වර්ෂ 2012 ක්වූ අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




දිල්ලියේ බඩවත පෙන්වන

දිල්ලියේ බඩවත පෙන්වන

කරාමයකින් නොනවත්වා වතුර ගලා යයි. කුඩා ප්ලාස්ටික් බාස්කට්ටුව වතුර පුරවා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මුත් එය රැදී තිබෙන්නේ කරාමයට පියවර කිහිපයක දුරිනි. මිනිස් අතකින් මේ බාස්කට්ටුව කරාමය ළඟට කළ යුතු මුත් මිනිස් අත් සුවසේ නින්දේය.

ඒ අතර මැදින් හින්දි ගීයක් ගලා යයි. ඉරි තැලුණු සිවිලිමේ බලෙන් එල්ලී සිටින විදුලි පංකාවකි. සුළං හිතුමතේ පාවෙමින් තමන්ට ඕනෑ අතක ගලා යයි. එකෙකු බාගෙට ඇදගත් කොට කලිසමක් සහ ටී ෂර්ටයකින් සැරසී පොරවනයකින් ශරීරයේ අඩක් වසාගෙන ඇලයට හැරී නිදයි. තවත් එකෙක් මුහුණේ සිට පොරවනයකින් වසාගෙන නින්දේය. අනෙකා මුනින් අතට හැරී තද නින්දක බව අඟවයි. මේ කාලය ඇතුළත ණයෙකු මෙන් පිඹිමින් වතුර ගලා ගිය කරාමය තම රාජකාරිය අවසන් කරයි.

මින් පසු තවත් නම් වතුර ජල කරාමය තුළින් ගලා නො එයි. එනම් සෑම උදෑසනකම ලැබෙන පැය දෙකක වතුර සලාකය අහවරය. මේ දිල්ලියේ හැටිය. ඉන්දියානු ක්‍රමයට තැනූ වැසිකිලියක් ඒ අතර වතුර නොමැතිව පෙනී නොපෙනී යයි. පීසා පලුවක් කැරපොත්තන්ට සංග්‍රහ කරමිනි. ඊළඟට නාද වන්නේ කර්ණ කඨෝර දොර සීනුවයි. මේ දිල්ලියේ බඩවතයි. 'ඩෙල්ලි බෙලි' නාමාවලිය අතරතුර ගලා ගිය කෙටි රූප රාමු සියල්ල ඔබ මතකයේ තබා ගත යුතුය. මන්දයත් සිනමාපටයේ ඉදිරියේ දී ඒ සියල්ල වෙන් වෙන් වශයෙන් ප්‍රයෝජනයට ගන්නා බැවිනි.

මාධ්‍යවේදියෙකු වූ ටාෂිගේ ගුවන් සේවිකා පෙම්වතිය ඔබ තදින්ම මතකයේ තබා ගත යුතුය. වෙන්නට නියමිත පටලැවිල්ලක මුල් පුරුක ඇයයි. ඡායාරූප ශිල්පී නිතින් බේරී මේ පටලැවිල්ලේ අනෙක් කොණයි. එහි අවසානය සපයන්නේ කාටුන් චිත්‍ර ශිල්පී අරුප් විසිනි.

අභිනේ ඩියෝ 'ඩෙල්ලි බෙලි' සිනමාපටයේ අධ්‍යක්ෂ

ප්‍රකට සිනමා නළු-නිළි දෙපළක් වන රමේෂ් ඩියෝ සහ සීමා ඩියෝ ගේ පුත්‍රයා වන අභිනේ තැනූ දෙවැනි සිනමාපටය මෙයයි. පළමු වැන්න 2011 මුල් කාර්තුවේදී නිකුත් වූ 'ගේම්' ය.ඔහුගේ ඊළඟ සිනමාපටය නම් කර ඇත්තේ 'ලව් ගේම්' නමිනි. එය තවමත් රූපගතකරමින් පවතී.

ගුවන් සේවිකාවක වූ සෝනියා ව්ලැද්මීර් ඩ්‍රගුන්ස්කි නම් කෙනෙකුගේ පාර්සලයක් ගෙනැවිත් දීමට එකඟ වීම මේ සියල්ලටම මුලයි. සිය පෙම්වතා වූ ටාෂි වෙත පාර්සලය දෙන ඈ ඔහුගෙන් ඉල්ලා සිටින්නේ අදාල පුද්ගලයාගේ ලිපිනයට එය ලබා දෙන ලෙසයි.

ටාෂි එය තම ඡායාරූප ශිල්පී සඟයා වූ නිතින් හට බාර දෙන අතර අතරමඟ තිබූ ජංගම කඩයකින් අපිරිසිදු කුකුළු අණ්ඩක් කෑමෙන් ඔහු හට දිල්ලියට උරුම දරුණු බඩේ අමාරුවක් වැළැදේ. උදෑසන පැය දෙකේ වතුර සලාකය අහිමි වීමත් සමඟම ඔරේන්ජ් ජූස් පැකට්ටුවකින් තම උවමනාව පිරිමසා ගන්නා නිතින් පාර්සලය බාර දෙන්නේ කාටුන් ශිල්පී අරුප්ටය.

ඒ අතරතුර තමන්ගේ මල සාම්පලයක්ද ඒ සමඟ දොස්තර වෙත යවන නිතින් ඒ දෙක වෙන වෙන ම සඟයාට දුන්නත් ඔහු විප්‍රකාර ලෙස පාර්සල ද්විත්වය මාරු කර අදාල ස්ථාන දෙකට ලබා දෙයි. මේ හේතුවෙන් හොර බඩු වෙළදාමේ නිරත ප්‍රකට චණ්ඩියෙකු අතට නිතින් ගේ මල සාම්පලය සහිත පාර්සලයත් දොස්තර වෙත දියමන්ති අඩංගු පාර්සලයත් ලැබෙයි. නොනිමෙන සිනාවත්,නොනිමෙන ත්‍රාසයත් පටන් ගන්නේ ඉනික්බිතිවය.

සැබැවින්ම මේ සැබෑ දිල්ලියයි. පැය දෙකේ වතුර සලාකයේ පටන්,ශිෂ්‍ය ජීවිතවල ඇතුළු පැත්ත,කුලී නිවාසවල අභාග්‍යසම්පන්න තත්ත්වය සහ එදිනෙදා තරුණ ජීවිත ගලා යන ආකාරය අපට ඇගිල්ලෙන් ඇන පෙන්වයි.

බටහිර සිනමාපටයක සිදුවීම් නිතර සිහි ගන්වන 'ඩෙල්ලි බෙලි' හාස්‍ය යටින් දිවෙන අනුවේදනීය කතාන්දරයක් ද කියයි. ප්‍රේමයේ ද්‍රව්‍යමය වටිනාකම සහ සැබෑ වටිනාකම මහත් ව්‍යසනයකට පසුව ටාෂි සහ සෝනියාට වැටහීමත් තමාට නොගැලපෙන දේ මත මෙතෙක් කල් ජීවිතය කේන්ද්‍ර කර ගනිමින් දුක් වින්ද බවත් අවසානයේ ඔවුන්ට වැටහෙයි. මිත්‍රත්වය සහ සෙල්ලක්කාර තීරණ නොසිතූ කරදර රැසකට මුල මෙන්ම ඉන් ගැලවීමේ මාර්ගය බවද අවසන මිතුරන් තිදෙනාට සිතෙයි.

අමීර් ඛාන් ගේ නිෂ්පාදනයක් වූ 'ඩෙල්ලි බෙලි' අධ්‍යක්ෂණය අභිනේ ඩියෝ ගේය.අක්ෂාත් වර්මාගේ තිර රචනයක් මේ සිනමාපටයේ සංගීතය රාම් සම්පත් ගෙනි. 2011 වසරේ ජූලි පළමු වැනිදා ඉන්දියානු සිනමාශාලා වෙත නිකුත් වූ 'ඩෙල්ලි බෙලි' හොංකොං සිනමාශාලා වෙත නිකුත් වූයේ 2012 මැයි 10 වැනිදාය. ඇමෙරිකානු ඩොලර් මිලියන 4.53 ක ඇස්තමේන්තුවක් අනුව නිපදවූ සිනමාපටය උපයා ගත ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 16.65 කි. එමෙන්ම ඉංග්‍රීසි දෙබස් වැඩියෙන් අන්තර්ගත මුල් සිනමාපටය අනුව යමින් සම්පූර්ණයෙන්ම හින්දි දෙබස් කැවූ තවත් පිටපතක්ද පසුව සිනමාශාලා වෙත නිකුත් විය.

'ඩෙල්ලි බෙලි' යනු අහම්බෙන් නිපදවූ සිනමාපටයකි. මෙහි තිර රචක අක්ෂාත් වෙර්මා ලොස් ඇන්ජලීස් නුවර දිවි ගෙවන රචකයෙකි. 'සේ චීස්' නමින් නම් කළ මුල් තිර නාටකය අධ්‍යාපන කටයුත්තක් සඳහා ලියූවකි. ලොස් ඇන්ජලීස් නුවර රැකියාව අහිමි වීමත් සමඟ මුම්බායට ආ අක්ෂාත් අමීර් ඛාන් නිෂ්පාදකයෝ වෙත තම තිර නාටකය ලබා දුනි. එහෙත් කාලයක් මුළුල්ලේ එහි පැත්තකට දමා තිබූ මේ තිර නාටකය අහඹු ලෙස කිරන් රාවෝ කියැවීමට පටන් ගනී. ඈ නොනවත්වා සිනාසෙමින් කියවන මේ අපූරු තිර නාටකය ඉතාමත් අහඹු ලෙස සිනමාපටයක් බවට පත් වෙයි. ඉතා ඉක්මනින් රූ ගත කිරීම් ඇරඹෙන අතර සිනමාපටය ප්‍රදර්ශනය පටන් ගනී.

එහෙත් නේපාලය තුළ 'ඩෙල්ලි බෙලි' ප්‍රදර්ශනය තහනම් වෙයි. ඒ ටාෂි ඇතුළු මිතුරන් තිදෙනාගේ කුලී නිවාසයේ හිමිකරු ගණිකා නිවාසයක් වෙත යන දර්ශනය හේතුවෙනි. පසුව ඒ දර්ශනය ඇතුළු තවත් අවස්ථා කිහිපයක් කපා දැමීමෙන් අනතුරුව නේපාලයේ 'ඩෙල්ලි බෙලි' ප්‍රදර්ශනය ඇරඹෙයි. 'ඩෙල්ලි බෙලි' යනු පීප්ලි ලයිව් සහ ඩෝබි ගාත් වැනි අමුතු හැඩයේ සිනමාපට නිපදවූ අමීර් ඛාන් වෙතින් ඉන්දියාව ලත් ත්‍යාගයකි.

චණ්ඩීන් විසින් ලුහු බදින යහළුවන් තිදෙනෙක්,දියමන්ති සහසක් අත් වැරදීමකින් සතු කරගත් යහළුවන් තිදෙනා,දියමන්ති වෙනුවට චණ්ඩීන් විසින් පැහැරගත් ටාෂිගේ සල්ලිකාර පෙම්වතිය,ටාෂිගේ පත්තරකාර දිවියේ ආකර්ශනීය කාන්තාව,නිතින් ගේ නිමක් නැති බඩේ අමාරුව,කරදරකාර නිවෙස් හිමියා සහ ගණිකා මඩම ආදී නොයෙක් පැටලිලි මතින් 'ඩෙල්ලි බෙලි' ගලා යයි. සැබවින්ම බඩේ අමාරුවක් කේන්ද්‍ර කරගත් සිනමාපටය ඊට අවශේෂ වෙනත් සිද්ධීන් වෙත ගොස් පැටලෙයි.

නූල් බෝලයක් මෙන් පැටලෙයි. පැටලුම් ලිහන අතර නිතින් බඩේ අමාරුවෙන් දුක් විඳීයි. කොටින්ම කිව හොත් මාරාන්තික ලෙස පොලීසියත් මදාවින් රැළකුත් වෙඩි තබා ගන්නා විටත් නිතින් ඉන්නේ ටොයිලටයකය. මේ අමුතු සිනා වායුවකි. සිනමාපටය පුරා නොවැලැක්විය ලෙස ගලා යන මේ සිනා වායුව විටෙක අපව ශෝකයෙන් බර කරයි. තවත් විටෙක මාරාන්තික සිනාවක සිර කරවයි. අවසන් විග්‍රහයේ දී අප අපටම සිනාසීගෙන ඇති බවක් හෙළි වෙයි.

දිල්ලියේ සාමාන්‍ය ජීවිතය මේ තරම් හොඳීන් විග්‍රහ කළ සිනමාපටයක් මට නම් මීට පෙර මුණ ගැසී නැත. අධික වේගයෙන් කාර්මීකරණය වෙත ළඟා වෙන නවදිල්ලිය තවත් පසෙකින් මිනිසුන්ගේ එදිනෙදා ජීවිත ගිනි ගොඩකට ඇද දමන්නාක් මෙන් ඔබට පෙනෙයි නම් එහි ඒ තරම් වරදක් ඇත්තේ නැත. සුඛෝපභෝගී දිල්ලිය තමන්ට ඕනෑ විට වෙස් මුහුණ මාරු කරන බව දැන ගත යුතුය.

ටාෂිගේ චරිතය රඟන ඉම්රාන් ඛාන්,නිතින් ට රඟන කුනාල් රෝයි කපූර්,අරුප් ලෙස රඟන වීර් දාස් මෙන්ම මේනකා ලෙස රඟන පූර්ණා ජගනාතන් තම වගකීම මැනවින් ඉටු කර ඇති සැටියකි. සෝනියා ට රඟන ෂීනස් ට්‍රේසුර්වාලා සහ කව්බෝයි ලෙස රඟන විජේ රාස් සිනමාපටයට අවැසි මසාලා පැහැය මැනවින් ලබා දී ඇත.

හින්දි සිනමාපටයක අනන්‍ය ලක්ෂණ කිහිපයක්,ඉංග්‍රීසි සිනමාපටවල ජනප්‍රිය ලක්ෂණ බොහොමයක් කලවම් කර සෑදූ 'ඩෙල්ලි බෙලි' සිනමාපටයේ එක් දර්ශනයක් ගැන කිව යුතුමය.

එනම් ටාෂි,නිතින් සහ මේනකා තිදෙනා නගරය අතර මැද මිනිසෙකු මරා දමා අතැයි යන ආරංචියට එතැනට ගොස් සිදුවීම වාර්තා කරන අතර නිතින් මළ මිනියේ සේයාරූ ගනියි. මැරුණායි කී මිනිසා සමීප රූපයකින් හුස්ම ගන්නා බවක් පෙනෙයි.

මේ හිතාමතා කළ දෙයක් නොව සූක්ෂම අත් වැරදීමකි.කෙසේ නමුත් 'ඩෙල්ලි බෙලි' හින්දි විනෝදාත්මක සිනමාවේ කදිම පිම්මකි. මේ පෙන්වන්නේ දිල්ලියේ බඩවතයි. කැමති නම් එබී බලන්න.