වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

සාම චිත්‍රපටයෙන් නවක අධ්‍යක්ෂවරයෙක්

සාම නම් වූ සිනමාපටයක් අධ්‍යක්ෂණය කරමින් නවක අධ්‍යක්ෂවරයකු සිනමාවට එක් වෙයි. ඔහු නමින් ගයාන් ශානක මුහන්දිරම් වේ. පසුගියදා සවස කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ පැවැති මුහුරත් උලෙළකින් අනතුරුව සාම චිත්‍රපටයෙහි මූලික වැඩ කටයුතු ආරම්භ විය. විමල් කුමාර ද කොස්තා, නාලක දළුවත්ත සමඟ අංජු හිමායා සාම හි චරිත මවති. අධ්‍යක්ෂණය මෙන්ම කැමරා අධ්‍යක්ෂණය ගයාන් ශානකගෙනි. වරුණි අල්පොන්සු අංග රචනා ශිල්පිණිය වේ. උෂාන් දෙණිපිටිය කලා අධ්‍යක්ෂණයෙන් සහ සිනෙත් දයානන්ද සංගීත අධ්‍යක්ෂණයෙන් මෙයට එක් වෙති. සාම උදාර පල්ලියගුරුගේ නිෂ්පාදනයකි.

- ප්‍රසාද්

ආකර්ෂා ගීත එළිදැක්වීම

සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ ආකර්ෂා සිනමාපටයෙහි ගීත එළි දැක්වීම පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සිදු විය. ආකර්ෂා හි තිර රචනය සහ උපදේශකත්වය සමන් වීරමන්ගෙනි. ජගත් එම්. යාපා මෙහි නිෂ්පාදකවරයාය. ආකර්ෂා එළඹෙන මැයි මාසයේදී තිරගවීමට නියමිතය. - ප්‍රසාද්

කලාකරුවන්ගේ රුව ඇතුළත් දින දර්ශනයක්

මෝස්තර නිරූපණය පිළිබඳ කථිකාචාර්යවරියක මෙන්ම වෘත්තීමය ඡායාරූප ශිල්පිණියක ද වන රසෙලා ප්‍රනාන්දු විසින් නිර්මාණය කළ කලාකරුවන් පහළොස් දෙනෙකුගේ රුව ඇතුළත් විශේෂ දින දර්ශනයක් පසුගියදා කොළඹ හැරල්ඩ් පීරිස් ශාලාවේදී එළි දැක්විණ. රවීන්ද්‍ර රන්දෙණිය, ජැක්සන් ඇන්තනි, සාරංගා - උමාලි, නදීශා හේමමාලි, සමනලි ෆොන්සේකා ඇතුළු කලාකරුවන් පහළොස් දෙනෙකුගේ රුවින් මෙය හඩගැන් වී තිබේ.

යුග යුග හදරැඳි ගී ප්‍රසංගය දා

ශ්‍රී ලාංකේය ගායක - ගායිකා සංගමය ඉදිරිපත් කළ ‘යුග යුග හදරැදී ගී’ ප්‍රසංගය ගායක - ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ප්‍රවීණ ගායන ශිල්පී විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ ප්‍රධානත්වයෙන් ඇරැඹුණු මේ අවස්ථාවට පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු මැති - ඇමැතිවරු රැසක් සහභාගි වූහ. ඡායාරූපවලින් දැක්වෙන්නේ ඒ ප්‍රසංගයේදී ගායක - ගායිකාවන් ගී ගැයූ අයුරුයි.

සවන රැඳී ගීත රසික සංසදයෙන් දයා ද අල්විස්ට හා කුසුම් පීරිස්ට උපහාර

සවන රැඳී ගීත රසික සංසදයේ පස්වන ගීත ප්‍රසංගය ‘ගුවන මැවූ ස්වර රටා’ මේ මස 28 වැනිදා පස්වරු 2.00ට කොළඹ 07 නව නගර ශාලා ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.

මේ ප්‍රසංගයේ සුවිශේෂී වන්නේ නිවේදන කලාවෙන් සහ ගුවන්විදුලි නාට්‍ය හා විවිධ ගුවන්විදුලි වැඩසටහන් ඔස්සේ රේඩියෝ වසන්තයක් ඇති කිරීමට අගනා මෙහෙයක් කළ ප්‍රවීණ ගීත රචිකාවන් දෙදෙනෙකු වන දයා ද අල්විස් හා කුසුම් පීරිස් යන මහත්මීන්ට උපහාර පිදීමයි. ප්‍රසිද්ධ කලාකරුවන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ ප්‍රසංගයේ දී ප්‍රවීණ ගායන ශිල්පියෝ පිරිසක් ගී ගයති. සුරංග කැලුම් ගීගනගේ ඇතුළු වාද්‍ය වෘන්දය සංගීතය මෙහෙයවයි.

ගාමිණි ගී සර මරදාන ටවර් රඟහලේ

දිගු නිහැඩියාවකින් පසුව ඔබ හමුවට පැමිණෙන ගායන ශිල්පී ගාමිණි පතිරණගේ ‘ගාමිණි ගී සර’ සම්මානනීය ගී සැදෑවේ හත්වන දැක්ම හෙට දින (26 වැනිදා) පස්වරු 6.00ට මරදාන ටවර් රඟහලේ දී පැවැත්වෙයි.

කථානායක කරූ ජයසූරිය මහතාගේ හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල ප්‍රනාන්දු, ප්‍රවීණ කලාකරුවන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ ගී සැදෑවේදී යුග ගායනයෙන් ලතා වල්පොළ, ඉන්ද්‍රාණි පෙරේරා, උරේෂා රවිහාරි, ධම්මිකා වල්පොළ යන ප්‍රවීණ ගායන ශිල්පිනියෝ සහභාගී වෙති.

මෙහිදී සුපර් රිදම්ස් සංගීතය මෙහෙය වන අතර කථනය රංජිත් බණ්ඩාර හා සිසිර කුමාරගෙනි. සංවිධානය සෙත්සිරිපාය ආරක්ෂක අංශයේ මිතුරු කැලගෙනි. අසනීප තත්ත්වයේ සිටින ගාමිණිට උපකාර කළ කිහිපදෙනෙකුට ම එදිනට උපහාර පිදීමට ද නියමිත ය.

මහාචාර්ය අනුර වික්‍රමසිංහ වෙනුවෙන් කවි සහ සටහන් එවන්න

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ හිටපු මහාචාර්ය අනුර වික්‍රමසිංහයන් කලා ක්ෂේත්‍රයට සිදු කළ සේවය අගය කරමින් ඔහු වෙනුවෙන් උපහාර උලෙළක් පැවැත්වීමට දෙහිවල ශ්‍රී නාට්‍ය රංග කවය කටයුතු යොදා ඇත.

ඒ සඳහා නිකුත් කෙරෙන 'ගුරු ගුණ සුවඳ' ග්‍රන්ථය සඳහා කවි සහ උපහාර සටහන් එවන ලෙස නාට්‍ය කවයේ සභාපති කලාභූෂණ ඊ, ඩී. ශ්‍රියාපාල ඉල්ලා සිටියි. අංක 44, සිරිසඟබෝ පාර, කවුඩාන, දෙහිවල ලිපිනයට එම නිර්මාණ යොමු කළ හැකිය.

කුලකෙවිට අද

අමාත්‍ය ටී. බී. ඒකනායක විසින් ඉරිදා ලංකාදීප පුවත්පතට ලියූ කුලකෙවිට ලිපි මාලාව එකතු කොට එනමින් සම්පාදනය කළ ග්‍රන්ථය මෙම මස 25 වැනිදා එනම් අද සවස මහවැලි කේන්ද්‍රයේදී එළි දැක්වේ. ගැමි සිරිත්, ගැමි භාෂා , ගැමි ඇදහිලි ආදී අපේකම රැගත් ග්‍රන්ථයක් ලෙස කුල කෙවිට හැඳින්විය හැකිය. මෙම අවස්ථාව සඳහා කථානායක කරු ජයසූරිය, මහාචාර්ය ජේ. බී. දිසානායක ඇතුළු සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු සහභාගිවීමට නියමිතය.

‘මීඩියා’ අද ටවර්හිදී

සම්භාව්‍ය ග්‍රීක නාට්‍යකරු යුරිපීඩිස්ගේ 'මීඩියා' වේදිකා නාට්‍ය ඇසුරින් ආරියවංශ රණවීර පරිවර්තනය කොට සමන් සොයිසා විසින් අධ්‍යක්ෂණය කළ 'මීඩියා' නාට්‍ය අද (25) ටවර් රඟහලේදී වේදිකා ගත කෙරෙයි.

ටවර් හෝල් රඟහල පදනමේ නාට්‍ය හා රංගකලා පාසලේ ඉදිරිපත් කිරීමක් වන මෙහි රංගනය, වේදිකා කළමනාකරණය, වේදිකා සැලසුම් සහ සංගීත අධ්‍යක්ෂණ සහය සලසනුයේ අධ්‍යයන වර්ෂ 2014/15 ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසිනි. වෙස් මෝස්තර නිර්මාණය ප්‍රවීණ කලාකරු ආරියපාල ගමගේ විසින් වන අතර නාට්‍ය හා රංගකලා පාසලේ ආදි විද්‍යාර්ථින් වූ තරිඳු අබේසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන්ද, මධුශංඛ සඳරුවන් හා අරවින්ද පාදුක්ක අංග රචනයෙන්ද, චාමර සිරිවර්ධන වේදිකා ආලෝකකරණයෙන්ද දායක වෙති.

මෙම අවස්ථාවට සමගාමීව එදින පස්වරු 5.00ට ආචාර්ය ආරියවංශ රණවීර විසින් රචිත 'මීඩියා' පරිවර්තනය එළිදැක්වීමේ උත්සවයද ටවර් රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කලා සිත් රූ කලා පදනමේ ජෝති උපහාර උලෙළ දා

කලා සිත් රූ කලා පදනමේ සභාපති රෝහණ කොස්තා හා සවනට ගී මධු නිෂ්පාදක අධ්‍යක්ෂ එස්. ඒ. බෙනට් සංවිධානය කළ ජෝති උපහාර උලෙළ හා සම්මාන ප්‍රදානය පසුගියදා අතුරුගිරියේ සමාධි උත්සව ශාලාවේ දී පැවැත්විණි. ඡායාරූපවලින් දැක්වෙන්නේ මේ උලෙළේ අවස්ථා කිහිපයකි.

පියගැටපෙළ සංකීර්ණය එළිදකියි

ප්‍රවීණ මාධ්‍යවේදී හා ලේඛක ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රමගේ ‘පියගැටපෙළ සංකීර්ණය’ ග්‍රන්ථය මාර්තු මස 01 වැනිදා පෙරවරු 10.00ට මරදාන දයාවංශ ජාකොඩි සහ සමාගමයේ නවපොත් ප්‍රදර්ශනාගාරයේ දී එළිදකියි. මේ ග්‍රන්ථය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.