වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




‘විහිළු රජාගේ උත්ප්‍රාසය’

‘විහිළු රජාගේ උත්ප්‍රාසය’

එංගලන්තයේදී දැඩි ආතතියකින් යුතුව අවිවේකී ජීවන රටාවකට කොටු වී සිටින පැට්ගේ කුටුම්බය කිසියම් වෙනසක් විඳීමේ බලාපොරොත්තුවෙන් ලංකාවට පැමිණෙන්නේ ඥාතියකුගේ විවාහ උත්සවයකට සහභාගි වීම පිණිසය. නමුත් අපේක්ෂා භංගත්වයට පත් වන්නේ මෙම පවුලේ සාමාජිකයින් නොසිතු විරූ පරිද්දෙනි.

කෝමාලි කිංග්ස් සිනමා විමසුම

හිතා ගන්න බැරි විහිළු, ජීවිත ප්‍රශ්න තුළ ගැට ගැසී එකනෙක වෙන වෙනමම යථාර්ථ මාවතකට ගෙන යාමක් වැනිය. 'කෝමාලි කිංග්ස්' ලාංකික දමිළ චිත්‍රපටයේ සිනහව තුළ කඳුළ ඇති තරම්ය. එහෙත් කඳුළු නොඑන තරමටම ගැටලු සංකීර්ණය. ජීවිත ගැටලු තුළ ගොඩනැඟෙන ප්‍රශ්න අපමණය. උපහාසය ද අපමණය. මිරිඟුව අතගෑමකි. එවිට අත ඇතිව, සතු වන්නේ කුමක්දැයි සිතේ.

'මුං බැඳල මට ගහනවා'

ප්‍රවිෂ්ටය හරහා කර්කශ ඝෝෂාකාරී ජනාකීර්ණ වීථියේ මුඩුක්කු පරිසරය තුළින් මතු වන්නේ පැට් සහ බිංගො මාස්ටර්ගේ සංවාදයයි. රළු සංගීත වටපිටාවක ෆන් සිස්ටම් එකක් උදුරාගෙන රිදී තිරය මත හේත්තු කරන කින්ග් රත්නම් නාමාවලියත් සමඟම සියල්ල මාස තුනකට පෙර සිදු වූ විහිළු ඛේදවාචකය(?) තුළ සිරවුණු ජීවිත යථාර්ථයක අතීත අමිහිරි නටබුන් ගැළපුමක් සනිටුහන් කරයි.

එකිනෙකට බද්ධව ගලායන බහු විධ සිද්ධි දාමයේ කෙළවර කොහේදැයි අවසානය වන තෙක් ප්‍රේක්ෂකයාට නොදී සඟවා තබා ගන්නට උත්සාහ ගන්නා කින්ග් රත්නම් අපූරු සිනමා ක්‍රියාකාරකමක් කර ඇතැයි සිතේ.

හඬ රුව දෘශ්‍ය මායාවන් වේගී සංස්කරණ ජාලයන් එකතුවක් හරහා ඇස් රිදවමින්, කනට පහර දෙමින් සිතිවිලි වපසරියකට සිද්ධි වටපිටාවන් දිග හැරෙයි.

හාස්‍යය උත්ප්‍රාසය කරා ගෙන යාමේ ව්‍යායාමය අධ්‍යක්ෂවරයා මැනවින් සම්පිණ්ඩනය කරයි. ඒ සඳහා ඇති සූක්ෂම ලෙස භාවිත කරන මෙවලම් අපූරුය. විස්මිතය.

අධිවේගී රූප ධාවනය තුළ ඉස්මතු වන සංක්ෂිප්ත හරයන් එකිනෙක ගළපමින්, සිදුවන එක් එක් සිද්ධිය හා බද්ධ වේ. සිද්ධීන් එකතුවක ගැළපුම හාස්‍යයේ විස්මිත සංසිද්ධීන් උදුරා ඉස්මතු කරවයි.

මහල් නිවාස සංකීර්ණය තුළ සිවා අංකල්ගේ නිවසේ ඇතුළාන්තයේ ජීවන රටාවට ඉව කරන්නට සිදුවන ආගන්තුක පවුලේ සාමාජිකයින් තුළ සැරිසැරෙන ජීවන සිතිවිලි හා ගැටෙන අරුම ගැටුම් තුළින් ප්‍රහසනයේ මාවත විවර වන්නේ සැඟවුණු ජීවන යථාර්ථයන් කුළුගන්වමිනි.

එංගලන්තයේ සිට සිවා අංකල්ගේ ගෙදරට පැට් සහ පවුලේ සාමාජිකයින්ගේ පැමිණීම තුළින් චරිත ගැටුම ඉස්මතු වෙයි. කොළඹ සාප්පු සවාරියේදී සිවා අංකල්ට වතුර බීමට ලැබෙද්දී සෙසු සාමාජිකයෝ කිරි පානය කරති. අසුන්දර සුන්දරත්වයක් තාරුණ්‍යයේ අරුමැසි පෞරුෂයක්, සිවා අංකල්ගේ ගෙදරට අල්ලපු ගෙදර තරුණයා රැගෙන එයි. ඒ අතරේ ඊර්ෂ්‍යාව එක් මානයකින් මාවතක් වෙයි.

'පාටිවලට ආසද?'

'මම එහෙම කෙනෙක් නෙමෙයි'

තට්ටු නිවාසයේ එක් පැය විසි හතරක කාලය සංසිද්ධීන් රැසක තුළිතයක් මතු කරයි.

මඩකලපු ගමන (චාරිකාව) පැට්ගේ ස්මරණයකි. ගී කියන මාළු, පවුලේ ආර්ථික අහේනිය, සිහින මතක මඩකලපුව තුළින් මතු වෙයි.

'මොකෝ තාත්තට මෙච්චර ආදරේ'

'මඩකලපුව මගේ පණ'

දරුවන්ගේ ප්‍රීති ප්‍රමෝදය හරහා මිහිකත යට වළලා දැමුණු වස්තුව සිහිපත් වීම තුළින් ගැටුම ඉදිරියට විකසනය වෙයි. නවමු රූප රචනා ප්‍රවිෂ්ටයක් තුළ රංගන ප්‍රතිභා විලාසිතාව හාස්‍යයේ උපරිමය තුළින් හිනා නොයන උපහාසය මෙහි ඉස්මතුවකි.

කල්ලඩි පාලමේ දියෙහි වෙසෙන ගී කියන මාළුන්ට ආදරයේ ශේෂ මුදා හැරීම් කින්ග් රත්නම් 'කෝමාලි කිංග්ස්' තුළින් අපූරුවකින් යුතුව දෘශ්‍යමාන කරවයි. ඉන් හාස්‍යය පීඩිත ජීවිත යථාර්ථයකට ගැළපුමක් සම්පිණ්ඩනය කරවයි. පැට්ගේ ආල ගැටුම සිහින් සරල රේඛාවක් සේ රූප හරහා ඡේදනය වෙයි. 'පැට් සහ කලා' ආලයේ ශේෂ මුසු කිසිවකු නොදන්නා අනගි පෙට්ටියේ සැකය ගැටුම් පරිසරයක් චිත්‍රපටය තුළ විස්මිතව මතු කෙරෙයි.

ප්‍රසංගික ලෙස චරිත හැසිරවීමේ අපූරුව අධ්‍යක්ෂවරයා සතු නවමු කුසලතා ඉස්මතුවීමක් වැන්න. අවස්ථා හා සිද්ධි අතිශය සංක්ෂිප්තය. කෙටි දෙබස් දිගු සිද්ධි විකාශය කරා මුල පුරයි. එළවළු වෙළෙන්දා සමඟ සිවා අංකල් කරනු ලබන ගනුදෙනුව නිදසුනකි. පැට් වග විභාගයකින් තොරව ගැන්සියේ වාහනයට ගොස් රිසිසේ අසුන් ගෙන ධාවනයට අණදීම තවත් නිදසුනකි.

රූප රචනයෙහි, දෙබස් රචනයෙහි භාවිතාව සමකාලීන තමිල්නාඩු සිනමාවෙන් උගත් දෙය අපට සිහිපත් කරයි.

අභිලන්ගේ ක්‍රියකාරකම් තුළ ඇත්තේ ද අපූර්වත්වයකි. අත ඇති කැමරා ෆෝනයෙන් සියුම් ලෙස චරිත තම ග්‍රහණයට ලක් කර ගනියි.

එංගලන්තයේදී දැඩි ආතතියකින් යුතුව අවිවේකී ජීවන රටාවකට කොටු වී සිටින පැට්ගේ කුටුම්බිය කිසියම් වෙනසක් විඳීමේ බලාපොරොත්තුවෙන් ලංකාවට පැමිණෙන්නේ ඥාතියකුගේ විවාහ උත්සවයකට සහභාගි වීම පිණිසය. නමුත් අපේක්ෂා භංගත්වයට පත් වන්නේ මෙම පවුලේ සාමාජිකයින් නොසිතු විරූ පරිද්දෙනි. ශ්‍රී ලංකාවට පැමිණ ගුවන් තොටුපලෙන් වාහනයට ගොඩ වූ තැන සිටම එය ක්‍රමයෙන් සිදුවෙමින් ව්‍යාප්ත වෙයි. අභිලන්ගේ ප්‍රකාශ ඊට සාක්ෂි සපයයි.

ප්‍රේක්ෂකයින් ප්‍රතික්ෂේප කිරීම නිසා ආරම්භක දර්ශනයේ සිටම ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවල පසුගිය වකවානුව තුළ හුදෙකලා වූ චිත්‍රපට නිර්මාණය කළ අධ්‍යක්ෂවරුන් 'කෝමාලි කිංග්ස්' නරඹා එහි හරය ගෙන, භාවිතාව අධ්‍යයනය කර, සම්මාන පිණිසම නොව සිනමා කර්මාන්තයේ උන්නතිය උදෙසා, ප්‍රේක්ෂක රුචිකත්වයට අවැසි චිත්‍රපට අධ්‍යක්ෂණය පිණිස, අත්දැකීම් ලබා ගැනීමට මෙය කිසියම් පූර්ව අභ්‍යාසයකි.

ඉන්දීය පරිචය මත යැපෙන දමිළ, හින්දි සිනමාව මඟින් චිත්‍රපට රසවිඳින ප්‍රේක්ෂකයාට 'කෝමාලි කිංග්ස්' විටෙක සමීප නොවන්නට ද පුළුවන. නමුත් එහි ඇති වාග් සංකලන තුළින් ඉස්මතු වන භාෂාව අපූරුතා රැසක මුසුවකි. දෙමළ භාෂාවේ වුව ද එක් එක් උච්චාරණ විධි මත සම්ප්‍රදායන් බිඳ දමා සරල ශ්‍රව්‍ය මාන, නව මානයක් එක් කරයි. එසේම ඉංග්‍රීසි, සිංහල වාග් විලාස චිත්‍රපටය තුළ අපූරුතා මවන්නට සමත්ව තිබීම ද නොරහසකි.

චිත්‍රපටය තුළ මතුවන චරිත තුළින් හාස්‍යය උපරිමයෙන් ගෙන උපහාසය මතු කරවයි. ඒ අතරින් මෙහි පීඩිත ජීවිත මුහුණ දෙන සමාජ ආර්ථික ගැටලු මුසු කරවයි.

ඉන්දීය රසය උරාගෙන භුක්ති විඳින දමිළ, හින්දි සිනමාලෝලීන් 'කෝමාලි කිංග්ස්' කෙසේ පිළිගනීවිද යන කුතුහලය ඇතිවේ. එය සම්පූර්ණයෙන්ම චිත්‍රපටය ලාංකික වීමමද විය හැකිය.

ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ 'පොන්මනී' සහ අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ 'ඉනිඅවන්' තුළින් නිරූපිත සම්භාවනීය රූපන රටාවෙන් බැහැර වූ වාණිජමය දෘෂ්ටියකින් නිර්මාණය වී ඇති එහෙත් මානුෂීය ගැටලු උපහාසය මුසු හාස්‍යයෙන් නිරූපණය වන සම්පූර්ණ ලාංකීය ලෙස සැලකිය හැකි දමිළභාෂීය 'කෝමාලි කිංග්ස්' තවත් මානයකින් ලාංකික සිනමාවට එකතුවීම පැසසිය යුත්තකි. අධ්‍යක්ෂ කින්ග් රත්නම් එකිනෙකා තම තමන්ගේ ජීවන රටාවන් සඟවමින් තරම විදහා පාන්නට යත්න දැරීම තුළ අතරමංවීමේ සේයාවක් මතුවන ආකාරය උපහාසයෙන් විමසුමට ලක් කෙරේ.

දමිළ බස් වහරේ විවිධතා මුසු වූ සිංහල, ඉංග්‍රීසි භාවිතාව එක් මානයකින් වාග් අලංකරණයක් සේ දැනේ. දකුණු ඉන්දීය සිනමා තාක්ෂණ මුසුව ද මෙහි විශේෂයකි.

රංගන දායකත්වයෙන් එකිනෙකා පරයමින් චිත්‍රපටය තුළ සියලු චරිත එකතුවක් ලෙස දැකිය හැකිය. කින්ග් රත්නම්, දර්ශන් ධර්මරාජ් නිරංජනී ෂම්මුරාජා, ප්‍රියන්ත සිරිකුමාර, නෙකිටා රිෂානි, භජන් ගනේෂන්, රාජා ගනේෂන් එකතුවට නිදසුන් වේ.

දමිළ චිත්‍රපටයක දකින පිහි, කඩු, කිනිසි වැනි ආයුධ ලේ සෙලවීම්, මරා ගැනීම්, අනිසි සටන් වලින් නිදහස් වූ චිත්‍රපටයක් ලෙස සැලකිය හැකිය.

අපූරුතා රැසක් ප්‍රකට කෙරෙන අධිවේගී සංස්කරණ විලාසිතා මාදිලිය, අරුමැසි වේශ නිරූපණය හා විවිධාංගීකරණයෙන් යුතු පසුතල භාවිතාවන් මතු සියල්ල අභිබවමින් චිත්‍රපටය තුළ ඉස්මතු වන ආකාරය අගය කළ යුතු වේ.

සිංහල සිනමාව තුළ ලාංකික ප්‍රේක්ෂකයාට විශේෂිත වූ 'කෝමාලි කිංග්ස්' චිත්‍රපටය සමස්ත දිවයින පුරා නැරඹීමට හැකි ක්‍රමවේදයක් සැකසී නොතිබීම කනගාටුව කරුණකි.