වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් මගේ ම ගී පනහක් විතර තියෙනවා

දැන් මගේ ම ගී පනහක් විතර තියෙනවා

සංගීත් නිපුන් සධානා රණතුංග

හද ගැහෙන හැම විට ම
මට ද එය දැනෙන්නට
අවසර ද මගෙ සවන
ඔබෙ ළමැද හොවන්නට
නෙතු ඇරෙන හැමවිට ම
සුබ දසුන් දකින්න ද
අවසර ද මගෙ නෙතට
ඔබ අසල නිදන්නට

වියරු වන හැමවිට ම
පියවි සිහි ලබන්නට
අවසර ද මගෙ මනස
ඔබෙ ළඟ ම තබන්නට

උපනුපන් හැම බවෙම
ළබැඳී පෙම පුදන්නට
අවසර ද සසර මග
ඔබ සමඟ ගෙවන්නට

ඕගනය වයමින් මියුරු ස්වරයෙන් සෙමෙන් මුමුණණු ඇසුණු මේ ආදර ගීතයේ සුවය විඳීමින් ම අපි සධානා රණතුංගගේ කැදැල්ලට ගොඩවැදුණෙමු.

“මියුරු ස්වරයක්”

මා විමසුවේ ලංකාවේ ලොකුම කලා පවුලකට උරුමකම් කියන ප්‍රවීණ ගායන ශිල්පිනී දයා හේමන්තා - චිත්‍රපට අධ්‍යක්ෂ හා රංගන ශිල්පිනී ශාන්ති අබේසේකරගේ දියණිය වගේ ම රණතුංගේ පවුලේ ලේලිය වන ඇගේ මේ සොඳුරු ආදර ගීතයේ තොරතුරු දැන ගන්නා අටියෙනි.

“ගීතය ලිව්වේ ප්‍රවීණ නිවේදකයෙකු වගේ ම ගීත රචකයකු වන කරුණාරත්න අබේසේකරගේ මල්ලි ආචාර්ය ගාමිණී අබේසේකරයි.මෙහි තනුව හා සංගීතය නිර්මාණය කළේත් මමමයි. ඒ තනුව මම නිර්මාණය කළේ ශාස්තී‍්‍රය හා බටහිර සංගීතය යන දෙඅංශය ම පදනම් කරගෙනයි. වසර දහයකට පෙර මේ ගීතය තැටිගත කර ත් ගීතයට රූප රචනාවක් නම් කළේ මෑතකයි. ඒකයි මේ ගීතයේ තිබෙන විශේෂත්වය වන්නේ. ඕෂදී හේවාමද්දුම, දසුන් ද සිල්වායි මේ රූප රචනය සඳහා පෙනී සිටින්නේ. ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ මගේ ‘අවසරද’ ගීතය රස විඳීන්නට හැකියි.”

අද අපට ඇසෙන්නේ ඒකාකාරී ආදර ගීත රැල්ලකි. එවැනි කාලයක වෙනස් ම විදියකට ගැයුණු සධානා ගයන ‘අවසරද’ ගීතය නැරැඹීමෙන් මේ වෙනස ඔබට වටහා ගත හැකිය.

“ ‘අවසර ද ගීතය ඔබට ලැබෙන්නේ කොහොම ද?”

“දවසක් ගුණරත්න අබේසේකරගේ දුව හා ගාමිණී අබේසේකරගේ බිරිය වන නීතා ඇන්ටිත් සමඟ මා හමුවන්න ආවා. ඒ අයගේ අනුස්මරණ වැඩසටහනක් සඳහා මේ ගීතයට තනුවක් යොදලා ගයන්නැයි කියලා ආරාධනාවකුත් කළා. ඊට පස්සේ මම ඕගන් එක ළඟින් ම ඉඳගෙන හෙමින් හෙමින් තනුවක් දැම්මා. ඒ තනුව බොහොම ලස්සනට මගේ සිතට පැමිණියා. ඒ තනුවට ආලප් එකක් දැම්මොත් කොහොම දකිලා මට සිතුණා. මේ වගේ වෙනස්කම් කරමින් තමයි ගීතය නිර්මාණය වුණේ. මම සිතන්නේ මගේ මහන්සිය සාර්ථක වුණා කියලා. ගීතයට ලැබෙන ප්‍රතිචාරවලින් ඒ වග මට හැඟෙනවා. ඒ නිසා මේ ගීතය මට විශේෂයයි. ඉදිරියේදිත් අලුත් ගීතයක් කරන්නත් අදහසක් තිබෙනවා.”

සධානාගේ පවුලේ සියල්ලන් ම කලාවට ළැදි ය. වැඩිමලා සුපි‍්‍රයා ය. තුන්වැන්නා සංජය ය. සිව් වැන්නා සුදීප් ය. පස් වැන්නී ශර්මිලා ය. සයවැන්නී සංජානා ය. හත්වැන්නී සජනි ය.අබේසේකර පවුලේ දෙවැන්නී සධානා රණතුංග ය.

“ඔබගේ දක්ෂතාවලට මග පාදන්නේ පවුල් පරිසරයයි”

“අපේ ගෙදර කලා නිකේතනයක්.අපි ඉපදෙන්න සිටිය දා ඉඳල ම ඇහුණේ සංගීතයයි. ඉපදුණාට පස්සේ වුණත් වසන්තා සන්දනායක ආත්තම්මා වගේ ම අම්මාගේ ගායන ස්වරය අපේ සිත්වල නිතර ම රැඳුණා. ඉබේ ම වගේ අපිත් ගී ගැයුවා. ඒ සියලු දේ ලැබුණේ පවුලෙන්. මගේ මේ සංගීත හා ගායන හැකියාව පවුලෙන් මට උරුම වූ දායාදයක්. දෙවියන්ගෙන් මට ලැබුණු තෑග්ගක්. පවුලේ සියලු දෙනා ම ගායනයට, නර්තනයට දක්ෂයන්.”

කුඩාකල පටන් ම ගායන හැකියාව වගේ ම රංගනයට ද සධානා හපන්කමක් දැක්වූවා ය. එහෙත් රංගනයට පිවිසෙන්නට ඇගේ පියාගෙන් අවසරය නොලැබිණි. එහෙත් ඈ සංගීත අංශයෙන් ඉදිරියට පැමිණියා ය.

“ඉන් පස්සේ ඔබ සංගීතය ඉගෙන ගන්නවා”

“ඒ කාලයේ ඉඳල ම මගේ සිතේ තිබුණ දෙයක් වුණේ සංගීතය ඉහළට ම ඉගෙන ගන්න ඕනෑ ය යන්නයි. ඊට පස්සේ ඒ අදහස ඉෂ්ට කර ගන්න මට අවස්ථාව උදා වෙනවා. ඒ කියන්නේ සංගීතය ඉගෙන ගන්න මට ඉන්දියාවට යන්න අවස්ථාව උදා වෙනවා. ඒත් ඒ කාරණය මග හැරෙනවා. එදා තමයි මම කවදහරි ඉන්දියාවට ගිහින් සංගීතය ප්‍රගුණ කරනවා කියන අදහස සිතේ තබා ගන්නේ. ලංකාවේදි සංගීතය ඉගෙන ගෙන විභාගය සඳහා මා ඉන්දියාවට යන්නේ ඉන් පසුවයි. එහි ගිහින් මාසයක් පමණ කාලයක් ඇතුළේ ඒ කටයුත්ත සම්පූර්ණ කරන්නට මට අවස්ථාව හිමි වෙනවා. එහි පැවැතුණු ප්‍රායෝගික පරීක්ෂණයේ දී සිටි මණ්ඩලය මාව ඉහළින් ම අගය කරනවා. ඔවුන් පැවසුවේ මා ඒ ගැයුම් ගැයුවේ උපරිමයෙන් ම බවයි. ඒ තරමට ම මම ඒ ගීතවලට සම වැදුණු බවක් ඔවුන් පැවසුවා. ඒ පැතුම් තුරුලු කරගෙන මා නැවතත් මගේ රටට එන්නේ බොහොම සතුටෙන්. එතැනින් එහාටත් ඉගෙන ගන්න අදහසක් තවමත් මගේ සිතේ තියෙනවා.”

මේ වනවිට සධානා සංගීත් නිපුන් සධානා රණතුංග වන්නී ය. ඇගේ සැමිය වන නන්දිත රණතුංගත් විශාරද වරයෙකි. දයාරත්න - අමරා රණතුංගගේ පුත්‍රයා වන නන්දිත ද සංගීතයට බෙහෙවින් ළැදි ය.

“ මේ වනවිට බොහෝ ප්‍රවීණ ගායක - ගායිකාවන්ගේ දූ පුතුන් ගයන්නේ ඔවුන්ගේ මවුපියන්ගේ ගීතයි.”

“මෙහෙමයි. මේ වනවිට මා මගේ ම ගීත පනහක් පමණ ගායනා කරලා තියෙනවා. ඒත් මොන ප්‍රසංගයකට ගියත් අපට ආරාධනා ලැබෙන්නේ අපේ අම්මාගේ හෝ ආත්තම්මාගේ ගීත ගයන්නයි. ඒ ඉල්ලීම මග හරින්නත් අපට බැහැ. එහෙම නැතිව ඔවුන්ගේ ම ගීත ගයනවාට වඩා අපේ ම ගීත ගයන්න මම නම් කැමැතියි. ඒ සඳහා අවශ්‍ය ඉඩකඩක් අපට නිර්මාණය නොවීමයි තිබෙන එක ම ප්‍රශ්නය වන්නේ. ”

කොළඹ රාජකීය විද්‍යලයේ ප්‍රථමික අංශයේ සංගීත ගුරුවරියක ලෙස කටයුතු කරන සධානාගේ සංගීත කටයුතුවලට නන්දිතගෙන් ලැබෙන්නේ නොමඳ සහයෝගයකි.

“මහත්තයාගෙන් මගේ සංගීත කටයුතුවලට ලැබෙන සහයෝගය වචනයකින් කියලා නිම කරන්න බැහැ. මගේ ජීවිතයේ දී මට ලැබුණු ලොකු ම හයිය ඔහුයි. මුලින් ම ඔහු ගීත ගයන්නට වඩා කැමැත්තක් දැක්වූයේ තබ්ලාව, ගිටාරය ප්ලේ කරන්නයි. ගීත රසවිඳීන්නයි. ඒත් මේ වනවිට ඔහුත් ගීත ගයනවා. ප්‍රසංග වේදිකාවේදි මාත් සමඟ යුග ගායනයෙන් සහභාගි වෙනවා. ”

ඔෂද රණතුංග සධානාගේ වැඩිමහල් පුතා ය. රංගනයට ඔහුගේ ඇත්තේ දැඩි කැමැත්තකි. ගයන්නටත්, වයන්නටත් ඔෂදට හැකිය. පොඩිපුතු ශෂික තවමත් පාසල් ශිෂ්‍යයෙකි. ඔහු ද ගායනයට හපනෙකි. කලාවෙන් දිගු ගමනක් යන සධානා රණතුංගගේ පවුල සොඳුරු කැදැල්ලකි. සධානා අසල ඇති වයලීනය අතට ගත්තා ය. සොඳුරු ලෙස වයලීනය වයන අතර මේ සොඳුරු කැදැල්ලෙන් අපි සමුගතිමු.