වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




උසාවිය නිහඬයි ප්‍රසන්න...?

උසාවිය නිහඬයි ප්‍රසන්න...?

රාගයට ජාතියක් ජන්මයක් නැත. කොතෙක් උස් තැනක සිටියද ,මහේස්ත්‍රාත් ලීලාවෙන් වැජඹුණිද ,රාගය හමුවේ ඇකිළෙන්නේ නිදිකුම්බා මල් හැකිළුණු ආකාරයටය. සමාජයේ උසස් තලයක,උසස් වෘත්තියක සිටින කල තමාගේ ඇග පුරා දිවෙන කිතිය සමනය කරගැන්මට පහත් තලයේ සිටින අය සෑදී පැහැදී සිටිය යුතු යැයි ඔවුන් සිතයි. නමුත් තත්වයෙන් හෝ වෘත්තියෙන් පහත් අයගෙන් යම් කිසි දිනෙයක ඉල්ලන් කන විට ඒ කන්නට දෙන ඒවා අශුචි වුවද එය රස කර කර කන්නට සිදුවේ,

එම මහේස්ත්‍රාත්වරයාටද සිදුවූයේ එයයි. උසාවියේ නඩු අසන විට, තම පුටුවේ සිටියදීම විත්ති කූඩුව දෙසින් ආ අශුචි තලියක් මුහුණු හරහා වැදීමේ "ආතල්" එක දන්නේ ඔහුම පමණි. ප්‍රසන්න විතානගේ තම උත්කෘෂ්ටවත් සිනමා භාෂාව ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් සත්‍ය සිදුවීමක් පාදක කොට ගත්තේය. ඒ රාවය පුවත් පතේ කතෘ වික්ටර් අයිවන් විසින් උලුප්පා දැමු කථාවය. ප්‍රසන්න මෙය මොනතරම් ගැඹුරින් විග්‍රහ කළාද කිවහොත්, එතැන් පසු, උසාවිය තුළ එතෙක් කල් ඇස් වසා සිටි නීතියේ දෙවඟන, නඩුවක් පටන් ගන්නා විට, එම දෑස් රෙදි කඩ ඉවත ලා, බැලුවේ, උසාවි ශාලාවේ කොතැනක හෝ ප්‍රසන්න විතානගේ සිටිනවාද කියාය. හේතුව ප්‍රසන්න තම "උසාවිය නිහඬයි" කෘතියෙන් නීතියේ දෙවඟන ගේ වසා තිබු දෑස් රෙදි කඩ පමණක් නොව, ඇගේ ඇදී වත පවා ගලවා දැමූ නිසාය.

කාන්තාවක විසින් තමාට ලංකා අධිකරණයෙන් සිදුවූ විශාලම අසාධාරණය රාවය පුවත් පතේ කතෘ වික්ටර් අයිවන්ට පැවසුවේ, මේ ගැන තම පුවත් පතින් හෝ සාධාරණයක් වෙනු ඇතැයි සිතාය. ඇය සිතුවාටත් වඩා, ඉහළම සාධාරණය වික්ටර් අයිවන් තුළින් සිදුවිය."මහේස්ත්‍රාත් සැකකරුවෙකුගේ බිරිඳ දූෂණය කරයි" යන හෙඩිම රාවය පුවත්පතේ නොබියව නොසැලී පළ කළේ ඇයටත්, ඇය නියෝජනය වෙන අසරණ පන්තියටත්, ලොකු පිටිවහලක් වීමටය. දුෂිත මහේස්ත්‍රාත්වරයාගේ, සෙළුව මහජනයාට පූර්ණව විවෘත කිරීමටය. පුවත් පතේ දිගින් දිගටම මෙය හුවා දක්වන විට දෘශ්‍ය මාධ්‍යයෙනුත් පෙන්වූවා නම් යෝග්‍ය යැයි ප්‍රසන්නට සිතෙන්නට ඇත.

"උසාවිය නිහඩයි" මුළු රටේම නිහඩ බව බින්දේ ය. වාර්තාමය තිර නාටකයක් ලෙසින් මෙම සත්‍ය සිදුවීම් පෙළගස්වාගත් ප්‍රසන්න එය මනා සංයමයකින් සෙලෝලයිඩ් පටයේ ඇමිනීය. ලංකාව වැනි රටක, දුෂිත මහේස්ත්‍රාත් කෙනෙකුට චෝදනාත්මක නිර්මාණයක් කිරීම පහසු නැත. එසේ චෝදනා කරන්නේ නම් එම චෝදනාව සත්‍යවාදී විය යුතුය. එය සත්‍යවාදී යැයි ඔප්පුකළ යුතුය. චිත්‍රපටය තුල රාවය පුවත් පතේ කතෘ වික්ටර් අයිවන් එම චෝදනා පියවරෙන් පියවර ඔප්පු කළේය.ප්‍රසන්න එම සිදුවීම් පෙළ, ඊට උචිත නළු නිළියන් යොදවා ප්‍රාණවත් කළේය. ඔහු යොදා ගත් නළුනිළියන් කිසිවෙක් ජනප්‍රිය තාරකා නොවීය.නමුත් ඔවුහු එකී චරිතවලට බද්ධ වී, ඒවා හරි අපූරුවට ජීවමාන කළහ.

වික්ටර් අයිවන් විසින් ගවේෂණාත්මකව සොයාගත් සත්‍ය සිදුවීම්, හා ඔහු විටින් විට පුවත් පතින් ඉදිරිපත් කළ ලිපි තුළින් සිදුවුණු සිදුවීම කුමක්දැයි ප්‍රේක්ෂකයාට ඉමහත් විශ්වාසනීය භාවයකින් ඉදිරිපත් කරන්නට ප්‍රසන්න තම සිනමා ඥානය උපයෝගී කර ගති. ප්‍රසන්න එය යථාර්ථයක් බවට පත් කර ගන්නේ චිත්‍රපටයේ අවසන මෙසේ සදහන් කරමිනි. "මහේස්ත්‍රාත්වරයා හා හිටපු අග විනිසුරුවරයා යන මහත්වරුන්ට ඔවුන්ගේ පාර්ශවයෙන් කරුණු දැක්වීමට අප විසින් ලිඛිතව ආරාධනා කරන ලදී. එහෙත් ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නොවීය" එසේ ප්‍රතිචාරයක් නොදැක්වූයේ,ඔවුනට ඔවුනගේ නිවැරදිභාවය ඔප්පුකිරීමට නොහැකි වූ නිසා වන්නට ඇත.

මහෙස්ත්‍රාත්වරයාගේ චරිතය ඇතුළාන්තයෙනුත්, මතුපිටිනුත් ප්‍රේක්ෂකයන්ට ඒත්තු ගන්වන්නේ ස්ත්‍රීන්ට අධික ලෙස ලොල් වූ රාගාධිකයෙක් ලෙසය. නොඑසේනම් තමන්ගේ තත්වය ගැන නොසලකා, තමන්ගේ වෘත්තීයේ ගරුත්වය පවා නොතකා බල්ලෝ බළල්ලු මෙන් තැනක් නොතැනක් ගැන නොසිතා අධිකරණයේ බංකුව මත තබා ගෙන හෝ ස්ත්‍රීන්ට ලිංගීක අඩම්තේට්ටම හා දූෂණය කරන දරුණු මානසික ලෙඩක් ඇති අවලමෙක් ලෙසට ය.මේ ලංකා රජය නියෝජනය කරන තවත් ප්‍රතාපවත් තනතුරක් දරන, එම තනතුර තම සුඛවිහරණයකට යොදා ගන්නා රාජ්‍ය සේවකයෙකුගේ මානසිකත්වයයි. වනචාරි , ලිංගික රෝගියෙකුට පිම්පි කම් කෙරු, ගැහැණු සපයා දෙන නීතිඥවරයාගේ කලිසම් ගලවා දැමීමට, වික්ටර් අයිවන්ගේ පෑනට හැකිවූවා සේම ඔවුන්ව ප්‍රේක්ෂකාගාරයට ගෙනවිත් නිරුවත් කිරීම "උසාවිය නිහඩයි" තුළින් ප්‍රසන්නට හැකි විය. ප්‍රසන්න ඇත්ත ඇති සැටියෙන් කියනවට වඩා ඇත්ත සිනමාත්මකව කිවේය.

මෙම චිත්‍රපටයේ අවසාන රූප රාමු අතර, සරමක් කමිසයක් ඇදගත් ඉතාමත් වයෝවෘද්ධ මිනිසෙක් පරණ විශාල කුඩයක් ඉහලා ගෙන පාරක් දිගේ ඇවිද ගෙන යන දර්ශනයක් තිබුණි. මා මෙම මුළු චිත්‍රපටයේම හරය දුටුවේ එතැනය. මෙවැනි චරිත මොන තරම් අසරණදැයි හරියටම දැනුණේ අර වයෝවෘද්ධ මිනිසා හරහාය. ප්‍රසන්නගේ සිනමාත්මක ඇසේ වටිනාකම දැනෙන්නේ මෙම සංකේත දකින විටය. ප්‍රබල සිනමා කරුවෙකු සතු ඥානය තුලින් විපුල ලෙස ප්‍රයෝජනය ගන්නා අන්දම ප්‍රසන්න මනා ලෙස ඔප්පු කර පෙන්වා තිබුණි.

ලෝකයේ විශිෂ්ට චිත්‍රපට අතරට "සයිලන්ස් ඔෆ් කෝර්ට්ස්" එකතු වන්නේ, එහි රාමුවක් රාමුවක් තුලට, ප්‍රසන්න විසින් සිනමාත්මක වටිනාකමක් දී තිබු නිසාය. ගවේෂණාත්මක වාර්තාමය සිනමා නාටක භාෂාවක්, "උසාවිය නිහඬයි" සිනමා පටය තුලින් ලාංකේය සිනමාවට හදුන්වාදී, එහී තිබෙන යථාර්ථවදි වූ හරය කාව්‍යක්මෙන් පබැද ලෝක සිනමා රසිකයන්ට ඉදිරිපත් කලේ,ඉතාමත් උත්කෘෂ්තවත් සිනමා පටයක් ලෙසය. එදා "පුරහඳ කළුවර","ඉර මැදියම" හා "ඔබ නැතිව ඔබ එක්ක" චිත්‍රපටවල ප්‍රසන්න ලෙසින් ඔහු තැබූ මුද්‍රාව,නැවතත් විසල් ලෙස "උසාවිය නිහඩයි" මත තබන්නට විය.

මා මේ ලිපි පෙළ ලිවීමේදී මුල්ම ලිපියේ දුටු ගැමුණු රජුගේ නීලමහා යෝධයා ගැන ලීවෙමි. එලෙසම මිනිසුන් අතරේ මතුවන "හීරෝ" එක් එක් යුගයකදී වෙනස් වේ. ප්‍රසන්න ගැන මා මුල්ම ලිපියෙන් හදුන්වා දුන්නේ මෙසේය. "මේ කුමක් හෝ එක් කථාවක ආරම්භයකි. කථාව එලෙස ආරම්භ වනවිට, එයින් තවත් විශාල වැඩ කළ හැකි පුංචි මිනිසෙකුගේ කථාවකුත් ආරම්භ විය. නීල මහා යෝධයාගෙන් ,නීල් අම්ස්ට්‍රොන්ග්ට පරිවර්තනය වී, දැන් එය "සිසිල ගිනි ගනී " නම් සිනමා පටය හරහා තවත් විශාල වැඩ කළ හැකි පුංචි මිනිසකුගේ ආගමනය සිදු විය. ඔහු නමින් ප්‍රසන්න විතානගේය."

එදා එලෙස "සිසිල ගිනි ගනී" චිත්‍රපටය තුළින් විශාල වැඩ කළ හැකි පුංචි මිනිසෙකු ලෙස ආ ප්‍රසන්න විතානගේ "අනන්ත රාත්‍රිය" "පවුරු වළලු " පුරහඳ කළුවර" "ඉර මැදියම" "ආකාස කුසුම්","ඔබ නැතිව ඔබ එක්ක" හරහා "උසාවිය නිහඩයි " වන තෙක් පැමිණ ඇත. මා කීවක් මෙන් නීල මහා යෝධයා, නීල් ආම්ස්ට්‍රෝන්ග් අබිබවා යුගයෙන් යුගයට ලෝකයට ආ සුපර් හීරෝ වූ, "සැම්සන්" "ස්පාර්ටකස් " "ජුලියස් සීසර්" "රම්බෝ" "ටර්මිනේටර්" "ස්පයිඩර් මෑන්" වැන්නන් මෙන් ප්‍රසන්න විතානගේද ලෝකයේ තවත් "සුපර් හීරෝ" කෙනෙක් වී ඇති බව මට සත්‍ය ලෙසම ප්‍රත්‍යක්ෂය වූයේ "උසාවිය නිහඩයි" නැරඹු පසුවය.