|
||
සෙනසුරු මාරුව නිෂ්පාදක ඕස්ට්‍රේලියාවේදී මිය යයි
ඒ වෙනුවෙන් උදයකාන්ත වර්ණසූරිය, එහි සම නිෂ්පාදක ඇතුළු කිහිප දෙනෙක් ඕස්ට්‍රේලියාව බලා පිටත්වුණත් එහි දී ඉතා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවුණා. සෙනසුරු මාරුව චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයා වූ රංජිත් ජයසූරිය හදිසියේ ඕස්ට්‍රේලියාවේ දී අභාවප්‍රාප්ත වීම ඔවුන් සියලු දෙනාට ගෙන ආවේ වේදනාවක්. ඒ මොහොත උදයට දැනුණ අයුරුයි මේ. ඕස්ට්‍රේලියාවේ E C C පදනමේ ආරාධනාවකට අනුව සෙනසුරු මාරුව චිත්‍රපටයේ සම නිෂ්පාදකවරුන් ලෙස මම, රංජිත් ඇතුළු තවත් දෙදෙනෙක් ඕස්ට්‍රේලියාවට ගියා. එහිදී නගර කිහිපයක සෙනසුරු මරුව තිරගත කෙරෙන්නට නියමිතව තිබුණා. ඒවන විටත් රංජිත් යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයකින් තමයි හිටියේ. පසුගිය 29 වැනිදා උදේ රංජිත්ට අසනීප තත්ත්වයක් ඇතිවීම නිසා අප ඔහුව වහාම රෝහල්ගත කළා. එදා තමයි සෙනසුරු මාරුව ප්‍රථම වරට තිරගත වන්නටත් නියමිතව තිබුණේ. මොළයට ඇති වූ දරුණු ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඒ අවස්ථාවේදී රංජිත් සිහිසුන්ව තමයි හිටියේ. වෛද්‍යවරුන් කිව්වේ යහපත් තත්ත්වයට පත් කරන්නට අපහසුයි කියලා.
පසුව රංජිත්ගේ අභාවයේ පුවත නිවෙසට දැනුම් දීමෙන් අනතුරුව දේහය ලංකාවට ගෙන ඒමට කටයුතු සූදානම් කළා. එය ඉතා භාරදූර කටයුතක් වුනත් දින තුනක් ඇතුළත දේහය ලංකාවට රැගෙන එන්නට හැකියාව ලැබුණා. ඇත්තටම ඒ මොහොත මගෙ ජීවිතේ අමතක කළ නොහැකි දුක්ඛදායී මොහොතක්. අපේ මිතුදමට වසර 15 ක් විතර වෙනවා. මගේ ගිනි කෙළි සහ ගිනි අවි චිත්‍රපටයට තමයි රංජිත් මුලින්ම දායක වුණේ. ඔහුව මට හඳුන්වා දුන්නේ සහාය අධ්‍යක්ෂවරයකුවන ඩොනල්ඩ් ජයන්ත. රංජිත් මා සමඟින් චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළා. ඔහු හොඳ ව්‍යපාරිකයෙක් වගේම යහපත් අවංක මනුස්සයෙක්. රංජිත් මේවන විට චිත්‍රපට රැසකට නිෂ්පාදනයෙන් දායක වුණා. ඒක සිනමා ක්ෂේත්‍රයට සිදු කළ විශාල සේවයක්. බහු භාර්යා, රාජ්‍ය සේවය පිණිසයි චිත්‍රපට සඳහා නිෂ්පාදනයෙන් මෙන්ම ලේ කිරි කඳුළක්, රන් කෙවිට 1, රන් කෙවිට 2, සෙනසුරු මාරුව සඳහා සම නිෂ්පාදනයෙන් දායක වුණා. දැහැන, දේදුනු වැස්ස වැනි චිත්‍රපට වෙනුවෙනුත් ඔහුගේ නිෂ්පාදන දායකත්වය ලැබුණා. බොහෝ දෙනෙක් චිත්‍රපට නිෂ්පාදනයෙන් ඈත්වන කාලයක රංජිත් ගෙන් සිනමා කර්මාන්තයට විශාල සේවයක් ඉටු වුණා. ඔහුගේ මෙම හදිසි අභාවය ක්ෂේත්‍රයට විශාල පාඩුවක්.
සුමිත් මුදන්නායකගේ නිවුන් දරුවන් විවාහ වූදා
ප්‍රවීණ සටන් අධ්‍යක්ෂවරයකු වන සුමිත් මුදන්නායකගේ නිවුන් දරුවන් දෙදෙනාගේ විවාහ උත්සවයන් පසුගියදා ගෝල්ෆේස් හෝටයේදී පැවැත්විණි. දිනේෂ් බණ්ඩාර මුදන්නායක (පුතා) ඉරේෂා ගුණරත්න සමඟ ද සුමුදු බණ්ඩාර මුදන්නායක (දියණිය) නිවන්ත යශින් කන්දෙගම සමඟ ද අතිනත ගත්හ. මෙම අවස්ථාවට ශ්‍රියාණි අමරසේන, ක්ලීටස් මෙන්ඩිස්, ආතර් යූ. අමරසේන, දයාරත්න රටගෙදර, සුගත් සමර කෝන්, විල්සන් කරු, ටෙඩි විද්‍යාලංකාර, සුනන්ද වීරසිංහ, සුජිත් ගුණරත්න, රංජන් කුමාරසිංහ, නිමන්ති පෝරගේ, ප්‍රභාත් රොෂාන්, ලාල් කුමාර ඇතුළු පිරිසක් සහභාගි වූහ. මෙහි විශේෂත්වය වූයේ ඔහුගේ නිවුන් පුතු සහ දියණියගේ විවාහ උත්සවයන් දෙකම එකම දින එකම ස්ථානයකදී පැවැත්වීමයි. - යතේජා
|
||