වර්ෂ 2012 ක්වූ අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




මතක රූප

මතක රූප

වැදි රජු කුමරිය සතුටින් එක්වී

අපේ කලා ලොවේ පැරැණි මතක අලුත් කරන මතක පොතේ රූප පෙළට අද එක් වෙන්නේ ගොඩක් වටිනා අවස්ථා දෙකක්.

අවුරුදු 56 ක ට පමණ පෙර ගත් මේ ඡායාරූපය අග්‍රගනයේ නාට්‍ය නිර්මාණයක් වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ මනමේ නාට්‍යය වේදිකා ගතවූ මුල්ම අවස්ථාවේ දී ගත් එකක්. මෙහි වැද්දාගේ චරිතයට පණ පෙව්වේ එඩ්මන්ඩ් විජේසිංහ. මනමේ කුමරිය ලෙස සිටියේ ට්‍රිලීෂියා අබේකෝන්. පසු කාලීනව ට්‍රිලීෂියා ගුණවර්ධන නම් වූ ඇය ගම්පෙරළියේ අනුලාගේ චරිතයට අමතරව ගැහැනු ළමයි, බැද්දේගම, කලියුගය වැනි චිත්‍රපටවලිනුත් රංඟන කෞෂල්‍ය ගෙන හැර දැක්වූවා. එදා වගේම අදටත් කා අතරත් ජනප්‍රිය වූ ‘සුරතල් නංගියේ අපෙ අම්මා’ ගීතය ගායනා කළෙත් ට්‍රිලීෂියා ගුණවර්ධනයි. එඩ්මන්ඩ් විජේසිංහයන්ගේ බාල සොහොයුරා සම්මානනීය වේශ නිරූපණ ශිල්පි ඊබට් විජේසිංහ එදා මෙම අවස්ථාව කැමරා කාචයෙන් දැක්කේ තරුණ ඡායාරූප ශිපියකුව සිටි ඩී. බී. සුරනිමල. මහා පුවත්පත් කලාවේදී ඩී. බී. ධනපාලයන් ගේ බාල පුතු මෙන්ම සිනමාවේදී ඩී. බී. නිහාල්සිංහයන් ගේ සොහොයුරා වූ ඔහු අති දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මනමේ කුමරු ලෙස රඟපෑ බෙන් සිරිමාන්න, ට්‍රිලීෂියා ගුණවර්ධන වගේම මේ ඡායාරූපය ගත් සුරනිමලත් අද අප අතර නැහැ. එදා මේ මතක සැමරුම් සනිටුහන් කළ ඡායාරූපය අපට එව්වේ ප්‍රවීණ විචාරක බුද්ධදාස ගලප්පත්ති.

වෙනින් කවුරුත් නොවූ....

මේ ඡායා රූපයත් මීට බොහෝ කලකට පෙර චිත්‍රපටයක සටන් ජවනිකාවක් අතරතුරේ දී ගත් එකක්. මෙහි දකුණු පසින් සිටින්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා.

ඒ තමයි ලෙනින් මොරායස්. ඔහු සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක්. සිංහල සිනමාවට අනගි නිර්මාණ රාශියක් දායාද කළ ලෙනින් අද අප අතර නැතත් ඔහුගේ නිර්මාණ ඔහුගේ නාමය අමරණීය කරන්නට සමත්. මේ ඡායාරූපයේ මැද සිටින්නේ ලෙනින්ගේ දකුණු අත බඳු වූ ඇන්ටන් ග්‍රෙගරි. මේ සියලු දෙනා එක්වෙලා සිටින ජවනිකාව ලෙනින්ගේ අධ්‍යක්ෂණය සිහිපත් කරන තවත් එක් අවස්ථාවක්. සරසවිය රසික ඔබ ළඟත් මෙවැනිම වූ වටිනා ඡායාරූප තිබේ නම් ඒ මතක සැමරුම් අපටත් එවන්න. එවිට ඒ මතක ඔබට මෙන්ම සරසවිය පාඨක සියලු දෙනා අතරත් සනිටුහන් වේවි.