වර්ෂ 2012 ක්වූ අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




එදාට වඩා අද වට පිටාවේ පාට වෙනස්

එදාට වඩා අද වට පිටාවේ පාට වෙනස්

රූකාන්ත, චන්ද්‍රලේඛා සමඟ රෙනි, වින්ඩි අලුත් ආරක ගී ප්‍රසංගයක් 11 සවස 7.00 ට සුගතදාස ක්‍රීඩාංගනයේදී

ජනකාන්ත, මනකාන්ත, රූකාන්ත . . .

ඒ වරෙක ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් මේ සොඳුරු මිනිසා අපට හඳුන්වා දුන් අයුරුය. අමරදේවයන් පැවසූ පරිද්දෙන්ම රූකාන්ත යනු සැබෑම ජනකාන්තයෙකි.

මාරියෝ ග්ලෝරි රූකාන්ත ගුණතිලක එසේ ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් බවට පත් වූයේ රූකාන්ත ගුණතිලක නමිනි.

ගී පද රචනයෙන්, තනු නිර්මාණයෙන්, වාදනයෙන්, සංගීත අධ්‍යක්ෂණයෙන් මතු නොව මියුරු ගායනයෙන් ද අපේ ගී ලොව වර්ණවත් කළ රූකාන්ත අභිනව පරපුරක පුරෝගාමී සංගීත ශිල්පියා ලෙස ද සැළකේ.

රූකාන්ත, චන්ද්‍රලේඛා සමඟ ෙරෙනි, වින්ඩි දියණියන් ගී ගයන සුවිශේෂී ප්‍රසංගයක් මෙම 11 වැනිදා රාත්‍රී 7.00 ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. රූකාන්ත මෙසේ අප හා සංවාදයකට එක්වන්නේ එය නිමිති කරගෙන වුව ද මෙය ඉන් ඔබ්බට ගිය සොඳුරු කතිකාවක් ද වේ.

ඔබේ ගී ප්‍රසංගයෙන්ම අපි මේ කතාබහ අරඹමු?

අපි අවුරුදු තුනකට පස්සේ ලංකාවේ කරන ප්‍රසංගය මේ. ගිය සැරේ පවත්වපු ‘රූ සඳ රෑ’ ප්‍රසංගය ඉතාමත් සාර්ථකයි. අපි මෙවර ප්‍රසංගය ඉදිරිපත් කරන්නේ ‘රූකාන්ත, චන්ද්‍රලේඛා ලයිව් ඉන් කොන්සර්ට් ෆීචරින් ෙරෙනි ඇන්ඩ් වින්ඩි’නමින්. මේ සැරේ වින්ඩිත් සිංග් කරනවා තනියෙන්. එතකොට අපි හතර දෙනාට අමතරව අතුල අධිකාරි, නෙලූ අධිකාරි සහ මගේ මිත්‍ර ජෝ විසිදාගමත් ප්‍රසංගයට ගායනයෙන් දායක වෙනවා. ගීත තිස් පහක් විතර ඇතුළත් වෙයි.

එතකොට මෙහි සංගීතය සපයන්නේ?

මගේ අධීක්ෂණය යටතේ ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය මම බාරදීලා තියෙනවා සුරේෂ් මාලියද්දට. මොකද සුරේෂ් අපිත් එක්ක විවිධ රටවල සංචාරය කර තිබෙනවා. ඔහු දන්නවා මොකක්ද වෙන්න ඕනේ කියලා. හුඟ දෙනෙක් අහනවා ගියවර ප්‍රසංගයේ ගැයූ ගීතමද මෙවරත් ගායනා කරන්නේ කියලා. ඇත්තටම ඒ ගීතත් යම් ප්‍රමාණයක් තියෙනවා. එහෙම කරන්නේ ගීත මදිකමක් නිසා නෙවෙයි. සිංදු ඕනෑ තරම් තියෙනවා. නමුත් එදා වගේම අදත් මිනිස්සු එක වගේ අහන්න කැමැති ගීත තියෙනවා.

උදාහරණයක් විදිහට ගීත කිහිපයක් සඳහන් කළොත්?

රේණු, රේණු මල් මිටේ රේණු, බඹර පහස, දේදුණු පාටයි මුහුණ ඔබේ, අනන්ත සාගරේ, උකුලට නාවත්, අංගනාවෝ වගේ ගීත ඒගොල්ලන්ට අදටත් අහන්න ඕනෑ. ඒ හින්දා ඒවා අපිට කියන්නම වෙනවා. ඒවා ජනසතු වෙලා වගෙයි තියෙන්නේ. නමුත් ගිය සැරේ වගේ නෙවෙයි අපි ඒ ගීතවල යම්, යම් දේවල් වෙනස් කර තිබෙනවා. සිංදුව ඇතුලේ පාටවල් වෙනස් කර තිබෙනවා. ශබ්ද පරිපාලනයෙන් පවා මේ ප්‍රසංගය අපි ඉදිරිපත් කරන්නේ නැවුම් වෙනසකින් යුතුව. මලින්ද ලෝ තමයි ශබ්ද පරිපාලකයා විදිහට කටයුතු කරන්නේ. ඔහුගේ දායකත්වය අපට ලොකු ශක්තියක්.

ඔබ මෙහි ඇතැම් ගිතවල පාට වෙනස් කර තිබෙන බව පැවසුවා. ගායනයේදී මෙන්ම සංගීත රචනයේදීත් ඔබ නිතර එවැනි වෙනස්තම් සිදු කරනවා. එයින් මුල් නිර්මාණයට යම් ආලෝකයක් එක් වෙනවාද? නැතිනම් මොන වගේ දෙයක් ද ඔබ බලාපොරොත්තු වෙන්නේ?

මේ වෙනස සිදු වන්නේ පෆෝමන්ස් එකක් නිසා. සීි. ඩී. එකකට නෙවෙයිනේ අපි මේ ගීත ගායනා කරන්නේ. රසිකයෝ මේ ගී රස විඳීන්නට එන්නේ ප්‍රසංගයකට. ඉතින් අනිවාර්යයෙන්ම ඒ ප්‍රසාංගික ගුණය ඉස්මතු වෙන විදිහටයි අපි නිර්මාණ ඉදිරිපත් කළ යුත්තේ. මම ‘බඹර පහස’ ගීතය හැදුවේ 1985 දී. ඒක එළියට දැම්මේ 1988 දී. අද මම ඒ ගීතයට සංගීතය සැපයුවා නම් ඊට වඩා ටිකක් වෙනස් වෙන්න තිබුණා.

නමුත් අර මුල් ගීතයට, එහි නාද රටාවන්ට කැමැති අය අදටත් ඉන්නවනේ. ඒ නිසා ඒ දෙකටම මැද්දෙන් තමයි මම මේ වෙනස්කම් සිදු කළේ. අර කලර් එක වෙනස් කළේ. ප්‍රසංගයට එන අයට පොඩි ගැම්මක් එන විදිහට ඒ ට්‍රීට්මන්ට් එක දුන්නට අර මුල් ගීතය විකෘති කළෙත් නැහැ.

‘බඹර පහස’ අද හැදුවා නම් වෙනස් සංගීත නිර්මාණයක් කරන බව ඔබ කිව්වා. එවැනි නිර්මාණ ඔබ බිහි කළේ වසර විසි පහකට පමණ පෙර. ඒ කියන්නේ ඔබේ සංගීතමය ඥාණය අද වඩාත් දියුණු මට්ටමක තියෙනවා කියලද?

දියුණු කියන වචනය භාවිත කරන්න මම කැමැති නැහැ. මොකද ‘බඹර පහසේ’ තියෙන්නේ නොදියුණු සංගීතයක් නෙවෙයි. අපි කියමු කළු පාට ඩ්‍රෝවින් පොතක චිත්‍රයක් අඳිනවා කියලා. එතකොට කළු චෝක් එකක් පාවිච්චි කරන්නේ නෑනේ. එදා තිබුණ වටපිටාව කළු පාට නම් මම පාවිච්චි කරලා තියනවා රතු, නිල්, කහ වගේ පාට. අද වටපිටාවේ පාට වෙනස්. එතකොට මම පාවිච්චි කරන පාටත් වෙනස් වෙන්න ඕනෑ. අද කළා නම් පොඩි පොඩි පාට වෙනස් කිරීම් ටිකක් මට කරන්න වෙයි. වැඩිය නෙවේ. චුට්ටක්.

එතකොට ඔබේ සංගීත චින්තනයේ මේ වෙනස්වීමත් එක්ක රසිකයෝ කොතනද ඉන්නේ?

මුල් කාලයේ මගේ රසිකයෝ මාත් එක්කම තාමත් ගමන් කරනවා. ඒ අය ගොඩක් දෙනෙක් අදත් බලාපොරොත්තු වෙන්නේ එදා මම කළ දේමයි. හැබැයි තව පිරිසක් ඉන්නවා ඒ අය ලෝකෙත් එක්ක යනවා. ඔවුන්ට ගැළපෙන, ඔවුන් ඉල්ලා සිටින නිර්මාණත් මම කරනවා. ඇත්තටම එවැනි රසිකයන් නිසා අපේ නිර්මාණශීලී බව තවත් අලුත් වෙනවා. අපිත් අප්ඩේට් වෙනවා කියලා මම හිතනවා. මගේ කොණ්ඩේ පැහිලා, නැතිනම් තට්ටය පෑදිලා, හම රැළි වැටිලා බොහොම වියපත් වුණ දවසක වුණත් එදාට ඉන්න තරුණ පරපුරට සංගීතය සපයන්න මම ලෑස්තියි. මට ගීත ගයන්න බැරි වුණොත්, හොඳ කටහඬක් හොයලා ගීත ගයවන්න මම ලෑස්තියි. මම නාකි වුණත් නිර්මාණකරනයේදී නාකි වෙන්නේ නැහැ.

කලකට ඉහත මට මතකයි, ඔබ ස්වයං වාරනයක් පනවගෙන තිබුණා කිසිවකුට ගීත හදන්නේ නැහැ කියා. නමුත් දැන් ඔබ අපට යම් ඉඟියක් දුන්නා. ඒ කියන්නේ ඔබ නැවතත් නව පරපුරට ගීත නිර්මාණය කර දෙන්න සූදානම්?

ඔව්, දැන් සතියකට උඩදී මම ඉතාලියේ ඉන්න මගේ මිතුරකුගේ දියණියකට ගීත කිහිපයක් සාදා දුන්නා. මම ඒක කරනවා. නමුත් ඒ සල්ලි ටිකක් හොයා ගන්න ඕනෑ කියන බලාපොරොත්තුවෙන් නෙවෙයි. එහෙම කරනවා නම් මහා පරිමානයෙන්, තොග වශයෙන් මට ගීත නිර්මාණය කරන්න පුළුවන්. එක වෙලාවක ඉඳගත්තම ගීත හත, අටක් හදලා නැගිටින වෙලාවල් තියෙනවා අදටත්. සිංදු කියන්න පුළුවන් අයටයි, බැරි අයටයි දෙගොල්ලටම මම සිංදු හදලා තියෙනවා. බෑ කියන්නේ බැරිම නෙවෙයි. නමුත් ගායන හැකියාවෙන් පහළ මට්ටමක ඉන්න අයට පවා.

ඒ කියන්නේ ඔබේ තනු නිර්මාණයට සාධාරණයක් ඉටු නොකරන අයට පවා?

ඔව්. ඒ වගේ අවස්ථාවලදී මම ඒ අයට ගීත ගායනා කළ හැකි පරාසයට අනුව තමයි ගී නිර්මාණය කරන්නේ. එතකොට එයාට සෙනඟ ඉස්සරහට ගිහින් වේදිකාවේ ගී ගයලා ෂේප් එකේ එන්න පුළුවන්. අර අපි කියන්න් ජාමේ බේරගෙන කියලා, ඒ් වගේ. හැබැයි ඉතින් එහෙම හදලා දීලත් කියා ගන්න බැරි වුණ වෙලාවල් තියෙනවා.

නා ගත්තු අවස්ථා?

අන්න හරි. . . එහෙම ස්නානය කරපු අවස්ථා තියෙනවා . . .

ඔබ අනුන් වෙනුවෙන් හදපු බොහෝ ගිත පසුව ඔබ විසින්ම ගායනා කළේ ඒ නිසාද?

මම ඒවා ගායනා කළේ අලුත් පරපුරට. මෙන්න මෙහෙම සිංදුවක් තිබ්බා පුතේ, ඔයගොල්ල දන්නේ නෑ. මෙන්න මේකයි සිංදුව කියලාකියා දෙන්න.

අනෙක් එක මම ඒ නිර්මාණවලට ආදරෙයි. මොකද මම කිසිම කෙනෙකුට මට කියන්න බැරි ජාතියේ ගීතයක් හදලා දීලා නෑ කවදාවත්.

තත්ත්වය බාල කරන්නේ නෑ?

ඔව්. එක උදාහරණයක් මම කියන්නම් එහෙනම්. මම රන්ජන් රාමනායකට හැදුවා සිංදුවක්. රන්ජන් එපා කිව්වා. ඊට පස්සේ මම ඒ ගීතය ගැයුවා. ගීතය තමයි ‘නෞකා එළි නිවෙන හඬ ඇසුණා’ ඒ වගේ. කොටින්ම කියනවා නම් ‘බඹර පහස’. ඒ ඇල්බම් එකේ සිංදු තුනයි මටම කියලා හදාගෙන තියෙන්නේ. එකක් ‘සඳේ ඔබ’ අනෙක් ගීත දෙක තමයි ‘දවසක් දා’, ‘ළඳේ මුළා වී’. ඉතිරි ගීත ඔක්කොම මම හැදුවේ ස්විට්සර්ලන්තේ ඉඳන් ආපු සිරිල් මාන්නක්කාර කියලා මගේ මිත්‍රයකුට. සිරිල් වොයිස් කළේ ‘ඉඳුනිල් ගඟුලැල්’, ‘සෙනෙහේ බැඳී එදා’ කියන ගීත දෙක විතරයි. සෙසු ගීත සියල්ලම මටම ගායනා කරන්න කියලා ඔහු කිව්වා. ඔහු හොඳ මහත්මයෙක්. මේ ළඟදී මට මුණ ගැසුණා. එයාම තමයි ‘බඹර පහස’ ගීතයේ කොංගා ඩ්‍රම් එක වාදනය කළේත්.

එදා ඒ අහඹු සිදුවීම වුණේ නැතිනම් රූකාන්ත ගුණතිලක කියන ගායකයා බිහි නොවෙන්නත් ඉඩ තිබුණා?

සමහර විට එක්කෝ පරක්කු වෙයි. අහම්බය කියන එක විස්තර කරන්න වෙන වචනයක් නැහැ. ‘බලාපොරොත්තු නොවූ විදිහට’ කියන අරුත තමයි ඔය අහඹු නැතිනම් අහම්බය කියන්නේ. ඒක වචනයක් පමණයි. මේ ලෝකෙ කිසිම දෙයක් සිදු වෙන්නේ නෑ අහම්බයෙන්. හැම දේටම වෙලාවක් තියෙනවා. අහම්බෙන් මැරෙන්නෙත් නැහැ. ඉපදෙන්නෙත් නැහැ. අඬන්න වෙලාවක් තියෙනවා. හිනා වෙන්න වෙලාවක් තියෙනවා. ඒ වගේම ජීවිතය සාර්ථක වෙන වෙලාවල් තියෙනවා. අසාර්ථක වෙන වෙලාවල් තියෙනවා. හැම දේම මේ ලෝකේ සිදු වෙන්නේ එක්තරා රිද්මයකට අනුව. උදේ වෙනවා, රෑ වෙනවා, සුනාමි එනවා, පොළොව හෙල්ලෙනවා.

හැම දේම වෙන්නේ හේතුවක් ඇතිව?

ඔව්. මට ලැහැස්ති කරලා තිබුණු ගීත ටික තමයි ඒ. දෙවියන් වහන්සේ ඒ විදිහට තමයි ඒක සූදානම් කරලා තිබුණේ. නැතිනම් මටම කියලා ජීවිතේට ඔය සිංදු හදන්නේ නෑ මම.

ඔබ වඩාත් කැමැති ගායනයට ද නැතිනම් සංගීීත අධ්‍යක්ෂණයට ද?

සංගීත අධ්‍යක්ෂණයට. ගීත ගයන්නට ලැබුණු අවස්ථාව ප්‍රතික්ෂේප කරලා ‘නෑ, නෑ මට ඕනෑ මියුසික් කරන්න’ කියලා තමයි මම පළමුවැනි කැසට් පටයට සංගීතය සැපයුවේ ජාලිය රණතුංගගේ. නැතිනම් මුලින් යෝජනා වෙලා තිබුණේ ජාලිය සිංදු හයයි, මම සිංදු හයයි දාලා කැසට් එක කරන්න.

ඒක තමයි මේ කර්කෂ ගමනක් තාම යන්නේ සංගීතය වෙනුවෙන්.

කර්කෂ ගමනක් කියා ඔබ අදහස් කළේ?

සංගීතයක් කර කර වෙනත් ව්‍යාපාරික කටයුතු වගේ දේවල් කරන්න මට බැහැ.

කවුරු හරි කියයි රූකාන්ත සෑහෙන කාලෙකින් මොකුත් කරලා නෑ කියලා. ඒත් මම හැමදාම ජීවත් වෙන්නේ සංගීතයත් එක්ක. හැම මොහොතකම සිත ඇතුළේ තියෙන්නේ සංගීතය. ඒවා නිර්මාණ විදිහට මගේ ළඟ එකතු වෙලා තියෙනවා. අවශ්‍ය වෙලාවට ඒවා ඇදලා ගන්නවා.

හැබැයි අලුත් කෙනෙක් ආවොත් මට කියලා ගීතයක් නිර්මාණය කරවා ගන්න මම හැම වෙලාවෙම දෙන්නේ උණු උණුවෙන් බාපු ආප්පයක්. නමුත් මගේ වැඩක් කර ගන්න කොට අර මඩිස්සලේ තියෙන ඒවායින් තමයි ඒ අවශ්‍යතාවය පිරිමහ ගන්නේ.

ඔබේ දියණියන් දෙදෙනාම දැන් සංගීත ක්ෂේත්‍රයට යොමු වෙලා. ඒත් ඔබේ නම ගෙනියන්න පුතෙක් හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?

අසංක . . . දැන් ඒක කියනවා නම් මෙහෙමයි. දුවලා දෙන්නා නැතිව පුතෙක් හිටියා නම් හොඳයි කියලා කියන්න දැන් මම කැමැති නැහැ. එහෙමනම් මෙහෙමයි වෙන්න ඕනෑ. ඔය දුවලා දෙන්නයි, තව පුතෙකුයි හිටියා නම් හොඳයි කියල තමයි හිතෙන්නේ. ඕවා කියන කොට චන්ද්‍රලේඛා මට කෑගහනවා. රවනවා . . . (මහ හඬින් සිනාසේ).

මීට විසි වසරකට පමණ පෙරාතුව ඔබ පුවත්පත් සාකච්ඡාවකදී මා සමඟ පැවසුවා ඉදිරි කාලයේදී භාවනානුයෝගීව කල් ගත කරන්නට අදහසක් සිතේ තියෙනවා කියලා. අද මේ වෙන කොට ඔබ ඉන්නේ ලෝකයේ දියුණුම රටක. දියුණුම නගරයක. අර සිතිවිලි අද වෙනස් වෙලාද?

නෑ. ඒ සිතිවිලි තාම එහෙමමයි. ඔබ කිව්වා වාගේම මම අද ජීවත් වෙන්නේ දියුණුම රටක, කලබලකාරීම නගරයක. ඒත් මගේ නිවසට ඇතුළු වුණාට පස්සේ මම, මමම තමයි. අදටත් කෙසේ හෝ පොඩි වෙලාවක් හරි යොදා ගන්නවා ඒ භාවනාවට. මම දෙවියන් හා සම්බන්ධ වෙනවා හැමදාම උදේ හවා. මගේ ජීවිතයේ සුන්දරම තත්ත්පර කිහිපයක් ඒක.

ඒ අධ්‍යාත්මික සුවය මගේ ජීවිතයට ලොකු ශක්තියක් වගේම ආශිර්වාදයක්. අහස මගේ ජීවිතයට ගොඩක් සම්බන්ධයි. මධ්‍යම රාත්‍රිය වෙන්න පුළුවන්. හිමිදිරි උදයේ වෙන්න පුළුවන්. මම අහස දිහා බලාගෙන ඉන්න කොට ලෝකය දකිනවා. මුහුද යට ගොඩක් ඒවා තියෙනවා. නමුත් අපට ඒවා බලන්න බැහැනේ. අර ‘ඩිස්කවරි’ චැනල් එකෙන් හරි දැන් තමයි අපි ඒවා දකින්නේ. අහස අපිට එච්චර කිට්ටුවෙන් විස්තරාත්මකව නොපෙනුණත් අපට දළ සටහනක් පේනවා. ඒ විශ්වයේ ඇති විශ්මිත බව දුටුවාම අපි කොයි තරම් කුඩා ද කියලා හිතෙනවා. විශ්වයත් එක්ක බලද්දී අපි නිකං කූඹියොනේ, පණුවොනේ. අද ඉඳලා හෙට මැලවෙනවනේ. ඒ යථාර්ථය තේරුම් අරගෙනයි අපි ජීවත් වෙන්න ඕනෑ.

ඔබේ නිර්මාණ වගේම ඔබත් තවම තරුණයි. මොකක්ද මේකේ රහස?

අසංක . . . ඒක තමයි දේව කරුණාව.