වර්ෂ 2012 ක්වූ අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපාමු

රඟපාමු

හීනය සැබෑ කළ

විජේ බණ්ඩාර

රංගනය පිළිබඳ පැතුමන් දහසක් දැල්වෙද්දී රටේ යුද බිය පැවති සමයෙක ඔහු අවියක් අත දරා ගන්නේ තම බලාපොරොත්තුවට වඩා රට ගැන සිතමිණි.

එහෙම හිතන කෙනකුට කවදාවත් වරදින්නේ නම් නෑ. රට වෙනුවෙන් කැප වූ ඒ රණවිරුවාගේ බලාපොරොත්තු අද ඉෂ්ට වෙලා. රඟපාන්න දක්ෂතා තියෙන අයට සරසවිය අවස්ථාව ලබා දෙන්නේ හරිම කැමැත්තෙන්. ඒ නිසාමයි සරසවිය රඟපාන්න ආසයි ඔබ වෙනුවෙන් වෙන් කරල තියෙන්නේ. ඒ වාසනාව අද හිමිකර ගෙන තියෙන්නේ විජේ බණ්ඩාර කාංගර. ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලෙන් අධ්‍යාපනය හැදෑරූ විජේ බණ්ඩාර තම රංගන හැකියාවන් මුලින්ම එළි දැක් වූයේ පාසල් වේදිකාවේදීමයි. පාසල් ජීවිතයෙන් පසුව ශ්‍රීී ලංකා යුද හමුදා පොලීසියට බැඳෙන ඔහු පසුගිය වසර 18 ක් පුරාවටම රට වෙනුවෙන් තමයි සේවය කළේ. 2008 වසරේදී හමුදා සේවයෙන් ඉවත්වීමෙන් අනතුරුව ඔහුගේ රංගනයේ බලාපොරොත්තුව මල්ඵල ගැන්වුණා.

රංගනයට පිවිසෙන්නට මුලින්ම අවස්ථාව ලැබුණේ කොහොමද?

පළමුවෙන් කැමරාව ඉදිරියට ගියේ ජයෝදා ලොතරැයි වෙළෙඳ දැන්වීමෙන්. ඊට පසුව නෙල්නා චිකන්, ඩයලොග්, ටියාරා කේක් වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙන්න අවස්ථාව ලැබුණා. ටෙලි නාට්‍ය වගේම වේදිකා නාට්‍ය සඳහාත් රංගනයට මට අවස්ථාව ලැබුණා. සඳුන්ගිර, ස්වයංජාත, එස් එල් එස් හිස් තැනක්, මලී, හිරු දහසක්, සිත නිවන කතා සඳහා මම රංගනයෙන් දායක වුණා. ඊට අමතරව පුන්තිලා සහ උමතුසං වරුසාව යන වේදිකා නාට්‍ය සඳහා ද මට අවස්ථාව උදා වුණා.

ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට ඔබ දැකගත හැකි වන්නේ?

මේ දිනවල දේවින්ද කෝන්ගහගේ ටෙලි නාට්‍යයක රූපගත කිරීම් සිදු කරනවා. එහි මැරයෙක්ගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. ඊට අමතරව සුමිත් සුරංගගේ හතේ කාමරය වේදිකා නාට්‍යයේ පුහුණුවීම්වල නිරත වෙනවා.

රංගන කටයුතු සඳහා පවුලේ අයගෙන් ලැබෙන සහාය ගැනත් කියමු?

බිරිඳත් යුද හමුදා විශේෂ කාර්ය බලකායේ සේවයේ යෙදෙනවා. පුතා 10 වසරේ අධ්‍යාපනය හදාරනවා. රංගනයට ගෙදරින් බාධාවක් නෑ. මගේ අක්කා විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේමයි සරසවිය ලබා දුන් මේ අවස්ථාව පිළිබඳ විශේෂයෙන් ස්තුති කරන්න කැමැතියි.

රංගන ක්ෂේත්‍රයට එන්න ලැබීම ගැන ඔබේ අදහස?

ගොඩාක් සන්තෝසයි. ක්ෂේත්‍රය ගොඩක් හොඳයි. ප්‍රවීණයන්ගෙන් නිරන්තර මඟ පෙන්වීම ලැබෙනවා. මට විශ්වාසයි මෙහිදී මට බොහෝ දේ කරන්න පුළුවන් කියලා. එහිදී මට මගේ හැකියාවන් උපරිමයෙන් පෙන්වන්න අවස්ථාව ලැබෙනවා නම් සතුටුයි. ඒ වගේම හැඟීම්බර චරිතවලට මම ගොඩක් කැමැතියි. රංගනයේදී මගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.


දැන් මට නැවත ඉපදුණ බවක් දැනෙනවා

- නීල් ඉන්ද්‍රජිත්

නළුවෙක් වගේම ඔහු ගායකයෙක්. වසර 17 ක දිගු නිහැඬියාවකින් පසුව ඔහු නැවතත් කලා ක්ෂේත්‍රයට එන්න තීරණය කරලා. ඔහු නීල් ඉන්ද්‍රජිත් පුෂ්පකුමාර.

ඔබ ක්ෂේත්‍රයට පැමිණීමේ ආරම්භය ගැන මුලින්ම කියමු?

චිත්‍රපට කැමරා අධ්‍යක්ෂ එම්. ඒ. ගෆූර් මහතා තමයි මාව කලාවට ගෙන ආවේ. ඒ කාලේ ප්‍රවීණ නළු විජය කුමාරතුංග සමඟ රඟපෑවා. විජයගේ අභාවයෙන් පසුව මට සිනමා ජීවිතය එපා වුණා. අවුරුදු 17 ට පසුව නැවත චැලෙන්ජර්ස් චිත්‍රපටයට දායක වුණා. ඉන් අනතුරුව දිනේෂ්ගේ ඇද්දා ලණුව දැම්මා කොඩිය චිත්‍රපටයේ වේශ නිරූපණ ශිල්පියා විදියට කටයුතුª කළා. ගෆූර් මහතා මුණ ගැහුණේ නැතිනම් මම අද මෙතන නැහැ.

ඔබ දායක වුණ අනෙකුත් චිත්‍රපට මොනවාද?

කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ දුර්ගා චිත්‍රපටයෙන් තමයි සිනමාවට එක් වුණේ. පසුව ආනන්ද වික්‍රමසිංහගේ සටන, ගාමිණී හේවාවිතාරණගේ සුබ ගමන්, හේමසිරි සෙල්ලප්පෙරුමගේ නොම්මර 17, චන්ද්‍රන් රත්නම්ගේ ඔබට පමණි ආදරේ, ඔක්කොම සූරයෝ වගේම ඔස්ට්‍රේලියානු චිත්‍රපටයක් වන ෂැඩෝ ඔෆ් ද ක්‍රෝබ්‍රා හි ස්වාමීන් වහන්සේ නමකගේ චරිතයක් නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා.

ඔබට ගායන හැකියාවත් තියෙනවා නේද? ඒ ගැනත් සඳහන් කළොත්?

මම ගායනයට යොමු වුණේ අවුරුදු 16 දී. ඒ කාලෙදී සංගීත ප්‍රසංගවලටත් සහභාගි වුණා. මොහිදීන් බෙග්, එච්. ආර්. ජෝතිපාල, ගුණදාස කපුගේ වැනි දැවැන්තයන් සමඟ එකම වේදිකාවේ ගීත ගයන්න ලැබුණ අවස්ථාව ගැන සතුටුයි. 1991 දී ගුවන් විදුලි සංස්ථාවේ ‘සී’ ශ්‍රේණියේ ගායකයෙක් වෙන්න අවස්ථාව උදා වුණා. මේ වන විට මගේම ගීත 4 ක් ගායනා කරලා තියෙනවා. ඉදිරියේදී තවත් ගීත රැසක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විටත් ගීත 24 ක් මා සතුව තියෙනවා. මම කිසි දිනෙක අනුන්ගේ ගීත ගායනා කරලා නැහැ.

මේ කටයුතු සඳහා පවුලෙන් ලැබෙන සහාය?

තාත්තා ජීවතුන් අතර නැහැ. පවුලේ සහෝදර සහෝදරියන් 12 දෙනයි. මම නමවැනියා. ඒ අයගෙන් දැනට ජීවතුන් අතර ඉන්නේ තුන් දෙනයි. කලා ක්ෂේත්‍රයට එන ගමනට ගෙදරින් ලොකු බලපෑමක් තිබුණේ නැහැ. යාළුවෝ ගොඩක් උදව් කළා. උනන්දු කළා මේ තැනට එන්න.

නීල්ගේ අනාගත බලාපොරොත්තු?

ගීත ගායනය වගේම නැවත රංගනයට යොමු වෙන්නත් බලාපොරොත්තු වෙනවා. සංයුක්ත තැටියක් එළි දක්වල නැවත ‘රන්තරු ගී සැඳෑව’ ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මගේ අලුත් ගීත ඉදිරිපත් කරන්න කටයුතු යොදලා තියෙන්නේ. ‘රන් තරු ගී සැඳෑව’ ප්‍රථම ප්‍රසංගය 1991 අප්‍රේල් මාසයේදී ටවර් රඟහලේ තමයි පැවැත් වුණේ. මේ සියලු කටයුතුª සමඟින් මිනිසෙක් ලෙස සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න බලාපොරොත්තු වෙනවා.

අවසාන වශයෙන් ඔබට හිතෙන්නේ?

මගේ ගීත හොඳ නම් රසිකයී ඒවා වැලඳ ගනීවි. ඒක මට සතුටක්. ඒ වගේම සරසවියෙන් ලැබුණ මේ අවස්ථාවට ගොඩාක් ස්තූතියි. සරසවියට ඇවිත් මම නැවත ඉපදුන බවක් දැනුණා.

0716046336 දුරකථන අංකයෙන් ඔබටත් නීල් ඉන්ද්‍රජිත් අමතන්න පුළුවන්.


රාජාංගනයේ ගැමි සුවඳ සමඟ රංගනයට පැමිණි - රොෂාන්

සිහින් මඳ පවන තාලෙට නැලවෙන කුඹුරු යායක්. කුරුල්ලන්ගේ කිචි බිචිය දෙනතට , දෙසවනට වගේම හදවතට ආශිර්වාදයක්. ඒ ආශිර්වාදය ඔහුටත් එහෙමම තියෙනවා.

ඒ වැව් බැඳි රාජ්‍යයේ ඉපදුණු පිනෙන්. රොෂාන් රාජසිංහ. වැවට කුඹුරට පෙම් බඳින දක්ෂ ගොවි මහතෙක්. ගොවිකම රංගනයට බාධාවක් නෙමේ කියන එක ඔහු නිසා සත්‍යයක් වෙලා.

බාල වියේ පටන්ම ඔහුගේ සිහිනය රංගනය. පුංචි තිරයේ, රිදී තිරයේ රංගන ශිල්ප, ශිල්පිනියන්ට ඔහුත් ආදරේ කළා. මමත් කවදම හරි දවසක රංගන ශිල්පියෙක් වෙනවා කියන හීනේ ඔහුගේ ජීවිතේට ආවේ එතුළින්.

ඒ හීනේ සැබෑවක් කර ගන්න කලා ලොවේ දොරගුළු විවිර කරගන්න ඔහුටත් සවියක් වුණේ අපේ සරසවිය. ඒ ටෙලි නාට්‍යයන් සඳහා නළු නිළියන් අවශ්‍ය යැයි යනුවෙන් පළ වූ දැන්වීමක්. එයට පිළිතුරු එවීම ඔහුගේ කලා දිවියේ ආරම්භය සනිටුහන් කළ පළමු පියවර වුණා.

ශ්‍රීීලාල් වික්‍රමගේයන්ගේ අධි වේගෙන් ඇවිත් යන්න ටෙලි නාට්‍ය තුළින් රංගනයට අත්පොත් තැබූ රොෂාන් විජය කුවේණි, දළදාගමනය, පරපුර සිනමා නිර්මාණ තුළින් රිදී තිරයේ නිර්මාණයන් සඳහා ද තම රංගනය මුසු කළා. ‘ආත්තම්මා’ ඔහුගේ ජීවිතයේ තවත් හීනයක් සැබෑ කළ පෝය නාට්‍යයක්. ඒ එතුළින් ඔහු නිෂ්පාදන කාර්යයටත් යොමු වුණා.

මව, පියා, සොයුරියන් දෙදෙනා, ආදරණීය බිරිඳ, දරු දෙදෙනා, සුදත් සමරකෝන් මහතා රොෂාන්ගේ රංගන දිවියට එදා මෙන්ම අදත් සවියක්. ඔවුන් සියලු දෙනාත් සිහිනය සැබෑවක් කර ගන්නට අත දුන් සරසවියත්, ඔහු සිහිපත් කරන්නේ හදපිරි ගෞරවයෙනි.


දක්ෂතා රැසකින් සපිරි

චානක

චානක දර්ශන පුෂ්ප කුමාර නම ඔබට නුපුරුදු වුණාට මේ රුව නම් ඔබේ සිතෙහි ඇති.පාසල් වේදිකාව ඔහුගේ කලා දිවියේ තිඹිරි ගෙය වුවත් ඔහු කලා ලොවේ මං පෙත් සෙවීමට මූලික අඩිතාලම සකසා ගන්නේ හොරේතුඩුව ශ්‍රී ඤාණවිමල දහම් පාසලෙන්.

දහම් පාසලේ වසරක් පාසා පවත්වන ත්‍යාග උත්සවයේ ඔහුගේ නාට්‍යයක් වැරැදුනේම නැත. එයින් නොනැවතී ගුවන් විදුලියේ නාට්‍ය රචනා කිරීමට, රඟපෑමට ද ඔහු අවස්ථාව උදා කරගෙන තිබේ.

2002 ඔහුගේ සිහින සැබෑ වූ වසරකි. බස්නාහිර පළාත් සංස්කෘතික කලා කටයුතු අමාත්‍යාංශයේ හොඳම නාට්‍ය, හොඳම රචනය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහාය නළුවා සහ හොඳම පසුතල නිර්මාණය යනාදී සම්මානයන්ගෙන් පුද ලබා ඇත්තේ ඔහුගේ බිලි වේදිකා නාට්‍යයයි. මත් රකුසා තරුණ පරපුර, දරුවන් ගිල ගන්නා අයුරු එයට තේමා වී තිබේ.

කාංචන ගමගේ ගේ ‘ගින්දර’ වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසි ඔහු ඉන් පසුව රන්දෙණිවල මොහොට්ටාල, අංකුර, අහස් මන්දිර, ඔතේලෝ, මනුමකරා, මිනිසෙක් හා මිනිසෙක් වැනි ප්‍රසිද්ධ වේදිකා නාට්‍යවලට තම රංගනය මුසු කර තිබේ.

චානකගේ නැන්දනිය වන දමිතා සළුවඩනගේ මඟ පෙන්වීම මත 2000 වසරේ ශ්‍රියානි අමරසේන මහත්මියගේ ‘මැගී’ ටෙලි නාට්‍යයේ සුනිමල්ගේ චරිතයෙන් පුංචි තිරය ජය ගත් ඔහු මම නෙමෙයි මම, මැණික් මාලිගා, හද පුදසුන, ටූ ඉන් වන්, රෝස තටු, හිතට වහල් වීම, වසුදා, සරා, පස්මල් පෙති මෙන්ම ඔහුගේ දිවියට පහන් ටැඹක් වූ සෝමපාල ලැනරෝල් මහතාගේ යුවති කිරිල්ලී ඇතුළු ටෙලි නාට්‍ය 30 ක් පමණ ඔහුගේ රංගනයෙන් හැඩ විය.

ඔහු මෙතෙක් ආ ගමන් මගේ ඔහුට ශක්තියක් වූ ආචාර්ය සාලමන් ෆොන්සේකා, ගාමිණී ද සිල්වා, රත්නසිරි පරණවිතාන, සුනන්ද පුෂ්ප කුමාරගෙන්, සෝමපාල ලැනරෝල්, සමන්ති ලැනරෝල් යුවළ, ආනන්ද, මානෙල් වික්‍රමගේ යුවළ, කීර්ති රත්නායක, සුනෙත් රසාංග, ශ්‍රීලාල් වික්‍රමගේ තම නැන්දණිය වන දමිතා සළුවඩනත්, ආදරණීය දෙමාපියනුත් ඔහු සිහිපත් කරන්නේ හද පිරි ගෞරවයෙනි.

ජීවිතේ කෙදිනක හෝ චරිතාංග නළුවකු වීම ඔහුගේ එකම සිහිනයයි. චානක ඔබේ ඒ සිහිනය ඉෂ්ට වේවායි සරසවිය අපි ප්‍රාර්ථනා කරන්නෙමු.