වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




Hollywood

කේට්ගේ ප්‍රථම හාද්ද

ජනප්‍රිය හොලිවුඩ් නිළි කේට් හඩ්සන් පසුගිය දවසක තම රංගන ජීවිතයේ ආරම්භය ගැන ආයෙමත් සිහිපත් කළා. රූපවාහිනි වැඩසටහනක් වන ‘ද ලේට් ලේට් ෂෝ’ හිදී කේට් මේ විදියට සිහිපත් කළේ ඇය මුලින් රඟපෑ ‘ද ගිෆ්ට්’ චිත්‍රපටය පිළිබඳවයි.

“ඒ වෙනකොට මගේ වයස අවුරුදු දහඅටක් විතර ඇති. මම තිරයේදී මගේ ප්‍රථම හාද්ද දුන්නේ එහිදීයි” කේට් පැවසුයේ වැඩසටහනේ සියලු දෙනා සිනහ ගන්වමින්. “ප්‍රථම හාද්ද දුන්නාට පස්සේ ගෙදර යන්නත් ඕනි නේද කියලා හිතුණා. ඇත්තටම ඒ අවස්ථාවේදී මම තරමක් අපහසුතාවයට පත් වුණා. හොඳ වෙලාවට ඒ රංගනය ගරු රඟපෑමක් වුණා” කේට් ඒ රංගනය ගැන පවසන්නේ එලෙසින්. හැබැයි ‘ද ලේට් ලේට් ෂෝ’ වැඩසහන මෙහෙය වූ නිවේදන ශිල්පියා ඇසූ එක ප්‍රශ්නයක් නම් ඇය ප්‍රතික්ෂේප කළා. ඒ හොඳම හාදු වෙන නළුවා කවුද කියන ප්‍රශ්නය යි.

හැඟීම්බර යොවුන් ඉබ්බන්

ලොව ඉහළ ආදායම් ලබමින් ජනප්‍රිය වූ ‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ චිත්‍රපට මාලාව සමඟ කාර්ය බහුල වූ මයිකල් බේ දැන් අලුත් නිර්මාණයක් කෙරෙහි අවධානය යොමු කරලා. ඒ ‘ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස්’ දෙවැනි චිත්‍රපටය. ඔහු ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට කරන එක නවත්වලා ‘ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස්’ දෙවැනි චිත්‍රපටය ‘අවුට් ඔෆ් ෂැඩෝස්’ නිර්මාණය කරන්න සුදානමින් සිටින්නේ.

කොහොම වුනත් ‘ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස්’ පළමු චිත්‍රපටය එතරම් සාර්ථකත්වයක් පෙන්නුම් කළේ නැහැ. පසුගිය වතාවේ එය අමෙරිකා එක්සත් ජනපදයේ තිරගත කර මාස දෙකකට පසුවයි එක්සත් රාජධානියේ තිරගත කළේ. නමුත් මෙවර නම් ලොවපුරා එකම දිනයක, එනම් ජුනි 03 වැනිදා ‘ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස් : අවුට් ඔෆ් ෂැඩෝස්’ තිරගත කිරීම ආරම්භ කරන්නයි සූදානම.

අලුත් පෝස්ටරයේ යොවුන් ඉබ්බන් තරමක් හැඟීම්බරව සිටින ඡායාරූපයක් තමයි ඇතුළත් වෙන්නේ. ඔවුන් තවමත් යොවුන් නිසා එහෙම වෙන්නට ඇති බව බෙහෝ දෙනාගේ අදහසයි.

ජුලියානා මුවර්ගේ දුෂ්ටකම

සම්මානනිය බොලිවුඩ් නිළි ජුලියානා මුවර් මේ දවස්වල දුෂ්ට චරිතයක් නිසා කාර්යබහුල වෙලා. ජුලියානා දුෂ්ට වෙන්නේ ‘කිංග්ස්මන්’ දෙවැනි චිත්‍රපටය නිසා. ඔස්කාර් හොඳම නිළියක ලෙසින් පුද ලද ඇයගේ දායකත්වය කිංග්ස්මන් දෙවැනි චිත්‍රපටයට විශේෂත්වයක් වගේම ඇයටද එය විශේෂයක් වනු ඇති බව හොලිවුඩයෙන් ආරංචි වෙනවා.

‘කිංග්ස්මන් : ද සීක්‍රට් සර්විස්’, රහස් ඔත්තු සේවා පිළිබඳ කතාවක් රැගත් බ්‍රිතාන්‍ය නිර්මණයක්. මැතිව් වෝන් එය අධ්‍යක්ෂණය කළා. පසුගිය වසරේ තිරගත වූ එහි කොලින් ෆර්ත්, සැමුවෙල් එල් ජැක්සන්, ටැරන් එගර්ටන්, මාර්ක් ස්ට්‍රෝන් චරිත නිරූපණයෙන් දායක වුණා.

ප්‍රථම චිත්‍රපටයේ සාර්ථකත්වය අනුව දෙවැනි චිත්‍රපටයක් පිළිබඳ බලාපොරොත්තු පළ කළ අධ්‍යක්ෂ මැතිව්ගේ අදහස වුණේ පළමු නිර්මාණයේ නළු නිළි පිරිසම යොදා ගෙන දෙවැන්න නිර්මාණය කිරීමයි. නමුත් දැනට වාර්තා පළ වෙන්නේ පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ කොලින් ෆර්ත් දෙවැන්නට දායක නොවන බවයි.

ඇඩ්ලේ හැඬ වූ ග්‍රැමී සම්මාන උලෙළ

58 වැනි ග්‍රැමී සම්මාන උලෙළ පසුගියදා ලොවපුරා ජනප්‍රිය ගී තරු පිරිවරා ලොස් ඇන්ජලීස්හිදී උත්කර්ශවත් අයුරින් පැවැත් වුණා. ජනප්‍රිය බ්‍රිතාන්‍ය ගායිකාවක වන ඇඩ්ලේ සිව් වසරකට පසු මෙවර සම්මාන උලෙළට සහභාගි වුණා. ඒ වුණත් එහිදී ඇති වූ ප්‍රශ්නයක් නිසා ඇයට හොඳටම අඬන්න සිදු වෙලා. ඇඩ්ලේ හැමදේකටම අඬන කෙනෙක් විදියට තමයි ප්‍රසිද්ධ. ඇය සතුටටත් අඬනවාලු.

ඒ වුණත් මෙවර ග්‍රැමී සම්මාන උලෙළේදී ගීතයක් ගායනා කරන අතරතුර සිදු වූ ගැටළුවක් හේතුවෙන් තමයි ඇඩ්ලේට අඬන්න වෙලා තියෙන්නේ. ගීතය ගයන අතරතුර ශබ්ද පරිපාලනයේ ඇති වූ දෝ්ශයක් නිසා ඇය මෙලෙස අපහසුතාවයට පත් වෙලා. සමහරු හිතලා තියෙන්නේ ජස්ටින් බීබර් පෙර පුහුණුවීම්වල යෙදෙනවා කියලයි. මේ හින්දා ඇඩ්ලේ ඉතාම ලැජ්ජාවට පත් වෙලා. ආයෙමත් එහෙම වුණොත් සිංදුව කියන එක අතරමග නතර කරලා වේදිකාවෙන් බැහැල යනවා කියා ඇඩ්ලේ පවසනවා.

මෙවර ග්‍රැමී සම්මාන උලෙළේ වසරේ වාර්තාව වුණේ මාර්ක් රොන්සන් සහ බෲනෝ මාස්ගේ ‘අප් ටවුන් ෆන්ඩ්’ ගීතය යි. වසරේ වාර්තාගත ගීත එකතුව ලෙසින් පිදුම් ලැබුවේ ටේලර් ස්විෆ්ට්ගේ ‘1989’ ගීත එකතුවයි. ‘තින්කින් අවුට් ලවුඩ්’ ගීතය වසරේ ගීතය ලෙසින් පිදුම් ලැබුවා.

ජෙසිකාගේ බොරු ලේබල්

ජනප්‍රිය නිළියක, නිරූපණ ශිල්පිනියක වගේම දක්ෂ ව්‍යාපාරික කාන්තාවක වන ජෙසිකා ඇල්බාට නඩුවක් වැටිලා. ඇයගේ ආයතනයේ නිෂ්පාදන සඳහා ස්වාභාවික බවට ව්‍යාජ ලේබල් යෙදූ බව කියමින් තමයි ඇයට මේ නඩුව පැවරිලා තියෙන්නේ.

පසුගිය වසරේදී ලොව ධනවත්ම කාන්තාවන් අතරට පැමිණි ජෙසිකා වස විසෙන් තොර නිෂ්පාදන බෙදා හැරීමෙහි ජනප්‍රියත්වයක් ලබා ගත්තේ ඇයගේ ‘ද ඔනස්ට්’ ආයතනය නිසා. ‘ද ඔනස්ට්’ ආයතනය හරහා බෙදා හරින ලද නිෂ්පාදන කිහිපයක්ම පරීක්ෂණයට ලක්කර ඇය හා ‘ද ඔනස්ට්’ ආයතනය වෙත දැනුම් දී ඇතත් ඒ පිළිබඳ නොසැලකිළිමත් වීම නිසා අදාළ පාර්ශවය නඩු මඟට පැමිණිලා. කොහොම වුණත් අමෙරිකා එක්සත් ජනපදයේ ස්වඋත්සාහයෙන්ම ධනවත්ම කාන්තාව වෙන්නෙත් ජසිකා.