වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සන්නි යකුම හෙවත් දහ අට සන්නිය
2018 උසස් පෙළ සඳහා සැරසෙමු

සන්නි යකුම හෙවත් දහ අට සන්නිය

පසුගිය සතියෙන්...

රාමා මැරීම

මෙයද මරා ඉපැද්දීමට බොහෝ සෙයින් සමානය. මෙහිදී ද සිදු වන්නේ කෙනකු මරණයට පත්කර නැවත පණ ලබාදීමකි. ඒ අනුව තමාගේ රෙදි හොරකම් කළේ යැයි සැකකර හෙට්ටියා රාමාව මරා දමයි. හෙට්ටියා පැන යන්නට සූදානම් වන විට මිනිස්සු හෙට්ටියා අල්ලා රාමාට නැවත පණ උපද්දවන ලෙස බල කරයි. මෙහි ඇති නාට්‍යමය ලක්ෂණ පහත සඳහන් වේ.

* සිංහල නොදන්නා රාමාත් සිංහල දන්නා හෙට්ටියාත් අතර වන හාස්‍යජන සංවාදය

* හෙට්ටියා රාමා මරා දැමීම අනුරූපණයෙන් සිදු කරයි.

* හෙට්ටියා රාමාගේ නෑදෑයින් පැමිණි බව පවසා රාමාට නැවත පණ ලබාදීමට උත්සාහ කරන හාස්‍යජනක අවස්ථාව

පුරා කතාව

සංඛපාල රජතුමා තම බිසව බලගන්නා ලෙස මහ ඇමතිට පවරා යුද්ධයට ගියේය. නමුත් ඒ වන විටත් බිසව ගැබ්බර වී සිටි බව රජු නොදත්තේය. බිසව තමාට හටගත් දොලදුක නිසා මී අඹයක් කමින් සිටින විට එතැනට පැමිණි දුගී ස්ත්‍රියක් මී අඹයෙන් කොටසක් ඉල්ලුවාය. නමුත් බිසව ඇයට නොදී තනිවම අඹය අනුභව කළ නිසා කෝපයට පත් දුගී ස්ත්‍රිය රජු යුද්ධය ජයග්‍රහණය කර එන පෙරමඟට ගොස් බිසව මහ ඇමති සමඟ අනාචාරයේ හැසිරුණ බවත්, ඒ නිසාම ගැබ් ගෙන ඇති බවත් රජුට පැවසුවාය. රජු කිසිවක් නොවිමසා බිසව දෙපළු කර මැරුවේය. පසුව සුළඟේ ආධාරයෙන් බිසවගේ සිරුරේ කොටස් එකතු වී කුමාරයා උපන් බව කියවේ. තම මව නිරපාරදේ මරා දැමීම නිසා කෝපයට පත් කුමාරයා කැලේ ඇති විෂ ගෙඩි හා කොළ යොදා ගුලි 18 ක් සාදා එයින් සන්නි යකුත් 18 දෙනකු මවා ඇත. එම සන්නි යකුත් විශාලා මහනුවර තුන්බිය (රෝග, දුර්භික්ෂ, අමනුෂ්‍ය) ඇති කළහ. බුදුන් වහන්සේ රතන සූත්‍රය දේශනා කොට තුන් බිය දුරු කළ බව කියවේ. එම සන්නි යකුත් 18 දෙනා මෙසේය.

1. භූත සන්නිය

2. අභූත සන්නිය

3. අමුක්කු සන්නිය

4. වෙඩි සන්නිය

5. වාත සන්නිය

6. කණ සන්නිය

7. පිත් සන්නිය

8. බිහිරි සන්නිය

9. ගොළු සන්නිය

10. මුරුතු සන්නිය

11. දෙමළ සන්නිය

12. නාග සන්නිය

13. කොර සන්නිය

14. ගිනි ජාල සන්නිය

15. ගුල්ම සන්නිය

16. සීතල සන්නිය

17. දේව සන්නිය

18. මහා කෝල සන්නිය

සන්නි යකුමේ නාට්‍යමය අවස්ථා . . .

* සූනියම් යක්ෂණියගේ වේෂත්‍රය

* පැදුරේ දැපවිල්ල

* සන්නි යක් පෙළපාලි

* සන්නි යකුන්ගේ පැමිණීම

* මහාකෝළ සන්නි යකාගේ පැමිණීම (කඩවත් තරණය)

සූනියම් යක්ෂණියගේ වේෂත්‍රය...

සූනියම් යක්ෂණිය අවස්ථා තුනකදී වේෂයන් තුනකින් පැමිණේ.

1. තරුණියක් ලෙස

2. ගැහැණියක් ලෙස

3. මවක් ලෙස

මෙම අවස්ථා ත්‍රිත්වයේ දක්නට ලැබෙන පොදු නාට්‍යමය ලක්ෂණ පහත සඳහන් පරිදි හඳුනාගත හැකිය.

1. රංග වස්ත්‍ර හා වෙස් මුහුණු භාවිතය

තරුණියක් ලෙස

කුඩා ගැහැණු වෙස් මුහුණක් පැලඳ, ගොක් කොළවලින් කොණ්ඩයක් බැඳ, සුදු වස්ත්‍රයක් හැඳ එයින්ම මුහුණ වසාගෙන පැමිණේ.

ගැබිණියක් ලෙස

තරුණියක් ලෙස පැලඳි වෙස් මුහුණ ගලවා වෙනත් වෙස් මුහුණක් පැලඳ, සුදු වස්ත්‍රයම හැඳ, එම වස්ත්‍රයට යටින් උදරයට කොට්ටයක් බැඳගෙන පැමිණේ.

මවක් ලෙස

කලින් තරුණියක් ලෙස පැලඳි වෙස් මුහුණම පැලඳ, උදරයට බැඳි කොට්ටය ගලවා, සුදු වස්ත්‍රයම හැඳ, දරුවෙක් ලෙස බෝනික්කෙකු අතින් ගෙන පැමිණේ.

2. ආංගික අභිනය

තරුණියක් ලෙස

ලේන්සුවෙන් මුහුණ පිස දමයි. ලෙන්සුවේ කොනක් ගෙන කටේ දමා සපයි. මලක් කඩා කනේ ගසා ගනියි. නන් අයුරින් උකුළු - මුකුළු කරයි.

ගැබිණියක් ලෙස

මහත් වේදනාවෙන් ගාට ගාට ඇවිදියි. 'උපනුපන් ජාති ජාතිත් මේ වගේ කරදරයක් කාටවත් වෙන්න එපා' යනුවෙන් තමන්ගේ වේදනාව වචනයෙන් ද ප්‍රකාශ කරයි.

මවක් ලෙස

දරුවා අතින් ගෙන නලවමින්, කවි කියමින් පැමිණේ.

3. වාචික අභිනය

තරුණියක් ලෙස

යකැදුරා ඇයට පළමුව 'ආච්චි අම්මා' ලෙසත්, දෙවනුව 'අක්කණ්ඩි' ලෙසත් අමතන විට ඇය කෝප වේ. අවසානයේ 'නංගිහාමි' යනුවෙන් ඇමතූ විට ඇය සතුටුව යකැදුරාට උකුළු මුකුළු පායි. මේ අනුව වරදවා වටහා ගැනීම් නිසා මෙම සංවාදයෙන් හාස්‍යය උපදී.

ගැබිණියක් ලෙස

ඇය තමන් ගැබ්ගෙන ඇති බව නොදනී. ඇය සිතන්නේ තමාට උදරයේ අමාරුවක් සෑදී ඇති බවයි. ඇයගේ දොළදුක් පිළිබඳ විමසා බලන යකැදුරා ඇය ගැබ්ගෙන ඇති බව ඇයට පැහැදිලි කර දේ. ඒ අනුව මෙම සංවාදයෙන් ද වරදවා වටහා ගනීම නිසා හාස්‍යය උපදින බව අපට පෙනී යයි.

මවක් ලෙස

තමාගේ දරුවාගේ පියා කවුරුන්දැයි ඇය නොදනී. නම ලියාපදිංචි කරන රාළහාමි ඇයගෙන් දරුවාගේ පියාගේ නම විමසූ බවත්, එවිට ඇය නම් බොහෝමයක් කියූ බවත්, එම නිසා දරුවාට හොඳම නම 'කලවම්දාස' යැයි රාළහාමි පැවසූ බවත් ඇය යකැදුරාට පවසයි.

4. සංගීතය සහ නර්තනය

මෙම අවස්ථා තුනේදීම පහතරට බෙරය හා ගෙජ්ජි යන සංගීත භාණ්ඩ භාවිත වේ. එසේම මවක් ලෙස පැමිණෙන අවස්ථාවේදී දරුවා නලවන විට කවියක් ගායනා කරයි

උදා:

අත්තක පිපි මලක් ලෙසේ

මගේ පුතා මටත් උසේ

දොයි දොයි දොයි දොයිය බබා

බයි බයි බයි බයිය බබා

සූනියම් යක්ෂණිය අවස්ථා තුනේදීම වේශයට ගැළපෙන ආකාරයට විවිධ ගමන් තාල භාවිතා කරයි.

පැදුරේ දැපවිල්ල

මෙහිදී සිදු වන්නේ රීරි යකාගේ අවතාරයක් වන මරුගේ පැමිණීමයි. මෙහි දක්නට ලැබෙන නාට්‍යමය ලක්ෂණ පහත දැක්වේ.

* ආරම්භයේදී පැදුරු උපතේ හා අවමංගල්‍යයේ කවි ගායනා කරයි.

* යකැදුරා පැදුරේ දිගා වී කිසියම් චරිතයක් අනුකරණය කරමින් නිසොල්මන්ව සිටියි.

* රීරි යකාගේ චරිතය නිරූපණය කරන නළුවා රතු කලිසමක් සහ කළු හැට්ටයක් හැඳ වෙස් මුහුණක් පැලඳ සිටියි.

* වීදිය පිටුපස සිට හූ කියමින් පැමිණ, කඩුවකින් පැදුරේ සිටින පුද්ගලයාට අනින බව අනුරූපණය කරයි. පසුව මළකුණ පැදුරේ ඔතාගෙන පලා යයි.