක්ම නෑ. නිකං කණ ඇතුළේ දෝංකාරයක් වගේ දැනෙනවා’ කියලා මිනිහා කිව්වා. ඇත්තටම ඒ යෝධයා වගේම මමත් එදා මාරකයකින් බේරුණා.

ඔබේ පෙනුමෙන් හා රංගනයෙන් ගජබා රජුගේ ප්‍රතාපවත් බව ඉස්මතු වුණා කියා සිතනවාද?

ඒ විශ්වාසය මට තියෙනවා. ලබන අප්‍රේල් මාසයේ අග හෝ මැයි මාසයේ මුල් සතියේදී එය ප්‍රදර්ශනයට එක් වෙනවා. එතකොට බලාගන්න පුළුවන් මම ඊට සාධාරණ්‍යක් ඉටු කර තිබෙනවාද කියලා. මමත් ආශාවෙන් ඉන්නේ ඒ රඟපෑම් දැක බලාගන්න.

එතකොට ‘වර්ණ’ ටෙලි නාට්‍යයේ මහාචාර්යතුමාගේ චරිතය ලකී ඩයස්ව තවත් ඉසව්වකට රැගෙන ගොස් තිබෙනවා?

රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙක් විදිහට තමයි මම ඒකේ රඟපාන්නේ. මගේ නම මහාචාර්ය පැට්‍රික්. මේ චරිතයත් සම්පූර්ණයෙන්ම චේන්ජ් එකක්. මොකද මම පළමු වරට මේ රංගනයට භාවිතා කරන්නේ තනිකරම සුදු ඇඳුම්. සුදු ෂර්ට්, සුදු කලිසම්, සුදු සපත්තු, කොණ්ඩෙත් තඹ පැහැතියි. කණ්ණාඩිය පළඳින්නේ නහයට පහළින්. කටහඬ සම්පූර්ණයෙන් වෙනස්. ඒ චේන්ජ් එකට ප්‍රේක්ෂකයෝ දක්වන ප්‍රතිචාරය කොහොමද කියන එක දැනගන්න මම ආසාවෙන් බලාගෙන ඉන්නවා. මොකද කොටස් විස්සක් විතර ගියාට පස්සෙයි මගේ චරිතය විකාශය වෙන්නේ.

තවත් අලුත් වෙනසකට මුල පිරුවා කියලා දැනගන්න ලැබුණා?

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු අලුත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න යනවා මාර්තු මාසයේ. ඒකේ විජය නන්දසිරි, මහේන්ද්‍ර පෙරේරා, දුලීකා මාරපන, හිමාලි සිරිවර්ධන, ලසන්ත උඩුකුඹුර වගේ අය තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ. ඒකේදී මට ලැබුණ චරිතය තමයි උසස් පොලිස් නිලධාරියෙකුගේ චරිතය. පොලිස් යුනිෆෝම් එක මට අඳින්න වෙනවා. අනිවාර්යයෙන්ම ඉතින් රැවුල දං දෙන්න වෙනවා. ඒකත් ලොකු චේන්ජ් එකක්. දැන් අර චරිතත් එක්ක බලපුවාම පොලිස් යුනිෆෝම් ඇඳපු ලකී ඩයස් ප්‍රේක්ෂකයන්ට වෙනස්ම විදිහේ අත්දැකීමක් වෙයි. මගේ මුල්ම රංගනය වගේම අලුත්ම රංගනයත් පොලිස් නිලධාරියකුගේ චරිතය වීම දෛවෝපගත සිදුවීමක්.