වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




News

50යි 155යි ආයුබෝ වේවා

වසර 50 ක් පුරා ජාතික හා ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වෙමින් ලාංකේය සිනමාවේ නිළි රැජන ලෙස විරුදාවලිය ලත් මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකාගේ රංගන දිවියට 50 වසරක් සපිරිණි. ඇයගේ මෙම 50 වැනි සැමරුම සිදු වුණේ ද සුවිශේෂී දිනයකදීය. ඒ චත්‍ර වීරමන්ගේ දෙවන චිත්‍රපටය වන 'ආයු' චිත්‍රපටය රූගත කරන කොළඹ ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේදීය. එය ඇයගේ රංගනයෙන් දායක වන 155 වැනි චිත්‍රපටයයි.

හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායකගේ කුලුඳුල් නිෂ්පාදනය වූ 'ආයු' චිත්‍රපටයේ නළු නිළියන්, කාර්මික ශිල්පීන් 100 කට අධික පිරිසක් එදින උත්සවයට සහභාගි විය. එහි ප්‍රධාන චරිතය වෛද්‍යවරියක් ලෙස රඟපාන සැන්ඩ්‍රා මැක්ගේ මව ලෙස මාලිනී ෆොන්සේකා සිය 155 වැනි චිත්‍රපටය වෙනුවෙන් ඇගේ භූමිකාව රඟ දක්වයි.

ජැක්සන්ගෙන් අසමසම වාර්තාවක්

මෙරට විශිෂ්ටතම රංගවේදියකු වන ජැක්සන් ඇන්තනි ප්‍රධාන භූමිකාව නිරූපණය කරමින් කේරලයේදී රූපගතකෙරෙන ලක්නව් සිනමාපටය ලාංකීය සිනමා ඉතිහාසයට එක්වනුයේ නව වාර්තාවක්ද සමඟිනි. බහුභාෂිත සිනමාපටයක්වන එය භාෂා ත්‍රිත්වයකින් නැරැඹීමට අවස්ථාව උදාවනු ඇත. සිංහල, දමිළ සහ මලයාලම් යන ත්‍රිභාෂාවෙන් තැනෙන එහි ඇති සුවිශේෂිතාවය වනුයේ ජැක්සන් රඟන චරිතය එකී භාෂා ත්‍රිත්වයේදීත් ඔහු විසින්ම හඬකැවීමය. සාමාන්‍යයෙන් සිනමාපටයක් වෙනත් භාෂාවකින් හඬකැවෙද්දී ඒ සඳහා එම භාෂාව කතා බහ කරන හඬ නළුවන් යොදාගනී. එහෙත් ඒ සියලු කාරණා උඩුයටිකුරු කරමින් ජැක්සන් විසින් භාෂා ත්‍රිත්වයෙන්ම තම චරිතයට හඬකවනු ඇත.

 ලක්නව් අනිල් කුමාර්ගේ අධ්‍යක්ෂණයකි. සිංහල සිනමාවේ ප්‍රථම බහුභාෂා චිත්‍රපටයක් වූයේ සූරසේනය. එහි හර්බි සෙනෙවිරත්න සහ කාන්ති ගුණතුංග ප්‍රධන චරිත මවන ලදි. දමිල මලයිකන්නන් භාෂාවෙන් එය රූගැන්වුණි. එකී චරිතයන් සඳහා එම්. ජී. ආර්. සහ භානුමති රඟපෑහ. අසාද් ලෙසට එය හින්දි බසින් දිලිප් කුමාර් සහ මීනා කුමාරි රඟපෑහ. එහෙත් ලක්නව් ජැක්සන් විසින්ම චිත්‍රපට ද්විත්වයේම රඟපෑම සහ හඬකවනු ලබයි.

ලක්නව් බීනා උන්ති ක්‍රිෂ්නන්ගේ නිෂ්පාදනයකි. මෙරට නිෂ්පාදකවරයා වශයෙන් අනුර ජසෙන්තුලියන කටයුතු කරයි.

දමයන්ති ජයසූරියගේ ‘සිත නිවන ගී’ සංගීත සුයාමය හා සංගත තැටිය

දොරට වැඩීම අප්‍රේල් 23 වෙනිදා

ජනාධිපති සම්මානලාභී විශාරද දමයන්ති ජයසූරියගේ අභිනව බෞද්ධ ගීත සංගත තැටිය 'සිත නිවන ගී' ජනගත කිරීමේ සංගීත සුයාමය 2018 අප්‍රේල් 23 වැනිදා සඳුදා ප. ව. 5.00 ට හැව්ලොක් පාරේ සම්බුද්ධත්ව මාවතේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මෙහි ගීත රචනාකර ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්න, පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමි, කුලරත්න ආරියවංශ, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ජයම්පති අල්ගම, පූජ්‍ය මඩපාත ධම්මසාර හිමි, පූජ්‍ය වෙන්නප්පුවේ චන්දානන්ද හිමි, ගේය පදරචකයන්ය. සහාය ගායනය විශාරද එඩ්වඩ් ජයකොඩිය.

ආචාර්ය රෝහණ වීරසිංහ, ආචාර්ය ලයනල් අල්ගම, ආචාර්ය නන්දා මාලනී, එච්. එම්. ජයවර්ධන, එම්. ආර්. චුලසිංහ, අජිත් දර්ශන ජයවීර, දර්ශන වික්‍රමතුංග, ඉන්ද්‍රජිත් මිරිහාන විසින් සංගීතය නිර්මාණය කළ මෙම සංගීත සුයාමයේ විශේෂ දේශන පවත්වනු ලබන්නේ මහාචාර්ය පාතේගම ඥානිස්සර හිමි හා කථිකාචාර්ය නාවලපිටියේ අනුරාදා සුධම්මිකා මෙහෙණිය විසිනි. ජානක ෆොන්සේකා ප්‍රමුඛ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සංගීත කණ්ඩායම සංගීතය මෙහෙයවයි.

මෙහි පූරක දායකත්වය සඳමාලි හේවානායකගෙනි.

වයිරස් ඇරඹේ

පිටසක්වළ අභිරහස සිනමාපටය අධ්‍යක්ෂණය කළ නිර්මාල් රාජපක්ෂගේ නවතම සිනමාපටය වූ වෛරස්හි මුහුරත් උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. ඒ අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙනි. සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රංගන ප්‍රේමරත්න, රමණි සිරිවර්ධන, වසන්ත විට්ටච්චි ඇතුළු පිරිස මෙහි රංගන දායකත්වය සපයති. අධ්‍යක්ෂණය මෙන්ම කැමරාකරණය, තිරරචනය, සංස්කරණය සහ වර්ණ සංකලනය නිර්මාල් විසින් සිදුකරයි. තරංග සංජීව සහාය අධ්‍යක්ෂණවරයාය. නිමල්සිරි ද සිල්වාගේ කලා අධ්‍යක්ෂණයකි. විද්‍යාත්මක පසුබිම් නිර්මාණකරණය මහාචාර්ය රනිල් දිසානායක, මහාචාර්ය නලින් ද සිල්වා, ලලින්ක හේරත්, කජන් මුන්නේශ්වරන් සහ මිතුන් ඉමසංකගෙනි. වෛරස් මෝෂන් සිනමා මූවි නිෂ්පාදනයකි.

එක දවසක අපි 60 යි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔන්ලයින් චිත්‍රපටය අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ එක දවසක අපි තිරගතවීම ආරම්භ වී දින හැටක් සපිරුණි. රීගල් ප්‍රමුඛ සී. ඊ. එල්. මණ්ඩපයේ සිනමාශාලාවන්හි තිරගතවන එම සිනමාපටය මෑත යුගයේදී කෙටිකලක් ඇතුළත සිනමාපට කිහිපයක්ම නිෂ්පාදනය කළ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි. ඩයලොග් ආයතනය අනුග්‍රහය දැක්වූ ප්‍රථම සිනමාපටයවන එක දවසක අපි සිනමාශාලාවන්හි තිරගතවීමෙන් අනතුරුව ඩයලොග් විනෝදේ ඇප් එක තුළින් නැරැඹීමට අවස්ථාව උදාවනු ඇත. මෙරට පළමු මොබයිල් සිනමාපටය ලෙස ඉතිහාසගතවන එම සිනමාපටයෙහි පුබුදු චතුරංග සහ නයනතරා වික්‍රමාරච්චි ප්‍රධාන භූමිකාවන් නිරූපණය කොට තිබේ.