වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?

මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?

සරසවිය සිනමා සම්මාන උලෙළ මෙවර ද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. එහිදී ඉකුත් සරසවිය සම්මාන උලෙළේ හඳුන්වා දුන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය සඳහා මේ දිනවලදී අයැදුම්පත් කැඳවනු ලැබේ.

  •  අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමාපටය වීම.
  •  2016 ජනවාරි 01 සිට 2017 දෙසැම්බර් 31 දක්වා කාලය අතරතුරදී ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලැබී තිබීම.
  •  එම කාලය ඇතුළත චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හරින ලද්දේ නම් මෙම සම්මානය සඳහා ඉදිරිපත් කළ නොහැකිය.

මෙම චිත්‍රපටයන් සඳහා අයදුම් කරන නිර්මාණකරුවන් චිත්‍රපටයේ මූලික විස්තර (චිත්‍රපටයේ නම, නිෂ්පාදක, අධ්‍යක්ෂ, දුරකතන අංකය, චිත්‍රපටයේ ධාවන කාලය, රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලැබූ දිනය) ඇතුළත් කොට අයැදුම්පතක් රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකයේ ඡායා පිටපතක් ද සමඟ කාර්යාල වේලාවන් තුළදී සරසවිය කර්තෘ මණ්ඩලයට ගෙනවිත් බාරදිය හැකිය. එසේත් නැතිනම් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය යනුවෙන් ලියුම් කවරයේ සඳහන් කොට සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට පුළුවන.

2016 හා 2017 දෙවර්ෂ සඳහා වෙන වෙනම සම්මාන පිරිනැමේ.

එකළොස්වෙනි වරටත් රන්ජන් පෙරමුණේ

එකොළොස්වැනි වරටත් ජනතාවගේ රංගන ශිල්පියා හැටියට සම්මානයට පාත්‍රවීමට රන්ජන් රාමනායක වාසනාවන්ත විය. ඒ ස්ලීම් නීල්සන් සම්මාන උළෙලේදීය. පිට පිට නොකඩවා එකොළොස්වැනි වතාවට ඔහු මෙලෙස සම්මානිත විය. රන්ජන් ප්‍රථම වතාවට ජනප්‍රිය නළුවා වූයේ සරසවිය සම්මාන උළෙලේදීය. එදවස සිට අද දක්වාම ජනප්‍රියත්වයේ රැඳී සිටීමට රන්ජන්ට හැකියාව ලැබිණි.

පුංචි අන්දරේ අද සිට

අප ඉතිහාසයේ විසූ අමරණීය චරිතයක්වන අන්දරේගේ ළමාවිය අළලා තැනුනු පුංචි අන්දරේ සිනමාපටය මෙම මස 05 වැනිදා එනම් අද සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාශාලාවන්හි තිරගතවීම ආරම්භවේ. ස්තූතියි නැවත එන්න සිනමාපටය අධ්‍යක්ෂණය කළ සුමිත් රෝහණ තිත්තවැල්ල අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටයේ අන්දරේගේ ළමා අවදිය රූපණය කරනුයේ ප්‍රවීන් කටුකිතුලේ විසිනි. සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මහේන්ද්‍ර පෙරේරා, ඩබ්ලිව්. ජයසිරි, කුමාර සිරිවර්ධන, මොරීන් චාරුනී, යොහානි හංසිකා මෙහි සෙසු ප්‍රධාන චරිත මවති.

මහින්ද කුමාර දළුපොත තිරරචනයෙන් දායකවූ පුංචි අන්දරේ සිනමාපටය වෛද්‍ය රජිත සුවාරිස්ගේ නිෂ්පාදනයකි. අශෝක ජයසේකර කැමරා අධ්‍යක්ෂවරයාය. ඩබ්ලිව්. රවීන්ද්‍රගේ සහාය අධ්‍යක්ෂණයකි. නලින් ප්‍රේමතිලක අංග රචනා ශිල්පියාය. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළ මෙම සිනමාපටයේ ගීපද රචනා මහාචාර්ය සුනිල් ආරියරත්න සහ සුමිත් රෝහණ විසිනි.

රජ දහන ඇරැඹේ

වාසිත සමරනායකගේ නවතම සිනමාපටය වන රජදහන මුහරත ඉකුත්දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ. සේනාධි ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක් වන එහි ජගත් ගලප්පත්ති විසින් තිරරචනා කොට තිබේ.

ඩග්ලස් රණසිංහ, අනුර ධර්මසිරිවර්ධන, ජගත් ගලප්පත්ති, අමිල කරුණාරත්න, තනාෂා සතරසිංහ, නිරෝෂා තලගල, රෝහිත් මාන්නගේ, චංචලා වර්ණසූරිය, අවන්ති අපෝන්සු, සඳුන් බණ්ඩාර, ආනන්ද ජයවර්ධන, හිරුනද දිසානායක (ළමා) මෙහි චරිත මවති. විශාරද එඩ්වඩ් ජයකොඩිගේ සංගීත අධ්‍යක්ෂණයකි. සුනිල් ආනන්ද කලා අධ්‍යක්ෂවරයාය. ප්‍රියන්ත ඊෂ්වරගේ අංගරචනයකි. අමිල පහතගෙදර සහාය අධ්‍යක්ෂවරයාය. බුද්ධික මංගලගේ කැමරා අධ්‍යක්ෂණයකි. නිෂ්පාදන කළමනාකරණය සුසන්ත ඩයස්ගෙනි. සහාය සුරාජ් දිසානායක විසිනි. මාධ්‍ය සම්බන්ධීකරණය සහ නිශ්චල ඡායාරූප උපුල් නිශාන්ත සිදුකරනු ලබයි.

අවුරුද්දට පුතා ඇවිත්

13 වැනිදා CRI SRI LANKA  නාළිකාවේ

මාධ්‍යවේදිනී මංජුලා මල්කාන්ති විසින් තිරපිටපත ලියූ 'අවුරුද්දට පුතා ඇවිත්' විශේෂ අවුරුදු නාට්‍ය අප්‍රේල් මස 13 වන දින සවස 4.00 සිට 5.00 දක්වා ඛ්අධ් ඉඅධ් ඹ්ඒව්ම්ඒ චැනලය ඔස්සේ (97.9) විකාශය කෙරෙයි.

වැඩිහිටි නිවාසයක වෙසෙන දරු සෙනෙහසින් ඔදවැඩී ගිය මවකගේ බලාපොරොත්තු පසුබිම් කරගනිමින් රචනා කර ඇති මෙම නාට්‍යයේ රත්නා සුමනපාල, කේ. ඩී. සිරිපාල, කමල් දේශප්‍රිය, නාලිනී පියසීලී ජයලත්, සීලරත්න සෙනරත්, චමිලා විතානගේ, අනර්ගී යසස්විනී ජයතිලක, මංජුලා මල්කාන්ති චරිත නිරූපණය කර ඇති අතර තරිඳු පෙරේරා විසින් මෙය නිෂ්පාදනය කොට ඇත.

ජෝර්ජ් රොබ්සන්ගෙන් සිංහල ගී පද නාමාවලියක්

ගී පද රචකයකු හා නිදහස් මාධ්‍යවේදියකු වන ජෝර්ජ් රොබ්සන් ද සිල්වා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යකරුවන්ටත්, නිර්මාණකරුවන්ටත් ප්‍රයෝජනවත් වන පරිදි 'සිංහල ගී පද නාමාවලිය' නමින් ග්‍රන්ථයක් සම්පාදනය කර පළ කිරීමට සැරසෙයි. මෙවැනි සද්කාර්යයකට සැබෑ නිර්මාණකරුවන් පිළිබඳව වත්මන් පරපුර මෙන්ම මතු පරපුර ද දැනුවත් කිරීමේ පර්මාර්ථයෙන්ය.

මෙම නාමාවලියට සිය ගී පද රචනා පිළිබඳ විස්තර ඇතුළත් කිරීමට කැමති ගී පද රචකයන්ට තමන් නිර්මාණය කළ ගී පද රචනාවන්ගේ මුල් පද කිහිපය, එම ගීත සංගීතවත් කළ සංගීතඥයා හා ගායනා කළ ගායන ශිල්පියා හෝ ශිල්පිනිය සඳහන් කර එවන ලෙස ජෝර්ජ් රොබ්සන් සියලුම ගී පද රචක රචිකාවියන්ට විවෘත ආරාධනාවක් කරයි. (නැසීගිය පද රචකයන්ගේ නිර්මාණ පිළිබඳ තොරතුරු ඔවුන්ගේ ඥාතීන්ට ලබාදීමට හැක.) ජෝර්ජ් රොබ්සන් ද සිල්වා, සිංහල ගී පද නාමාවලිය, තැ.පෙ. 2, දන්කොටුව යන ලිපිනයට එම විස්තර එවිය හැකිය.