වර්ෂ 2012 ක්වූ අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




ලිපියක් ලියන්නට කෑගල්ලේ නිදි මැරුවා

ලිපියක් ලියන්නට කෑගල්ලේ නිදි මැරුවා

නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙන ගන්නා අවධියේදී මම රචනාවක් ලිව්වෙමි. එදා මගේ පන්ති භාර ගුරුතුමා වූයේ ප්‍රවීණ ගත් කතුවර කේ. ජී. කරුණාතිලක මහතාය. රචනාවේ මාතෘකාව වූයේ ‘අනාගතයේ අපගේ බලාපොරොත්තුවයි’.

අපි රචනාව ලිවීම ඇරැඹුවෙමු. සියලු සිසුන්අතරින් තිදෙනකුගේම රචනාව සඳහා මාතෘකාව වී තිබුණේ එකම දෙයකි. ඒ තිදෙනාගේම ආශාව වී තිබුණේ පත්‍රයක උප කර්තෘවරයකු වීමය. එදා ඒ ළමයින් තිදෙනා වූයේ මාත්, තිලකරත්න කුරුවිට බණ්ඩාරත්, කරුණාරත්න අමරසිංහත්ය.

අපි තිදෙනාගේම සිහිනය වූයේ කවදා හෝ පත්‍ර උප කර්තෘවරයකු වීමය. ඒ අනුව තිදෙනාම එකිනෙකාට නොදැන ලියා තිබුණේ එකම කාරණයකි. මේ විශේෂත්වය දුටු අපේ පන්ති භාර කේ. ජී. කරුණාතිලක ගුරු පියාණන් අපූරු කතාවක් කීවේය. ඒ අවධියේ ලේක්හවුස් ආයතනයේ දිනමිණ පත්තරයේ උප කතුවරයකු වීමට සිහින මවා සිටි අපි තිදෙනාට මාස්ටර් පැවසූ අපූරු කතාව අද වගේ මට මතකය.

මමත් ඔතනට ගිහිල්ලා තමයි මේ ඇවිත් ඉන්නේ. එතන ඉන්න පුළුවන් තැනක් නෙමෙයි. මඩ වලක්. ආශාවල් කාටත් කොතෙකුත් තියනවා. මටත් ඒ ආශාව තිබුණ නිසයි ගියේ. කැපිලි කෙටිලිත් එහෙමයි. බැරිම තැන මම දාල ආව.

ඔය ළමයිනුත් ආශාවල් තිබුණට ගිහින් අමාරුවෙ වැටෙන්න එපා. මම ඒ දුක වින්ද නිසයි මෙහෙම කියන්නේ. එතන වැඩ කරන එක තමන්ගේ අතින් තමන්ම බෙල්ල කපා ගන්නව වගේ වැඩක්.’

එදා එතුමන් අපේ රචනා දැක එබඳු දෙයක් අපිට කිව්ව ද අපේ හදවත් ඉන් සැලුණේ නැත. තරුණකමත් එක්ක තිබුණු ජවයත්, ආශාවත් නිසා කෙසේ හෝ පාසලේ අධ්‍යාපන කටයුතුවලින් පසු ලේක්හවුසියට බැඳිය යුතුය යන දැඩි අධිෂ්ඨානය මා තුළ තිබුණි. පැමිණි දුක් පැණි රසයි කිව්වා සේ ඕනෑම දුකක් විඳගෙන කාගෙන ඉන්නවාය කියා සිතාගෙන මම පාසලෙන් අස්වීමත් සමඟ ලේක්හවුස් ආයතනයේ පත්‍ර කලාවේදියෙක් වීමට ඉල්ලුම්පතක් ඉදිරිපත් කළෙමි.

ඒ අනුව තරඟ විභාගයකින් හා සම්මුඛ පරීක්ෂණයකින් සමත් වී මා හට ලේක්හවුස් ආයතනයට පැමිණීමේ වරම හිමි විය. සිරි රණසිංහ දිනමිණටත්, මෙරිල් පෙරේරා ජනතා පත්තරයටත්, මා සරසවිය පත්තරයටත් පැමිණියේ එකම දිනයේය.

ඒ 1965 වසර විය. ඒ කාලයේ සරසවිය පත්තරයේ කර්තෘවරයා වූයේ විමලසිරි පෙරේරා මහතාය. මුලින්ම සරසවියට ආ දවසේ මා සිතුවේ විමලසිරි පෙරේරා මහතා මාව මේ පත්තරයට තෝරා ගත් පුද්ගලයා කියාය. ඒ වැටහීම නිසාම මම බොහෝ ගෞරවයෙන් යුතුව ඔහු දෙන වැඩ කිරීමට සිතා ගත්තෙමි.

එකල සරසවිය සිනමා පත්තරයක් පමණක්ම නොවීය. සාහිත්‍ය, සමාජ ප්‍රශ්න, කවි, ජ්‍යෝතිෂය, මැහුම් ගෙතුම් මේ හැම දෙයකින්ම පිරි ගැඹුරු සාර්ගර්භ ලිපිවලින් පෝෂිත පත්තරයක් විය.

මා තරුණයකුව සිටි නිසාමදෝ විමලසිරි පෙරේරා මහතා තාරුණ්‍යය ගැන ලිපි පෙළක් මා හට මුලින්ම භාර කළේය. සතියකට සැරයක් මැද පිටුවේ මේ විශේෂාංගය පළ කිරීම විමලසිරි පෙරේරා මහතාගේ සිරිත විය.

ඔහු විසින් නම් කරන පුද්ගලයන් සොයා ගොස් කතාබහ කොට සාර්ථක ලිපියක් ලිවීම මා බොහොම ආශාවෙන් කළ දෙයක් විය. යූ. කේ. එඩ්මන්ඩ්, ලීල් ගුණසේකර, ජී. බී. සේනානායක, ගුණදාස අමරසේකර, කෝකිල දේවි වීරතුංග, ඩී. එම්. කොළඹගේ, හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න ආදීන් මා මේ විශේෂාංගය සඳහා එකතු කර ගත්තා මතකය.

කිසිම අවස්ථාවක මා විමලසිරි මහතා දෙන වැඩක් බැහැ කියා නැත. එක් වරක් මා ගුණදාස අමරසේකර සමඟ සාකච්ඡාවක් සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ගියේය. ලීල් ගුණසේකර එවකට සිටියේ කෑගල්ල දිසාපති හැටියටය. මා ඔහුව සොයා ගිය ද එදා ඒ අවස්ථාව මට නොලැබිණි.

ඒත් එම උත්සාහය අත් නොහැරියෙමි. ඔහුගේ නිල නිවාසය අසල කඩයකින්රොටියක් කා ප්ලේන්ටියක් බී කුසගින්න නිවාගෙන ඒ කඩයේ අගුපිලේ තිබූ බංකුවක නිදා ගනිමින් රැය පහන් කළෙමි. පසුදා උදයේම ලීල් ගුණසේකර හමු වී සාකච්ඡාවට එකතු කර ගත්තෙමි. වරක් නූතන සාහිත්‍ය පිළිබඳ ජී. බි. සේනානායක මහතා හමු වී සාකච්ඡා කිරීමට මට පැවරුණි.

ඒ අනුව මම ඔහු සොයා ගියෙමි. ඔහු ඉතා සැර පරුෂ පුද්ගලයෙක් ලෙස මම අසා තිබිණි. ඔහුත් සමඟ සාකච්ඡාව යන අතරේ ජී. බී. සේනානායක පෙරලා මගෙන් ඔබ කර්තෘ මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙක් ද කියා ඇසීය. ඒ වන විට මා සිටියේ සේවා පරිවීක්ෂා කාල පරිච්ඡේදයේය. ඒ බව ඔහුට පැවසීමෙන් පසු ඔහු කෝප ගත්තේය.

ස්ථිර සේවකයෙක් නොවීම ගැන උරන වූ ජී. බී. ඔය බවක් කලින් දන්නව නම් ඔබට සාකච්ඡාවක් දෙන්නේ නැතැයි පැවසුවේ කෝපයෙනි. මෙවැනි දුක්බර සිදුවීම්, කටුක අත්දැකීම් මධ්‍යයේ මගේ ලිපි සම්පාදනය ඇරැඹුණි.

විමලසිරි මහතා මට තවත් කටයුත්තක් පවරා තිබුණි. ඒ මා ලියන ලිපි පත්තරයේ පළ වූ පසු ඒ පුද්ගලයන්ට පත්තරයක් ගෙන ගොස් දීමය. කොළඹ අවට සිටි අය වෙත එය ගෙන ගොස් දුන්න ද දුරබැහැර වෙසෙන අය වෙත ගෙන යාම නොකෙරුවේ ගමන් දුෂ්කරතා නිසාමය. සමහර විට මා ඒ අවස්ථාවල පත්තරය තැපෑලෙන් යැව්වා මතකය.

සෑම සතියකම මම සමාජ ප්‍රශ්නයක් පිළිබඳ ලිපියක් ද ලිව්වෙමි. මම යාචකයන් පිළිබඳ ඔවුන් සමඟ කතාබස් කොට ලිපියක් ලිව්වෙමි. ඒ සඳහා විමලසිරි මහතා ‘ඒත් අපේ මිනිස්සු, මේත් අපේ මිනිස්සු’ නමින් හෙඩිමක් දමා ලිපිය පළ කළේය.

වෙනත් අය නොසිතන පැති මාතෘකා ඔස්සේ ලිපි ලියවීමට විමලසිරි මහතා අපව නිතර යොමු කළේය. වෙන පත්තරකාරයෝ නොසිතන පැති නිසාමද කොහෙදෝ සරසවිය දිනෙන් දින ජනප්‍රිය විය.

එවක හින්දි ගී තනු සඳහා දේශීය සංගීත කලාව යට වී තිබූ අවධියක හඳපාන චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ සිසිර සේනාරත්න පිළිබඳ මම ලිපියක් ලිව්වෙමි. එය විමලසිරි මහතා ‘දෙමළ හින්දි තනු නිවන්න හඳපානෙන් සිසිර’ නමින් හෙඩිමක් යොදා සරසවියේ පළ කළේය.

මා සරසවියට පැමිණි පසු ලියූ මුල්ම ලිපිය වුයේ කාන්තාවන් ගැනය ඒ සඳහාවිමලසිරි මහතා හෙඩිම දැම්මේ ‘මෙවන් අවසර තැන ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන’ නමිනි. එකල පළ වන පොත් පිළිබඳ හඳුන්වා දීමක් කළේ මවිසිනි.

කොළමක ප්‍රමාණයේ වූ එම හඳුන්වා දීම සඳහා මා වෙත විමලසිරි මහතා පොත් ලබා දුන්නේය. ඇරැව්වල නන්දිමිත්‍ර, කරුණාරත්න අබේසේකර, මු. අරුක්ගොඩ, කරුණාරත්න සපුතන්ත්‍රි, ලැටීෂියා බොතේජු, සිබිල් වෙත්තසිංහ ආදී බොහෝ දෙනෙකුගේ පොත්පත් පිළිබඳ හඳුන්වාදීමක් සරසවියට කළේ මවිසින්ය. විමලසිරි මහතා හැරුණු විට ආර්. ඩී. ගුණරත්න මහතා සරසවියේ ස්ථිර සේවකයෙක් විය.

ඒ හැරෙන්නට වෙනත් අයකු සරසවියේ ස්ථිර සේවයේ සිටියා ද යන්න මා හට මතක නැත. බොහෝ අය සරසවියට දැක් වූයේ සහෝදර හැඟීමෙන් යුතුසේවයකි . එඩ්මන්ඩ් පෙරේරා ඒ වකවානුවේ සරසවියට සිනමා තොරතුරු ලිව්වේය.

චිත්‍රාගාරය වටේ නමින් ඔහුගේ ලිපිය සරසවියේ පළ වන විට මා ඔහුට කිව්වේ එඩ්මන් චිත්‍රගාරය වටේ නොවෙයි ඇතුළට ගිහින් ලියපන් කියාය. ජන ආකර්ෂණීය රචනා කලාවක් මා තුළ ඇතැයි යනුවෙන් නිතර මාව දිරිමත් කළ විමලසිරි මහතා මට නොයෙකුත් මාතෘකා දෙමින් ලිපි සපයා ගත්තේය.

සරසවියේ පරිවීක්ෂා කාලය තුළ මා හට මාසික වේතනය ලෙස ලැබුණේ රුපියල් එකසිය විසි පහකි. එකල තනිකඩයකු වූ මට ඒ කාලයේ එම මුදල ජීවත්වීමට හොඳටම ප්‍රමාණවත් විය. මා නැවතී සිටියේ බම්බලපිටියේ කඩයක උඩ තට්ටුවේ කාමරයකය.

එම කාමරය චීප් බෝඩ්වලින් සකස්කර කෑලි තුනකට වෙන් කර තිබුණි. මා සිටියේ මැද කොටසේය. දෙපසින් ඇති කාමර දෙකේ සිටියේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්නා සිසුන් දෙදෙනෙකි. එතන සිටි අය අතුරින් වැටුපක් ලැබුණේ මටය.

මා කාමරයේ සිටින විට වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ කටයුත්ත වූයේ මගෙන් අතමාරු ඉල්ලීමය. නැතහොත් සිගරට් ඉල්ලීමය. භාගෙට ගසා තිබුණු චීප් බෝඩ් උඩින් මා ඉල්ලන පැත්තට සල්ලි විසි කිරීමත්, සිගරැට් විසි කිරීමත් නිතරම කළෙමි.

මම නුගේගොඩ පදිංචිව සිටින මුල් කාලයේදී හෙළ කලා කෙත නමින් සංගමයක් ආරම්භ කොට එහි ක්‍රියාකාරී සාමාජිිකයෙක්ව සිටියෙමි. සුනන්ද මහේන්ද්‍ර, පියසිරි නාගහවත්ත, කරුණාරත්න අමරසිංහ, බණ්ඩාර කේ. විජේතුංග, දයාරත්න රණතුංග මේ හැමෝම එහි සාමාජිකයෝ වූහ. මේ සංගමය නිසා මා බොහෝ කලාකරුවන් දැන හැඳිනගෙන තිබුණි. ඒ හඳුනාගෙන තිබීම මට සරසවියේ වැඩ කිරීම තවත් පහසු කළේය.

ඉතිරි කොටස ලබන සතියේ