වර්ෂ 2012 ක්වූ අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




ඇසකට ඇසකින්ද?

ඇසකට ඇසකින්ද?

ඇහැට ඇහැක් විස වීම බොලිවුඩයට අලුත් දෙයක් නොවෙයි. මුහුණට මුහුණ නොබලන අලුත්ම තාරකා යුවළ බවට පත් වී සිටින්නේ අනුෂ්කා ෂර්මා සහ පරිනීතා චාප්රාය.

අනුෂ්කා මෙන්ම පරිනීතා ද මේ වන විට සුපිරි තාරකාවක් වෙන බවට පෙරනිමිති පහළ කර අවසන්ය.

‘ලේඩිස් වර්සස් රිකී බාල්’ කුලුඳුල් රංගනයට පරිනීතා සම්මාන ගණනාවක්ම නැඟී එන නවක නිළිය ලෙසින් දිනා ගත්තාය. වැඩි දෙනෙක් පවසන්නේ අනුෂ්කා, පරිනීතාට ඊර්ෂ්‍යා කරන බවයි.

මේ දෙදෙනා මූණට මුණ ගැසුණත් ඇසට ඇස නොබලන බව ඇසින් දුටුවෝ පවසති.

අනුෂ්කාගේ නොමනාපයට පරිනීතාගේ රංගනයට ඊර්ෂ්‍යා කිරීමට වැඩි යමක් පවතී. ඇයගේ පෙම්වතාව සිටි රන්වීර් සිං පරිනීතාට ළං වීම අනුෂ්කාගේ දෙනෙත් රතු පැහැ කරන කරුණක් වී තිබේ.

මේකත් රෝගයක් තමයි

සිනමා පටයක් රූගත කරද්දී සියල්ලෝම එකම පවුලේ සාමාජිකයෝ බවට පත් වෙති. මෙසේ වාසය කිරීමේදී එකිනෙකා ගැන දැනගත යුතු දේ මෙන්ම දැන නොගත යුතු දේ ද දැනගන්නට ලැබේ.

සනී ලියෝන් කිසිසේත්ම හෙළි කිරීමට අකැමැති පුවතක් ‘ජිස්මි 2’ රූගත කිරීමේදී හෙළි වී ඇත. එය නම් ඇය ග්‍රස්ථිය (OCD) නම් රෝගයෙන් පීඩා විඳින බවයි.

ඇය මේ උමතු රෝගයෙන් පීඩා විඳින බව අනෙක් අයට වැටහී ඇත්තේ නිතර නිතරම පාද සේදීම නිසයි. ඇය මිනිත්තු 15 – 20 කට වරක් ද, සෑම රූගත කිරීමකම අවසානයේදී ද දෙපා සෝදා තිබේ.

 

ගෙවල්ම 22 ක්

බන්ද්‍රා පෙදෙසට මූම්බායි රැජන යන අනවර්ථ නාමය ලැබී ඇත්තේ එය සුපිරි තරු යායකට නවාතැන් සපයන පුරවරයක් නිසයි.

මෙහි ජීවත්වන ඛාන් රජවරුන් අතර අමීර් ඛාන් ද වෙයි.

ඔහු ‘බෙලා විස්ටා’ තට්ටු නිවාසයේ පදිංචිකාරයෙකි. තට්ටු නිවාසයක කොටු වී සිටීමට ඇති අකැමැත්ත නිසාදෝ අමීර් ඛාන් උත්තර ප්‍රදේශයේ, ෂහබාද්වලින් නිවෙස් විසි දෙකක් මිලදී ගෙන තිබේ.

ඔහු මිලදී ගෙන ඇත්තේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වී සිටි නසීර් හුසේන් ඇතුළු සිය මාමලාගේ නිවෙස්ය.

බොලිවුඩ් ඔලිම්පික්

ඔලිම්පික් උණුසුම බොලිවුඩයට තදින්ම දැනෙන්නේ සමාරම්භක උළෙල බච්චන්, ඒ.

ආර්. රහමන් වැනි මෙගා තරුවලින් වර්ණ ගැන්වුණු නිසා පමණක් නොවෙයි. ක්ෂේත්‍රයට සම්බන්ධ අය ද ක්‍රීඩාවට දායක වන නිසයි.

ලාරා දත්තා ලන්ඩන් ඔලිම්පික් උළෙලට ගියේ ටෙනිස් ක්‍රීඩකයකු වූ සිය සැමියා මහේෂ් භූපතිට සුබ පැතීමටයි. ලාරා සමඟ සානියාගේ මව ද ගොස් තිබේ.

ලාරාගේත්, මහේෂ්ගේත් දියණිය සයිරා තවමත් මාස ගණනක සිඟිත්තියක නිසා මුල දී ලන්ඩන් නොයා සිටීමට ඇය තීරණයකර තිබුණත් පසුව එය වෙනස්කර ගත්තාය.