වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




සත්‍යය ගීතයට නැඟූ ඇන්ටන් ජෝන්ස් මෙන්ම රංගනයෙන් හාස්‍ය බෙදූ ප්‍රේමදාස විතානගේ ද දැන් අප හැර ගොසිනි

සත්‍යය ගීතයට නැඟූ ඇන්ටන් ජෝන්ස් මෙන්ම රංගනයෙන් හාස්‍ය බෙදූ ප්‍රේමදාස විතානගේ ද දැන් අප හැර ගොසිනි

මේ ගෙවෙන්නේ කලාකරුවන්ට අපල කාලයක්දැයි විටෙක මට සිතෙයි. දෙදහස් දහසය වසර ආරම්භ වී ගත වූයේ දෙමාසයක් වුව ද ඒ කෙටි කාලය තුළදී නොසිතූ විරූ අන්දමින් කලාකරුවන් රැසක් අප අතරින් සමුගත්තේය. අදින් හරියටම සතියකට පෙර එනම් පසුගිය බ්‍රහස්පතින්දාවේ මධ්‍යහනය ගෙවී යන්නට පෙර ලැබුණු ආරංචියෙන් අප පුදුමයට පත් වීමු. එයින් කියවුණේ ප්‍රේමදාස විතානගේ හෘදයාබාධයකින් අප අතරින් සමුගත් බවය. ඉකුත් ඉරු දින සවස ද එවැනිම වූ පුවතක් ඉගිල ආවේය. ඒ ජ්‍යෙෂ්ඨ ගායක ඇන්ටන් ජෝන්ස්ගේ වියෝවය. ක්ෂේත්‍රය ගැන කල්පනා කරද්දී මේ අභාවයන් පිළිබඳ මහත් වූ සංවේගයක් දැනුණී. ඒ නියම කලාකරුවන් ලෙස නම් කළ හැකි අයවලුන් එකා දෙන්නා ජීවන රඟමඬලින් සමුගෙන යන බැවිනි.

සත්‍ය සිදුවීම් ඇසුරෙන් ගී ගැයූ එකම ගායකයා ඇන්ටන් ජෝන්ස් බවට වාදයක් නැත. ලෝකයේ කිසිම සංගීත ක්ෂේත්‍රයක එවන් වූ ගායකයෙක් ඇත්දැයි සැක සහිතය. ඒ අනුව බලන කළ ඇන්ටන් ජෝන්ස් යනු අපට සිටි මහඟු සම්පතක් විය. හේ කුඩා කළ සිට බයිලා කලාවට පෙම් බැන්දේය. ඔහුගේ මාමා වොලී බැස්ටියන්ගේ වාදක මණ්ඩලයේ සාමාජිකයකු වීම එයට ප්‍රධානතම හේතුව විය. කාලයක් ගත වෙද්දී ඇන්ටන් තම මාමාගෙන් අපූරු ඉල්ලීමක් කළේය. ඒ එම සංගීත කණ්ඩායමට බඳවා ගන්නා හැටියටය. කිසිදු පැකිලීමකින් තොරව මාමා ඇන්ටන්ගේ ඉල්ලීම ඉටු කෙරුවේය. ඔහුගේ පියා ද නිරන්තරයෙන් දුවා දරුවන්ගේ ආසාවන්ට ඉඩදීම ඇන්ටන්ට මහත් වූ ආශිර්වාදයක් විය.

එතැන් පටන් ඇන්ටන් ජෝන්ස් වොලී බැස්ටියන්ගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ක්‍රියා කළේය. ඇන්ටන්ට මුලදී ලැබුණේ අත්වැල් ගායනයට එකතුවීමටය. තමන් ලද වගකීම මනාව ඉටු කළ ඔහු කෙටි කලකින්ම වොලීගේ අවධානයට පාත්‍ර විය.

1952 වර්ෂය ගෙවෙමින් තිබුණේය. ඇන්ටනේ ජෝන්ස් වසර හයක් පමණ අනුන්ගේ ගීත ගයමින් සංගීත කණ්ඩායමේ සිටියේය. 1958 වරෂය ඔහුගේ සංගීත දිවියෙහි සුවිශේෂී කඩඉමක් විය. ඇන්ටන්ගේ පළමු ස්ව නිර්මාණය ඉදිරිපත් කළේ එම වසරේදීය. එය කන්තෝරුව කන්තෝරුව නම් විය. එම ගීය ගැන නැවත නැවතත් පැවසිය යුතු නොවන්නේ අදටත් එය ඉතාම ජනප්‍රිය ගීතයක් වන බැවින්ය.

සත්‍ය සිදුවීම් ඇසුරෙන් ගීත ගැයීම ආරම්භ කළේ ඇන්ටන් ජෝන්ස් බව මතයක් ඇත්තේය. නමුත් එය එසේ නොවන බව ඇන්ටන් ජෝන්ස් වරෙක පුවත්පතකට පැවසීමට තරම් නිහතමානී විය. වොලී බැස්ටියන් විසින් ආරම්භ කරන ලද එම ගීත ශෛලිය ඇන්ටන් කොපි කළේය. කාට කොහොම වුණත් ඒ කොපි කිරීම ඇන්ටන්ට හරි ගියේය. එතෙක් වොලී ගැයූ 'ඝංඨා නාදේ අවට ඇසෙන්නේ' ගීතය ඇන්ටන් ගැයූ පසු ඉහළ ජනප්‍රියත්වයක් ලැබුවේය. තමන්ගේ උරුමය එය බව මනාව පසක් කොටගත් ඇන්ටන් ජෝන්ස් දිගින් දිගටම එම ශෛලියටම ගීත ගායනා කෙරුවේය.

* සයුර බලා බඳ ළෙළවා
ඉවුරු තලා ගලා ගියා
මාතර ගං කුමරි නිල්වලා(ආසයි බයයි)

* කන්දෙ හැපුණ මහ වනන්තරේ
ඩී සී අට අහස් යන්තරේ

* අරන්තලාවේ පුවතක් ගුවන් තලාවේ
සුසුම් ගෙනාවේ මහ සඟරුවන් නැසුවේ

* ප්‍රේමවතී මනම්පේරි තරුණිය
කතරගමේ විසූ රූප රැජනිය

* බුදුන් තුන් වරක් වැඩි සිරි ලංකාදීපය
දහම් සඟුන් සෙවණෙ දරුවො වැඩුණු දේශය(මතුගම සමන් කුමාර)

* ගුවන් ගමන් ඉතිහාසයෙ පිටුවක් පෙරළා
සියුම් ලෙසින් වැඩක් කරපු සිංහල කොල්ලා (සේපාල ඒකනායක)

* සුළි සුළං හමාලා මහ මුහුද ගොඩ ගලා

* බැලුවම අහිංසකයි මේ මිනිහා හරි වසයි (මරු සිරා)

* පොලොන්නරුවෙ පොඩි විජේ
වෙඩි නොවදින පොඩි විජේ

* රෑන බිඟුන්නේ ගී සිදු උපන්නේ
(හෝකන්දර ඛේදවාචකය)

වැනි ඇන්ටන් ජෝන්ස් ගැයූ ගීත කෙදිනක නම් අමතක වෙයිද? එමෙන්ම 'ඔහොම හොඳද' චිත්‍රපටය වෙනුවෙන් ඔහු රඟමින් ගැයූ කොමල පපා ගීතයෙහි රූප රාමු මේ වන විට ඔබ මතකයට එනවාට කිසිම සැකයක් නැත. එය ඇන්ටන් රැඟූ එකම චිත්‍රපටය විය. ඉහත ගීත පෙළ මෙන්ම ශාන්ත අන්තෝනි මුනිතුමා, අඳින්න මිනි ගවුම අඳින්න, පොකට්කාරයා, පදික වේදිකාවේ මම ඇවිදලා බැලුවෙ, මම වුණොත් ජනපති, යාර ගණන්, අතන මෙතතන කොතන ගියත් ඇහැට පෙනෙන රත්තරං ආදී විවිධ තේමාවලින් යුතු රසාලිප්ත ගී පොකුර හෙළ ගී කෙතේ සදාකාලිකවම සුවඳ පතුරුවනු ඇත.

ඇන්ටන් ජෝන්ස්ගේ උපන් ගම කොළඹ අලුත්කඩේය. අධ්‍යාපනය හැදෑරුවේ අලුත්කඩේ ශාන්ත සෙබස්තියන් විදුහලෙන්ය. ගීත ගායනයෙහි යෙදෙන ගමන් බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කළ හෙතෙම කෙදිනකවත් පරක්කු වී රාජකාරියට වාර්තා නොකළ වග ප්‍රකට කරුණකි. රස්සාවෙන් විශ්‍රාම යන තෙක්ම රාජකාරිය සහ ගායනකාරිය පටලවා නොගත් ඇන්ටන් ජෝන්ස් 2006 වසර තෙක්ම අප වෙනුවෙන් ගීත ගැයුවේය. එම අවුරුද්ද ඔහුගේ ජීවිත ගමන් මඟට අපලදායක එකක් විය. හදිසියේම රෝගාතුර වූ ඇන්ටන් ජෝන්ස් අවුරුදු හැත්තෑ නවයක් ආයු වළඳා පසුගිය ඉරිදාවේ අවසන් සුසුම් පොද වාතලයට මුසු කළේය. කොතරම් ගී ගියා තිබුණ ද ඇන්ටන් ජෝන්ස් හඬ මුසු කොට තිබුණේ එකම එක යුග ගීතයකට පමණක්ය. එහි ගායිකාව ඇන්ජලින් ගුණතිලකයි. මෙහිදී තව එක් කරුණක් එකතු කළ යුතු යැයි මට සිතෙයි. ඒ ඇන්ටන් ජෝන්ස් සත්‍ය සිදුවීම් ඇසුරෙන් අනන්තවත් ගීත ගයා තිබුණ ද ඔහුගේ වියෝව ගැන ගීතයක් ගැයීමට පසු පරපුර් එවන් ශෛලියක ගායකයකු හෝ නොමැති කාරණයය. ඇත්තෙන්ම එය කනගාටුදායක කරුණකි. අප අතර සිටින වටිනා කලාකරුවන්ගේ වියෝව තදින් දැනෙන්නේ ඔවුන් අප අතරින් නික්ම යන්නේ පිරවිය නොහැකි අන්දමේ හිඩැසක් ඉතිරි කොට බැවින්ය.

ප්‍රේමදාස විතානගේ ගේ සමුගැනීමට ඒ සංවේගයට තව තවත් ඉඩ දුන්නේය. හිතේ එකක් තියාගෙන මුවින් එකක් පවසන කලාකරුවන් හමුවෙන විට නිතැතින්ම කොයි කාටත් මතක් වන්නේ ප්‍රේමදාස විතානගේවය. ඔහුගේ වියෝව පැවසීටම අපට කතා කළ බොහෝ දෙනකු මුලින්ම පැවසුවේ එම කාරණයයි. ඇත්තෙන්ම ප්‍රේම් එවැනි අයෙක්ය. කෙදිනකවත් හිතේ එකක් පවසන්නේ තවෙකක් නැත. අපේ වචනයෙන් කිව්වහොත් බොක්කෙන්ම කියන දෙයක් කියන පුද්ගලයෙක්ය.

අයුක්තියට හිස නමන්නෙ නෑ
ඔළුව නමලා අපිට පුරුදු නෑ

චෙරියෝ සාජන්ට් වේදිකා නාට්‍යයෙහි අතිශය ජනප්‍රිය මේ ගීය ගයන්නේ ප්‍රේම්ය. එමෙන්ම ඔහු ඒ වෙනුවෙන් කළ රංගනයෙහි අපූර්වත්වය නිසාම වැඩි දෙනෙකුට ප්‍රේම්ව මතකයේ තිබුණේ එම චරිතයෙන්ය.

ඉතාම වැර වෑයමෙන් සහ නොයෙකුත් බාදක මධ්‍යහි හැත්තෑව දශකයේ රංගනයට පිවිසි ප්‍රේම්ට මුල් යුගයේදී වැඩි දෙනකු චරිත ලබාදීමට මැලි වූ බව ප්‍රේම් වරෙක පැවසුවේය. එයට ප්‍රධානම හේතුව වූයේ ඔහුගේ හම කාල වර්ණයෙන් යුක්තවීම බව දෙවනුව ඔහුම කියා කොක් හඬලා සිනා සෙන්නේය. ප්‍රේම් රඟපෑ පළමු චිත්‍රපටය වූ දිනුම් කනුව හි ඔහු සිටි තැන සොයා ගැනීමට එකම දින තුළ චිත්‍රපට දර්ශන වාර තුනක් නරඹා තිබේ. එහෙත් ඔහු තමන්ව එතුළ නුදුටුව නිසා පහුවෙනිදා ද චිත්‍රපටය නැරැඹුවේ ඇසිපිය නොහෙලමිනි. එහිදීි එක්තරා තත්ත්පරයකදී ප්‍රේම් ෆ්‍රේම් එකේ සිටිනු දුටුවේය. එහිදි ඔහු මහත් අධිෂ්ඨානයෙන් යුතුව චිත්‍රපට ශාලාවෙන් එළියට බැස්සේ මිය යන විට ලංකාවේ ජනප්‍රිය නළුවකු බවට පත්වනවා යැයි සිතාය. ඔහුගේ අභිප්‍රාය එලෙසින්ම ඉටුවිය.

ප්‍රේ්ම් රංගනනයට පිවිසුණේ විමලදාස හෙට්ටිආරච්චිගේ පැමිණි දුක් පැණි රසයි යන නාට්‍යයෙනි. අනතුරුව විදුල, සමුද්‍ර දේවි, චෙරියෝ සාජන්ට්, ජොසි බබා ආදී නාට්‍ය ගණනාවකින්ම සිය හැකියාව විදහාලූ ඔහු සිංදු බිංදු ටෙලි සිතුවමෙන් ටෙලි නාට්‍ය රංගනයට පිවිසියේය. පබා, සරා, ගෞතමී ආදී ටෙලි නාට්‍ය රැසක රැඟූ හෙතෙම වඩාත් ජනප්‍රිය වූයේ කෝපි කඩේ ටෙලි සිතුවමේ මිනී පෙට්ටි මුදලාලිගේ චරිතයෙනි. ජය අපිටයි, බහුබූතයෝ, රජ හොරු, රන්ජා ප්‍රේම් රඟපෑ චිත්‍රපට ගොන්නෙන් කිහිපයකි. කලකට ඉහතදී ප්‍රේම් පිළිකා රෝගයෙන් පීඩා වින්දේය. ඒ දිනවල ප්‍රේම් පවා සිතුවේ තමන්ට එම රෝගය හේතුවෙන් ජීවිතයෙන් පවා සමුගන්නට වේවි යැයි කියාය. නමුත් ඔහු පෙර කළ පින් මහිමය හේතුවෙන් පිළිකා මාරයාට ප්‍රේම්ව ගිල ගැනීමට නොහැකි විය. ස්ථිර අධිෂ්ඨානයෙන් ජීවිතයට මුහුණ දුන් ප්‍රේම් ඉකුත් බ්‍රහස්පතින්දා මධ්‍යාහනයේදී හෘදයාබාධයක් වැළඳීමට පෙර කලා ලොවෙහි සක්‍රියව කටයුතු කෙරුවේය. රෝගියෙකු කියා හංවඩු ගැසූ යුගයේදී බොහේ නිර්මාණකරුවන් ඔහුව අමතක කර දැමීම ගැන නම් ප්‍රේම් සිටියේ ඉතාම කණගාටුවෙන්ය. එහෙත් ක්‍රම ක්‍රමයෙන් නැවතත් ක්ෂේත්‍රයට එකතු වූ ප්‍රේම් අකාලයේ අපගෙන් සමු ගත්තේය.

ප්‍රේම් මියගිය දිනට හරියටම මාසයකට පෙර ඔහු මට එක්තරා දර්ශන තලයකදී හමු විය. ශාන්ත දේශබන්ධු සහ චන්ද්‍රසිරි කොඩිතුවක්කු හෙවත් අබිලිං මියගිය වග ඒ මොහොතෙහි දැනගත් ඔහු නොසෑහෙන්න විස්සෝප විය. 'අපේ කාලයේ එවුන් නොකියම යනවා මචං' කියා ඔහු පවසන විට ඊළඟට ප්‍රේම් අයියා ද දන්නේ නැහැ කියා අප නිකමට විහිළු කළෙමු. ඔහු ද ඊට පෙරළා විහිළු කළේ 'පිස්සුද බං මං තම කොල්ලනෙ, තවම අවුරුදු විසි අටයි' යැයි පවසමිනි. එහෙත් හරියටම මසකට පසු ප්‍රේම් අප අතරින් නික්ම යාවි යැයි සිහිනෙකින්වත් අප සිතුවේ නැත. එහෙත් එය එලෙස සිදු වී ඇත.