වර්ෂ 2012 ක්වූ අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




එදා හැමෝටම හිනා ගියා මට ඇඬුණා

එදා හැමෝටම හිනා ගියා මට ඇඬුණා

චතුරංග තේනුවර

‘පුංචි කාලෙදිත් මගේ විනෝදාංශය කියවීම. ඒ කාලේ සිටම මම පොත් පත්තර කියවන්නට පුරුදු වුණා. ඒ වගේමයි සිංදු කියන්න, රඟපාන්නත් මම ගොඩක් ආස කළා. ළමා වියේදී නිවේදකයෙක් වෙන්න හීන මැව්වේ නැතත් ගායකයෙක් වෙන්න නම් ලොකු උනන්දුවක් තිබුණා.’

මෙහෙම කියන්නේ ඔබ දන්න හඳුනන ගායකයෙක් නම් නෙවෙයි. ගායන හැකියාවත් තියෙන නිවේදකයෙක්. වැඩි දෙනෙක් ඔහුව හඳුනන්නේ රයන් කියල. මේ දිනවල රන් එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාව ඔස්සේ උදෑසන රන්මල් දෝත ඔබට ගෙන එන ඔහු රංජුන චතුරංග තේනුවර.

ගායකයෙක් වෙන්න හීන මැව්ව ඔබ කොහොමද නිවේදකයෙක් වෙන්නේ?

මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කැලණිය ධර්මාලෝක විද්‍යාලයෙන්. ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වුණා. කලාවට ආසාව තිබුණත් උසස් පෙළ සඳහා ඉදිරිපත් වුණේ ගණිත අංශයෙන්. නමුත් පාසලේ මාධ්‍ය ඒකකය හා සම්බන්ධව කටයුතු කළා. එහිදී තමයි මගේ කටහඬ අඳුනා ගත්තේ. පසුව උසස් පෙළ හදාරන කාලයේදී මම පාසලේ ප්‍රධාන සිංහල නිවේදකයා ලෙස කටයුතුª කළා.

ඔබ වෘත්තීය වශයෙන් නිවේදකයෙක් වෙන්නේ?

ෂා එෆ්. එම්. එකේදී. උසස් පෙළ විභාගය ලියලා ගෙදර ඉන්න කාලෙදි මගේ අම්මා තමයි මාව මේ ක්ෂේත්‍රයට යොමු කළේ. ඒ අනුව මට එකම දිනයකදී මාධ්‍ය ආයතන 2 කින් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවුම් ලැබුණත් මම ඒ බී සී මාධ්‍ය ජාලයේ සම්මුඛ පරීක්ෂණයට තමයි මුහුණ දුන්නේ. ඒ අනුව මම ෂා එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාවේ නිවේදකයෙක් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළා. 2002 වසරේ රජ එෆ්. එම්. නාලිකාවට සම්බන්ධ වුණත් නැවත ෂා එෆ්. එම්. නාලිකාවට එක් වුණා. ඉන් පසුව 2007 වසරේදී තමයි රන් එෆ්. එම්. නාලිකාවට එක් වෙන්නේ.

ගුවන් විදුලි නාලිකාවක මුලින්ම වැඩසටහනක් ඉදිරිපත් කළ දවස මතකද?

මුලින්ම මම කිව්වේ පැයේ ප්‍රවෘත්තියක්. පසුව ෂා එෆ්. එම් නාලිකාවේ රාත්‍රී ගීත ඉල්ලීම් වැඩ සටහනක් වූ නයිට් රයිඩර් වැඩ සටහන ඉදිරිපත් කළා.

ඒක අමතක නොවන දවසක් වෙන්න ඇති නේද?

ඇත්තෙන්ම ඔව්. එදා රසවත් සිදුවීමක් වුණා. ඒ වැඩසටහනේදී තමයි මගේ නම රයන් විදියට වෙනස් වුණේ. එතෙක් එම වැඩසටහන ඉදිරිපත් කළ නිවේදකයා අසන්නන්ට මාව හඳුන්වලා දීලා ‘ගුඩ් මෝනිං රයන්’ කියලා කිව්වා. ඒ වෙලාවෙ මටත් ගුඩ් මෝනිං රයන් කියලම කියවුණා. මට හිතාගන්න බෑ මොකද වුණේ කියලා. ඒ වෙලාවේ මට කියන්න වචන ආවේ නෑ. පසුව එම නිවේදකයා මයික් එක ඕෆ් කරල සිංදුවක් විකාශය කරල මොකද වුණේ කියල ඇහුවා. ඒ වෙලාවෙ හැමෝටම හිනා ගියත් මට ඇඬුනා. එහෙම වුණත් ෂා එෆ්. එම්. නාලිකාවේ රයන් ගොඩක් ප්‍රසිද්ධ වුණා. අදත් බොහෝ දෙනා මට කතා කරන්නේ රයන් කියලා.

රන්මල් දෝත ගැනත් කියමුද?

මේ දිනවල රන් එෆ්. එම්. නාලිකාව ඔස්සේ සතියේ දින පහේම උදෑසන 9.00 සිට 12.00 දක්වා මම ගයනි අබේවර්ධන සමඟින් රන්මල් දෝත ගෙන එනවා. ඒ ඔස්සේ හැම විටම අලුත් දේ අසන්නාට දෙන්න තමයි කටයුතු කරන්නේ. මෙම වැඩසටහනේ ඉලක්කය ගෘහණියන්. හැමදාම පෙර දවසේ වැඩසටහන සඳහා සැලසුමක් හදා ගන්නවා. ඒ වගේමයි සමීක්ෂණ වාර්තාවේ . ඉදිරියට වැඩසටහන ගෙන ඒමට උපරිම කැපවීමෙන් කටයුතු කරනවා.

රූපවාහිනි මාධ්‍යයේදී ප්‍රේක්ෂකයා නිවේදකයා දකිනවා. නමුත් ගුවන් විදුලියෙන් හඬ පමණයි ඇහෙන්නේ. ඔබ සිතන පරිදි ගුවන් විදුලි නිවේදකයාට මෙය අභියෝගයක්ද?

මම එහෙම හිතන්නේ නැහැ. ගුවන් විදුලි මාධ්‍ය ජනතාවට සංවේදී මාධ්‍යයක්. රූපය නැති වුණාට හඬ මෙහිදී ප්‍රබල වෙනවා. එහිදී විශ්වාසය තමයි වැදගත් වෙන්නේ. ඒ වගේමයි නවීන තාක්ෂණය හා දියුණුව සමඟ රුපවාහිනිය හා පරිගණකය සමඟ ගැවසෙන පිරිස අඩු වෙමින් පවතිනවා. ඒවා දැන් ජංගම දුරකථනය දක්වා ව්‍යාප්ත වීම මෙයට මූලික වෙලා තියනවා. නමුත් ගුවන් විදුලි මාධ්‍යයට මෙම වෙනස්වීම දැඩි ලෙස බලපාන්නේ නෑ.

ඔබ හිතන පරිදි නිවේදකයෙක් කියන්නේ?

කටහඬට වඩා සංකීර්ණ කාර්යභාරයක් ඉටු කරන පුද්ගලයෙක්. එහිදී බුද්ධිය ඉතා වැදගත් වෙනවා. ආවට ගියාට හැම දේම කියන්න බෑ. වචන තෝරලා බේරල ගැනීමෙන් කතා කරන්න ඕන. ඒ වගේමයි අසන්නා දැනුවත් කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් නිවේදකයා බුද්ධිමත් විය යුතු වෙනවා.

මම නම් දකින්නේ නිවේදකයා හා පිස්සෙක් අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක් කියලා. පිස්සෙක් අතට හසු වන හැම දේම එකතුª කරනවා. නිවේදකයාත් තොරතුරු බුද්ධිමත්ව එකතු කළ යුතු වෙනවා. ලිපි, පත්තර ආදී කියවන්න පුළුවන් හැම දේම. නිවේදකයා ඒ මගින් ප්‍රයෝජනයක් ගත්තත් පිස්සෙක් එහෙම කරන්නේ නෑ. ඒ වගේමයි හැම දේම කියවනවා වගේම හොඳ දේ ග්‍රහණය කරගෙන වැරැදි දේ අවබෝධ කරගත යුතු වෙනවා.

නිවේදකයෙක් විදියට ක්ෂේත්‍රයේ ප්‍රවිණයන්ගෙන් සහ පවුලේ අයගෙන් ලැබෙන සහාය කොහොමද?

විශේෂයෙන් සඳහන් කරන්න ඕන වසන්ත කරුණාරත්න. ඔහු මට ක්ෂේත්‍රයට පැමිණි දා සිටම මගේ ප්‍රධානියා විදියට මට ගුරුහරුකම් ලබා දුන්නා. අදටත් එහෙමයි. ඒ වගේමයි ක්ෂේත්‍රයේ මට මුණ ගැසුණු හැමෝගෙන්ම මම මොනව හරි ඉගෙන ගත්තා. ප්‍රවීණයන්ගෙන් හැම වෙලේම මට හොඳ සහයෝගයක් ලැබුණා. මේ අවස්ථාව මට ලැබිලා තියෙන්නේ මගේ අම්මා නිසා. ඇය තමයි මාව මේ සඳහා යොමු කළේ. ඒ වගේමයි තාත්තා, නංගි, මල්ලි සහ මගේ මිතුරන්ගෙනුත් ලැබෙන්නේ විශාල සහයෝගයක්. මේ සියලු දෙනාගෙන් ලැබෙන විවේචන මට ගොඩක් වටිනවා.

ඔබගේ අනාගත බලාපොරොත්තු?

මේ වන තුරු මම ප්‍රයෝජන ගත්තේ මගේ නිවේදන හැකියාවෙන් විතරයි. මා සතුව ගායන හැකියාව වගේම රංගන හැකියාවත් තියෙනවා. පුංචි කාලේ හීනය වුණෙත් ගායකයෙක් වෙන්න. මා ඉදිරියේදී මියුසික් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. රඟපෑම ගැනත් හිතල බලන්න ඕන. මගේ ලොකුම දුර්වලකම තමයි අලසකම. මම හරිම කම්මැලියි දෙයක් කරන්න. ඒකට කවුරු හරි තල්ලු කරන්නම ඕනෑ.

චතුරංග තේනුවර කියන්නේ?

මිනිසුන්ට ආදරය කරන මනුස්සයෙක්.