වර්ෂ 2012 ක්වූ අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත වී මේ වසරට වසර 50 යි

මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත වී මේ වසරට වසර 50 යි

කොනරි බොන්ඩ්ගෙන් සමුගනී

‘බ්ලොෆෙල්ඩ්’ ගේ සහායිකාව වන හෙල්ගා බ්‍රාන්ට් ගේ චරිතය සඳහා යුරෝපීය නිළියන් ගණනාවක් පරීක්ෂණයට ලක් කෙරුණත් අවසානයේ දිනුම ලබා ගත්තේ කරීන් ඩෝර් නමැති ජර්මන් ජාතික සුරූපිනියක්.

අවසානයේ ඇසිඩ් තටාකයකට වැටී ජීවිතක්ෂයට පත්වන අවදානම් ජවනිකාව අතිරේක නිළියක් නොයොදා තමා විසින්ම රඟපෑමට තරම් ඇය දක්ෂ වූවා. එහෙත් පුදුමයට කරුණක් වූයේ චිත්‍රපටය ජර්මන් බසින් දෙබස් කවද්දී වෙනත් අයෙකු ඈ වෙනුවට පසුබිම් හඬ සැපයීමයි. ගිල්බට් අධ්‍යක්ෂණය කළ ‘සෙවන්ත් ඩෝන්’ නම් චිත්‍රපටයේ රඟපෑ ජපන් ජාතික නළු ටෙට්සුරෝ ටම්බා ජපන් රහස් ඔත්තු සේවා ප්‍රධානී තනාකා ගේ චරිතය රඟපෑ අතර ඔහුගේ අතවැසි නින්ජාවරුන් ලෙස දක්ෂ කරාටේ ශිල්පීන් පිරිසක් යොදා ගනු ලැබුවා.

ප්‍රධාන ජපන් නිළි චරිත රඟ පෑ අකිකෝ සහ මිහාමා සතු ඉංග්‍රීසි දැනුම අල්ප වූ හෙයින් වහාම ලන්ඩනයේ ඉංග්‍රීසි පන්තිවලට යවා ටියුෂන් දීමට සිදු වූයේ නිෂ්පාදක කණ්ඩායමටයි. එයිනුත් දැනුම අනුව ඉංග්‍රීසි කතාවේ දක්ෂ නිළියට හිමි චරිතය අනෙකා හා හුවමාරු කර ගැනීමට සිදු වූයෙන් අඩු දෙබස් ප්‍රමාණයක් හිමි මිහාමා බොන්ඩ්ගේ ජපන් මනාලිය වූ ‘කිසී’ බවට පත් වුණා.

මුලින්ම තිර රචනය බාර වූ හැරල්ඩ් ජැක් බ්ලුම් ජපානයට පැමිණ ලියූ තිර පිටපත මුළුමනින්ම ඉවත දමනු ලැබුවත් බොන්ඩ් බොරුවට මිය යාම සහ ඔහුගේ සිරුර මුහුදේ ගිල්වා දැමීමත්, නින්ජාවරුන්ගේ සටනත් අවසාන තිර පිටපතට එක්කර ගැනීමට නිෂ්පාදකවරු අදහස් කළා.

ඒ අනුව ඔහුගේ නම චිත්‍රපට නාමාවලියට ඇතුළත් වන්නේ අතිරේක තිරකතා රචකයා ලෙසටයි. කලින් චිත්‍රපටවල තිර රචනය කළ රිචඩ් මේබෝම් මෙම චිත්‍රපටයට දායක නොවූ හෙයින්, ඉයන් ෆ්ලෙමින්ගේ සමකාලීන ගජ මිතුරෙකු වූ රෝල් ඩාල් වෙත එම කටයුත්ත පැවරුණා. ‘මැටිල්ඩා’ වැනි ජනප්‍රිය ළමා කතා රචනාකර ඇති ඔහු සුප්‍රසිද්ධ ගත් කතුවරයෙක්.

ෆ්ලෙමින් විසින් රචිත අනෙකුත් කතා හා සසඳන විට චිත්‍රපටයකට ගතහැකි කිසිම හරයක් නැති ෆ්ලෙමින්ගේ දුර්වලම නවකතාව ‘යූ ඔන්ලි ලිව් ට්වයිස්’ බවයි ඔහු සඳහන් කළේ. ‘මේ කතාව තුළ බොන්ඩ් හට කිරීමට ඇත්තේ අහවල් කෙරුවාවක්දැයි’ ඔහු වරෙක ප්‍රකාශ කළා. මෙවැනි විවේචන මැද ප්‍රථම තිරකතා සැකිල්ල ලියා හමාර කිරීමට ඔහුට සති හයක කාලයක් ගත වුණා.

‘ඩොක්ටර් නෝ’ කතා තේමාව අනුගමනය කරමින් ලියැවුණු තිර කතාවට පොතේ සඳහන් කිසී සුසුකිගේ චරිතයට අමතරව තවත් කාන්තා චරිත දෙකක් වූ අකිකෝ සහ හෙල්ගා ගේ චරිත තිර කතාවට ඇතුළත් කළේ ඔහු විසිනුයි.

ඩාල් ගේ මෙම වෙනස් කිරීම් සඳහා අධ්‍යක්ෂ ගිල්බට් ගේ පූර්ණ අනුමැතිය ලැබුණේ සුරූපී කාන්තා චරිත වැඩි වන තරමට චිත්‍රපටයට ලැබෙන ප්‍රේක්ෂක ආකර්ශණය වැඩි වීමට එය ඉවහල් වන නිසයි. ‘වෙනත් අධ්‍යක්ෂවරුන් මෙන් නොව තිර පිටපත කෙරෙහි විශ්වාසය තබා ඒ අනුව වැඩ කිරීම ගිල්බට් ගේ මා දුටු විශේෂ ලක්ෂණයක්’ යැයි ඩාල් වරෙක ගිල්බට් අගය කරමින් පැවසුවා.

මුහුදුබඩ ජපානයේ කගොෂිමා ප්‍රදේශය බොන්ඩ් ගේ රූබර මනාලිය ජීවත් වන ධීවර ගම්මානය ලෙස යොදා ගන්නා ලදී. ලන්ඩනයේ ඉංග්‍රීසි පංතිවලට ගොස් නැවත දර්ශන තලයට ආ මිහාමා බලවත් අකරතැබ්බයකට පත් වූවා. ඇය තදබල බඩේ රුදාවකින් පෙළීම නිසා රඟපානවා තබා කෙළින් සිට ගැනීමටවත් නොහැකි තත්ත්වයකයි ඈ පසු වුණේ.

වාසනාවකට මෙන් මෙහිදී බොන්ඩ් ගේ සිනමා බිරිඳ වෙනුවට ඔහුගේ සැබෑ බිරිඳ ඩයනි සිලෙන්ටෝ, ඇගේ රන්වන් කෙස් කළඹ කළු ‘විග්’ එකකින් ආවරණය කර ගනිමින් බොන්ඩ් සමඟ රඟපෑමට ඇති දිය යට දර්ශන සියල්ලටම පෙනී සිටියේ ස්වේච්ඡාවෙන්.

වාහන ලුහුබැඳ යන දර්ශනයකදී කාර් එලවීමට නොහැකි ‘අකී’ වෙනුවෙන් ඇය පදවන රථය කේබලයකින් ඇදගෙන යාමට අතිරේක ශිල්පීන් 6 දෙනෙකෙගේ සහය ලබා ගැනීමට සිදු වුණ අතර බොන්ඩ් වාහනයක් නොපදවන එකම චිත්‍රපටය ද මෙය වෙයි.

නොයෙකුත් ප්‍රදේශවලදී සිනමා රසිකයින් ෂෝන් කොනරි පසුපස රොද බඳීමින් පැමිණීම නිසා නිෂ්පාදක කණ්ඩායමට විඳින්නට සිදු වූ අසීරුතාවයන් පාලනය කර ගැනීම සඳහා කීප වතාවක්ම පොලීසිය කැඳවීමට සිදු වුණා. තමා පසුපස නිතර ගැවසුණු කැමරා ශිල්පීන්ගෙන් වසන්වීමට කොනරි බලවත් උත්සාහයක යෙදුන අතර පැපරාසියෙකු විසින් ගන්නා ලද නාන කාමරයේ ඔහු සිටින ඡායාරුපයක් ජපන් පුවත්පතක පළ වී තිබිණ.

මේ අතර වාරයේ, තමා බොන්ඩ් චරිතය රඟපෑමෙන් ඉවත් වන බවත්, තමා රඟපාන අවසන් චිත්‍රපටය මෙය බවත් කොනරි විසින් ප්‍රකාශ කිරීමෙන් බොන්ඩ් රසික ලෝකයේ මහත් ආන්දෝලනයක් ඇති වූ අතර එය ඇසූ බ්‍රොකොලි, හැරී ඇතුළු නිෂ්පාදක කණ්ඩායම ද මහත් කම්පනයට පත් විය. ඔවුන් වහා කොනරි වෙත අමතර ඩොලර් මිලියනයක වැටුපක් ගෙවීමට සූදානම් වූ නමුදු කොනරි තම ස්ථාවරය වෙනස් නොකළේ බොන්ඩ් චරිතය රඟපෑමෙන් තමා හෙම්බත් වී ඇති බව පවසමිනි. මෙම හදිසි තීරණයෙන් බොන්ඩ් ලෝලීන්ගේ පමණක් නොව හැරී සහ බ්‍රොකොලිගේ ද සියලු බලාපොරොත්තු සුන් වී ගියේය.

තවත් විශේෂ සිදුවීමක් වන්නේ 1965 මාර්තු 5 දින හැරී, බ්‍රොකොලි, කෙන් ඇඩම් සහ කැමරා ශිල්පී ෆෙ‍්‍රඩී යන්ග් ටෝකියෝ සිට ලන්ඩන් බලා යාම සඳහා ගුවන් තොටුපළට ගියේ BOAC F911 ගුවන් යානයට නැගීමටයි. එහිදී හමු වූ මිතුරෙකු නින්ජා සටන් සංදර්ශනයක් නැරැඹීමට ඇරැයුම් කළ හෙයින් ඔවුන් එය නැරැඹීමට ගොස් ආපසු එන විට යානය පිටත් වී තිබුණ අතර ගුවන් ගත වී විනාඩි 25 කට පසු එය ෆූජි කඳුවැටියේ ගැටී විනාශ වීමෙන් ගමන් ගත් සියලු දෙනාම ජීවිතක්ෂයට පත් විය.

එම දෛවෝපගත සිදුවීම සහ චිත්‍රපටයේ නම අතර ඇති සබඳතාවය, දිවි බේරා ගත් අයගේ සිත් සතන් තුළ ඇති කළේ අමතක නොවන ආශ්චර්යමත් හැඟීමක්. චිත්‍රපටයෙන් හඳුන්වා දුන් ‘ගැජට්’ මෙවලම් අතර සුවිශේෂ තැනක් ලැබුණේ සූට්කේසයක අසුරාගෙන යා හැකි තරමේ ‘ලිට්ල් නෙලී’ නම් කුඩා හෙලිකොප්ටර් යානයයි. අපූරු නිර්මාණයක් වූ එහි නිර්මාතෘ කෙන් වොලිස් විසින් එය පදවන ලද අතර සමීප දර්ශන සඳහා පමණක් කොනරි පෙනී සිටියේ දසුන්වල තාත්වික බව රැක ගැනීම සඳහායි.

තනි පුද්ගලයකු හට පමණක් ගමන් කළ හැකි එම යානය සතුරු හෙලිකොප්ටර් යානා විසින් ලුහුබඳිමින් ගුවනේදී සිදු කරන සටන කැමරා ගත කරද්දී කැමරා ශිල්පි ජෝන් ජෝර්දාන්ගේ කකුලත් බරපතල ලෙස තුවාල වුණා. ඉතා අසීරු, අවදානම් රූගත කිරීමක් වූ මෙය පැය 5 ක පමණ කාලයක් පුරා උඩු ගුවනේ සිදු කෙරුණේ ‘මියසැකි’ නම් කඳුකර ප්‍රදේශයේදීයි. හෙලිකොප්ටර් පුපුරා යන දර්ශන ගැනීම ජපන් බලධාරීන් විසින් තහනම් කෙරුණ නිසා ස්පාඤ්ඤයේ දර්ශන තලයක් සොයා යාමට නිෂ්පාදක කණ්ඩායමට සිදු වුණා.

පැරැණි ගිණි කඳු ආවාටයක් තුළ සාදන ලද බ්ලොෆෙල්ඩ් සතු භූගත රොකට් කම්හල ඩොලර් මිලියනයක වියදමින් ඉදි කරන ලද්දේ බ්‍රිතාන්‍යයේ පයින්වුඩ් චිත්‍රාගාරය තුළයි. මෙය සැලසුම් ශිල්පි කෙන් ඇඩම් ගේ නිර්මාණයක්.

සෑහෙන තරමේ රොකට්ටුවක් ඉහළ නැංවීමට සහ ගොඩ බෑමට තරම් විශාලත්වයෙන් යුත් අට්ටාලයේ උස අඩි 148 ක් පමණ වූ අතර මෙම ආකෘතිය නිම කිරීමට යකඩ ටොන් 700 ක් හෙවත් ලන්ඩන් හිල්ටන් හෝටලය සෑදීමට වැය වූ යකඩවලට වඩා වැඩි ප්‍රමාණයක් ද, සැතපුම් 200 ක් දිග වානේ බම්බු ද වර්ග යාර 250000 ක කැන්වස් රෙදි සහ ටොන් 200 ක බදාම ප්‍රමාණයක් ද වැය වූ බව මේ විශිෂ්ට නිර්මාණය කළ කෙන් ඇඩම් වරෙක ප්‍රකාශ කළා.

අධ්‍යක්ෂක ලුවිස් ගිල්බට්ගේ සුපුරුදු සංස්කරණ ශිල්පිනී තෙල්මා කොනෙල් සංස්කරණ කටයුතු සිදු කළත් කිසිවෙකු එයින් සෑහීමකට පත් නොවූ හෙයින් කලින් බොන්ඩ් චිත්‍රපට සංස්කරණය කළ පීටර් හන්ට් වෙත නැවත සංස්කරණය භාර කෙරුණා. ඔහුගේ කර්තව්‍යය කෙතරම් සාර්ථක වීද යත් ඊළඟ බොන්ඩ් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඔහුට පැවරීමට නිෂ්පාදකවරු ඒකමතිකව තීරණය කළා.

සංගීත අධ්‍යක්ෂක ජෝන් බැරී විසින් තේමා ගීතය ගැයීම සඳහා තෝරා ගත්තේ සුප්‍රකට අමරිකන් නළු ගායක ෆ්රෑන්ක් සිනාට්‍රාගේ දියණිය වූ නැන්සි සිනාට්‍රා නම් යොවුන් ගායිකාවයි. බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නොවන අයෙක් බොන්ඩ් චිත්‍රපටයක ගීතයක් ගායනා කරන ප්‍රථම අවස්ථාව එය වෙයි. පුදුම ලෙස චකිතයට පත්ව සිටි ඇයගෙන් නිවැරැදි පටිගත කිරීම ලබා ගැනීමට හැකි වූයේ 25 වතාවක් ගීතය ගායනා කිරීමෙන් අනතුරුවයි.

ඒ අතරතුර වරෙක ඇය පටිගත කිරීමේ මැදිරියෙන් පැන යාමට ද තැත් කළ බව පැවසෙයි. ජුලි රොජර්ස් විසින් ගායනා කරන ලද තවත් තේමා ගීතයක් ඉවත දැමුණු අතර පසුව ලොරේන් චැන්ඩ්ලර්, නටාචා ඇටිලස් සහ ෂර්ලි බැසී යන ගායිකාවන් විසින් වරින් වර වෙළෙඳ තැටි සඳහා ද මෙම ගීතය ගායනා කෙරිණි.

2000 වසරේ මිලේනියම් ගීතය ලෙස ගැයුනේ ද මෙම ගීතයයි. 1967 ජූනි 12 දා ලන්ඩනයේ ලිසිස්ටර් චතුරස්‍රයේ ඕඩියන් සිනමා ශාලාවේදී චිත්‍රපටයේ මංගල දර්ශනය අති උත්කර්ෂවත් ලෙස පැවැත් වුණේ දෙවැනි එලිසබෙත් මහ රැජින සහ පිලිප් ආදිපාදවරයාගේ ප්‍රධානත්වයෙන්. ජුනි 13 දා අමෙරිකාවේදී ද මංගල දර්ශනයක් පැවැත් වුණා.

ඩොලර් මිලියන 9 හමාරක් වැය කරමින් නිෂ්පාදනවය වූ චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 111 හමාර ඉක්මවා ගියේය. අමෙරිකාවේ පමණක් බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 43.1 ක් වූ අතර මිලියන 36 ක අමෙරිකානු ප්‍රේක්ෂක ජනතාවක් චිත්‍රපටය නරඹා තිබුණි.

1968 හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි BAFTA  සම්මානය සඳහා කෙන් ඇඩම්ස්ගේ නම නිර්දේශිත නාම අතරට එක් වූ අතර 1967 ජර්මනියේ ගෝල්ඩන් ස්ක්‍රීන් සම්මානය දිනා ගනු ලැබුවේ වසරේ හොඳම චිත්‍රපටය සඳහායි.

චිත්‍රපටය අවසන් වූයේ හැරී සහ බ්‍රොකොලි හමුවේ උභතෝකෝටික ගැටලුවක් ඉතිරි කරමින්, බොන්ඩ් චිත්‍රපටවල ඉදිරි පැවැත්ම සඳහා ඔවුන් විසින් අනිවාර්යයෙන් විසඳා ගත යුතු ප්‍රහේළිකාව වූයේ කෝටි සංඛ්‍යාත රසික ජනතාවක් නන්නත්තාර කරමින් බොන්ඩ් චරිතයට සමු දුන් අසහාය නළු ෂෝන් කොනරි වෙනුවට ආදේශකයෙක් සොයා ගැනීමයි. එම භාරධූර අභියෝගයට ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?

පිළිතුරු ලබන සතියේ . . .