වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




අද අපි කුලීකරුවෝ වෙලා

අද අපි කුලීකරුවෝ වෙලා

සුගත් ජානක

රඟපෑමෙන් මම ලබන්නේ ආත්ම තෘප්තියක් පමණයි

ඒ ගැන නම් කතා කරන්න එපා

යටත් විජිත යුගයේ සුද්දන්ට පරගැතිකම් කළ කළු සුද්දන් සිටි වග ඉතිහාසය පුරාවට සාක්ෂි දරනු ඇත. එදා රජ කාලයේ පටන් පවතින ඒ අපකීර්තිමත් සමාජ ශෝධනය අදත් අප සමාජයේ නැතුවා නොවෙයි. දෙරණ නාළිකාව ඔස්සේ විකාශය වන මුතුකුඩ ටෙලි නාට්‍යයේ ආබෲ ද එවැනිම වූ පුද්ගලයෙකි. රාජ ද්‍රෝහියකු ලෙසින් මුතුකුඩ ටෙලි සිතුවමට එක්ව සිටින සුගත් ජානක හා කතාබස් කරමු.

පරගැතිකම් කරන්න ගිහිල්ලා මේ දවස්වල හොඳ හැටියට බැනුම් අහනවා කියලා නම් ආරංචියි?

ඒ ගැන නම් කතා කරන්න එපා. ආබෲට මම රඟපාන එක ඇත්ත. බනින එක තමයි ඉවසන්න බැරි. මොනව කරන්නද එදා රජ දවසේ අපේ අය මේ වගේ හැසිරිලා තියෙනවනේ. එහෙම වුණ නිසානේ අපිට පරසුද්දන්ට යටත් වෙන්න වුණේ.

කරන චරිතයට මිනිස්සු බනිනවට සුගත් අකමැති නෑ වගේ?

මිනිස්සු බනින්නේ චරිතෙ මම හොඳට කරන නිසානේ.

සුදු අඟුරු ටෙලි නාට්‍යයේත් ඔබ මේ දවස්වල දකින රුවක්?

ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන මේ ටෙලි නාට්‍යයේ මම මාකස්.

විශේෂයෙන් මොන වගේ කලා කටයුතු ද මේ දවස්වල කරගෙන යන්නේ?

සිහිනයට මං ආදරෙයි, දඬුකඳයි රන් කඳයි, උරුමයක අරගලය, රිදී මලක් ටෙලි නාට්‍යවල මම රූගත කිරීම්වල නියැළිලා ඉන්නවා.

චිත්‍රපට රංගනයන් ගැන මතක් කළොත්?

මොහාන් නියාස්ගේ ශ්‍රී වික්‍රම රාජසිංහ, ලාල් පි‍්‍රයදේවගේ අතුරු මිතුරු හරි අපූරු, සුරංග ද අල්විස්ගේ කිඩ් නැප්, ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසර්ප, වාසිත සමරනායකගේ රජදහන චිත්‍රපට සඳහා මම රංගනයෙන් දායක වුණා. ඉදිරියේදී මේ චිත්‍රපට තිරගත කෙරේවි.

ආපසු හැරිලා බැලුවොත් මේ වන විට චිත්‍රපට කොපමණ ප්‍රමාණයකට දායක වෙලා ඇතිද?

මම හිතන්නේ චිත්‍රපට විසි පහක විතර මම රඟපාලා ඇති. ඔහොම හරි ද චිත්‍රපටයේ රඟපාමින් තමයි මම චිත්‍රපට රංගනය ඇරැඹුවේ. ජය පිට ජය, වැඩ බැරි ටාසන් 2, ආදරේ නාමයෙන්, බොම්බේ වෙල්වට්, මායා ආදී චිත්‍රපට බොහොමයක මම රඟපෑවා. චිත්‍රපට රංගනයේදී මාව ප්‍රේක්ෂකයෝ හොඳින් හඳුනා ගත්තේ මායා චිත්‍රපටයේ රංගනය තුළින්.

ඔබේ කලා ජීවිතය මේ ගෙවා දමන්නේ කීවෙනි වසරද?

කලා ක්ෂේත්‍රයට පැමිණිලා මේ ගෙවෙන්නේ දහ නම වෙනි වසර.

ටෙලි නාට්‍ය රංගනය ඔබේ රංගනයේ විශාල පරිවර්තනයක් ඇති කළා?

සුනිල් සිරිවර්ධනගේ කුලවි ලෝකනය ටෙලි නාට්‍යයෙන් 1999 දී තමයි මම පුංචි තිරයට එක් වුණේ. මේ වෙන කොට මම ටෙලි නාට්‍ය අසූවක විතර චරිත රඟපාලා ඇති. ගැහැනු ළමයි ටෙලි නාට්‍යයේ පියසේනගේ චරිතය තුළින් තමයි මාව පුංචි තිරයේ මුලින්ම ජනප්‍රිය වුණේ. අදත් මම මොන චරිතය කළත් ප්‍රේක්ෂකයෝ පියසේන ගැන කතා කරන්න අමතක කරන්නේ නෑ.

කළ රඟපෑම් නැවත දැකීම තුළ මොකද හිතෙන්නේ?

විවිධත්වයෙන් යුතු චරිත ලැබීම ගැන මම සතුටු වෙනවා. සමහර මම කළ චරිතවලින් මට ආමන්ත්‍රණය කරන අවස්ථා තියෙනවා. නැවත චරිතය නැරැඹීම තුළ මට හිතෙනවා මීට වඩා මට මේ චරිතය කරන්න තිබුණානේ කියලත් මට චරිතය ලැබුණු අවස්ථාවේ. මම උපරිමයෙන් ඒ සඳහා සාධාරණයක් කළා. කොහොම වෙතත් වැඩිහිටියාගේ ඉඳලා කුඩා දරුවා දක්වා මට චරිත රඟපෑම වෙනුවෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.

රංග ශිල්පියෙක් වීම ගැන අද ඔබ තෘප්තිමත් ද?

වෘත්තීයෙන් රංගන ශිල්පියෙක් වීම අද ලංකාවේ අමාරු කටයුත්තක්. රඟපෑමෙන් මම ලබන්නේ ආත්ම තෘප්තියක් පමණයි. ආත්ම තෘප්තිය පමණක් කලාකරුවෙකුට මදි. ඔහු කලාව වෘත්තීයක් කර ගත්තොත් ඔහුට හෝ ඇයට ඒ සඳහා ආදායමකුත් තිබිය යුතුයි. අද කලාව පමණක් වෘත්තීය කර ගැනීම අපේ සමාජයේ ඒක ජීවන අරගලයේදී ලොකු ප්‍රශ්නයක් වෙලා. කලාව කියන දේ විශාල කර්මාන්තයක් ලෙස පැතිර ගොස් නොසිටීමයි එයට හේතුව.

අද ඔබ මුදල මත නොවේද කලාව තුළ නියැළෙන්නේ?

මට මුදල කියන දේට වඩා කලා නිර්මාණයේ වටිනාකම තමයි වැදගත්. ඒත් මම කලාවෙන් ජීවත් විය යුතුයි. මම කළ නිර්මාණ දිහා බලල මම සතුටු වෙනවා වගේම මුදල ගැන නොසිතා කලාව වෙනුවෙන් කැප කළ අවස්ථා මගේ ජීවිතයේ ඕනෑ තරම් තියෙනවා.

සුගත් වේදිකාව අමතක කරලද?

මගේ රංගනයේ ඇරැඹුම වේදිකාව. පාසල් වේදිකාව තුළින් ලැබුව පන්නරය තමයි මේ දිගු ගමනේ සාර්ථකත්වය. වැසියෝ නමින් මම පාසල් වේදිකාවේ මුලින්ම වේදිකා නාට්‍යයක රඟපෑවා. ඊට පස්සේ අපූරු යහළුවෝ. දෙයියන්ගේ කූටයට ආදී නාට්‍ය කීපයකම රඟපෑවා.

රංගන ශිල්පියෙකු ලෙසින් වගේම ඔබ ගායනයටත් දක්ෂතා පෙන්වන පුද්ගලයෙක්?

මම ප්‍රසංග වේදිකාවේත් අද ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙලා. මම වැඩිපුරම ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාලයන්ගේ ගීත.

රඟපාන්න ලැබුණු චරිත ගැන තෘප්තිමත් වගේම ඔබේ චරිත බලාපොරොත්තුවේ ඉදිරිය කොහොමද?

අන්ධ කෙනෙක්ගේ චරිතයක් කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. කවද හරි දවසක ඒ සිහිනය සැබෑ වෙයි කියලත් හිතෙනවා.

ඔබේම ගීත හරහා ගායකයකු ලෙස ක්ෂේත්‍රයේ රැඳීමට කැමැත්තක් නැද්ද?

මගේම කියලා ගීතයක් මම නිර්මාණය කරලා තියෙනවා. 'බොරු බිසී' කියලා. ප්‍රසංග වේදිකාව ඔස්සේ මම ඒ ගීතය රසිකයන් අතරට රැගෙන එනවා. විදෙස් සංචාර දෙක තුනකටත් මට ආරාධනා ලැබිලා තියෙනවා සංගීතය පැත්තෙන් ගායකයකු ලෙස සහභාගි වෙන්න.

අද තැනෙන ටෙලි නාට්‍ය වගේම ටෙලි නාට්‍ය කලාව ගැන රංග ශිල්පියෙක් වශයෙන් ඔබට මොකද හිතෙන්නේ?

විදෙස් ටෙලි නාට්‍ය මෙහෙ ගෙන්වා හඬ කවා පෙන්වීම නිසා අපේ ටෙලි නාට්‍ය කලාව කඩා වැටිලයි තියෙන්නේ. මෙය අපේ කලාකරුවන්ට විශාල පහරක්. කලාකරුවාගේ සිත සුවපත් කරන්න අද කවුරුවත් නෑ. අද අපේ කලාකරුවන් කුලීකරුවන්ගේ තත්ත්වයට පත් වෙලා. මේක මහා ඛේදවාචකයක්.