|
චිත්‍රපට දැක්ම හා වැඩමුළුව 16 දා දක්වා රූපවාහිනී අභ්‍යාස ආයතනයේදී
සිනමාවේදිනී ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මෙහි අධ්‍යක්ෂිකාව වශයෙන් කටයුතු කරනු ලබයි. අගෝස්තු 08 වැනිදා සිට 16 දක්වා ආන්ද්‍රේ තර්කොව්ස්කි සිනමාවේදියාගේ සිනමා පට දැක්මක් ආරම්භ වූ අතර ඒ හා බැඳුණු වැඩමුළුවක් ද පවත්වනු ලැබේ. රුසියාවේ ඉවානෝව් විශ්ව විද්‍යාලයේ යෙව්ගෙනි බර්සෙකාප් මහාචාර්යවරයා මෙය මෙහෙයවීමට නියමිතය. මෙම පාඨමාලාවන් සහ වැඩමුළු සඳහා කැලණිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන අංශයේ පූර්ණ දායකත්වය ලැබෙනු ඇත.
පාඨමාලාව ඇරැඹිදා ඉනෝකා සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල, චිත්‍රපට සංස්ථා සභාපති අශෝක සේරසිංහ, ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ යන මහත්වරුන් මුලසුන හොබවමින්.
වෙනස් වූ හැකියාවන් සහිත ‘සිහිනය’ රියැලිටි වංශ කථාවේ අත්දැකීම සඳුදාවකම
ජීවිතයේ සොඳුරු තාරුණ්‍යය, අභිමානවත් හා වින්දනාත්මකව පවත්වාගෙන යාම සඳහා ඔවුන්ගේ කලා කුසලතාවන් ඔප් නැංවීමට ජාතික තරුණ සේවා සභාව ආරම්භ කළ ‘සිහිනය’ රියැලිටි වැඩසටහන ශ්‍රී ලාංකේය රියැලිටි වංශ කතාව නවමු දිශාන්තයකට යොමු කරමින් සෑම සඳුදා දිනකම රාත්‍රී 9.00 ට සී. එස්. එස්. නාලිකාව ඔස්සේ විකාශනය කෙරේ. ස්වභාව දහමෙන් උරුම වූ බාහිර ආබාධිත බව නිසා සමාජයේ අඩු අවධානයකට ලක් වූ යෞවන යෞවනියන් වෙනුවෙන් පැවැත්වෙන මෙම වැඩ සටහන ඔවුන්ගේ සිහින යථාර්ථයක් බවට පත් කළ එකම කලා මංගල්‍යයි. ලෝකයේ බොහෝ රටවල මෙන්ම අප රට ද ආබාධිත පුද්ගලයන්ට චක්වූයේ කුඩම්මාගේ සැලකිලිය. නිවෙසට හෝ ඔවුන් සඳහා වෙන් වූ ස්ථානයකට සීමා වූ ආබාධිත පුද්ගලයන් ඉන් එහා ලෝකය නොදකී. කැලේ පිපි මල් කැලයට පරවෙන්නා සේ ඔවුන්ගේ සහජ කුසලතා ද ඔවුන් සමඟ මිය යයි. මෙම තත්ත්වය වෙනස් කිරීමට ‘සිහිනය’ කදිම පිළිතුරයි. ඉංග්‍රීසි භාෂාවෙන් (Disable) යනු ‘කළ නොහැකි’ යන අර්ථය වුවත් අප ඔවුන් හඳුන්වනුයේ ඩිෆරන්ට් ඒබල් (Different Able) ‘වෙනස් වූ හැකියාවන් සහිත’ යනුවෙනි. ඒ අප විසින් සිදු කරන සියලු කාර්යයන් අපට වඩා වෙනස් වූ ආකාරයෙන් ඔවුන් ඉටු කරන නිසාවෙනි. වෙනස් වූ හැකියාවන් සහිත ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ සිහින සැබෑ කරමින් ඔවුන්ගේ නිසඟ කලා කෞශල්‍ය දෙස් විදෙස් ප්‍රේක්ෂකයා වෙත සම්ප්‍රේෂණය කිරීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව තැනූ මෙම දැවැන්ත වේදිකාව හරහා දක්ෂතම ගායකයින්, වාදකයින් මෙන්ම නර්තන ශිල්පීන් ද හෙට දවසේ අභිසෙස් ලබනු ඇත. ‘සිහිනය Beyond the Reality වැඩසටහන සැබවින්ම පියවි ලොකයේ දිග හැරෙන යථාර්ථයයි. ඔවුන්ගේ සහජ කලා කුසලතා දකින්නට, අසන්නට අප වාසනාවන්තයන් වුව ද, ඒ තුළ ඇති සංවේදී බව ඇසට කඳුළු එක් කරන්නට සමත් විය. කිසි දිනක කනින් නො ඇසූ පසුබිම් ගීතයකට වේදිකාව මත ඉදිරිපත් කළ රංගනය දෙසවන් හොඳින් ඇසෙන අයෙකුටත් විටෙක අපහසු වනු ඇත. දෑස් නොපෙනුණත් රිදී හඬින් ඔවුන් ගැයූ ගීතය ප්‍රේක්ෂකාගාරය පමණක් නොව විනිශ්චය මණ්ඩලය ද පුදුමයටත්, සතුටටත් පත් කිරීමට සමත් විය.උපතින් දෑත්, දෙපා අහිමි වූවන් ඔවුන්ගේ ගායන, වාදන හැකියාව ඒ සියල්ල අභිබවාලන්නට තරම් විය. රෝද පුටුවක හිඳ මුළු ප්‍රේක්ෂකාගාරයම අසුරු සැනෙකින් තමන්ට නතුකර ගන්නට තරම් ඔවුන් දක්ෂතාවන්ගෙන් පරිපූර්ණය. මෙහිදී ගායන, වාදන හා නර්තන අංශයේ සුපිරි කිරුල හිමි කර ගන්නා තරගකරුවන් තිදෙනාට මෙන්ම, මන්ද මානසික තරුණ තරුණියන්ගේ ප්‍රථම ස්ථානයට රුපියල් ලක්ෂ 5 බැගින් ත්‍යාග හා සම්මාන සහතික ලබාදේ. එමෙන්ම එඩිතරව, නොසැලී, අභියෝග භාර ගනිමින් තරගාවලියට සහභාගී වූ සියලු තරගකරුවන් සඳහා ද ඔවුන්ගේ එම කැප කිරීම අගය කිරීම් වස් සහතිකයක් පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත.
|