වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

මුහුණු පොතෙන් ඉවතට ගිය පළමු බොලිවුඩ් තරුව

ෆේස්බුක් හෙවත් මුහුණු පොත දැන් ලොව පුරා අතිශය ජනප්‍රිය සමාජ ජාලයක් බවට පත් වී අවසන්. ඇතැමෙක් එය හඳුන්වන්නේ සමාජයට හානි ගෙන දෙන මහා ව්‍යසනයක් ලෙසින්. අපේ රටේත් පසුගිය කාලයේ ෆේස්බුක් ගැන ලොකු කතාබහක් ඇති වුණා කාටත් අමතක නැහැ. බොහෝ දෙනෙකුට ෆේස්බුක් නැතුවම බැරි වුණත් ඒ අතරේ එයින් දුරස් වෙන්න උත්සාහ කරන අයත් නැතුවාම නෙවෙයි. ලොව ජනප්‍රිය ඇතැම් හොලිවුඩ් තරු පවා මේ මුහුණු පොතෙන් ඉවත් වෙන්න ගත් තීරණ ගැන පසුගිය කාලයේ වාර්තා වුණා.

දැන් මේ තත්ත්වය බොලිවුඩයටත් ඇවිත්. ඒ අනුව මුහුණු පොතෙන් ඉවත් වෙන්න තීරණය කළ බොලිවුඩයේ පළමු තරුව බවට පත් වෙන්නේ ෆර්හාන් අක්තාර්. ඔහු සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුම ඉවත් කළ බව ඔහුගේ ට්විටර් පිටුවේ සඳහන් කළා. නමුත් ජ්චපඩචදඒඬඩබචපඹ්ඪමඥ නම් ගිණුම තවමත් සක්‍රීය බවත් ඔහු එහි සඳහන් කළා. කෙසේ නමුත් ඔහු මුහුණු පොතෙන් ඉවත්වීමට ගත් තීරණයට හේතුව නම් සඳහන් කරලා නැහැ. දැනට මාස කිහිපයකට පෙර හොලිවුඩ් නළු ජිම් කේරි සහ හොලිවුඩ් ගායිකාවක සහ නිළියක වන ශියර් ද ට්විටර්හි සඳහන් කරමින් සිය පුද්ගලික ෆේස්බුක් ගිණුම් අත්හිටුවා දැමුවා.

හොලිවුඩයේ සුපිරි අධ්‍යක්ෂවරයෙක් බොලිවුඩයට

Inception, Intersteller, Dunkirk වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ හොලිවුඩයේ සුපිරි සිනමා අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆර් නෝලන් බොලිවුඩයට ඇවිත්. තෙදිනක සංචාරයක් සඳහා මුම්බායට පැමිණි නෝලන් ඇතුළු ඔහුගේ චිත්‍රපට කණ්ඩායම බොලිවුඩ් චිත්‍රපට නිර්මාණකරුවන් සමඟින් සාකච්ඡා පවත්වා ඇති බවත් වාර්තා ගෙන එනවා.

ඉන්දීය සිනමාව පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන මේ හොලිවුඩ් අධ්‍යක්ෂවරයා ලොව සුපතළ ඉන්දීය සිනමාවේදියකු වන සත්‍යජිත් රායිගේ Pather Panchali චිත්‍රපටය නැරඹූ අතර එය එදා මෙදා තුර බිහි වූ අග්‍රගණ්‍ය සිනමා නිර්මාණයක් බවත් තමා තව තවත් ඉන්දීය සිනමා කර්මාන්තය පිළිබඳ හැදැරීමට උනන්දු බවත් එහිදී පවසා තිබුණා. The Dark Knight Rises  චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් 2011 වසරේදී නෝලන් මීට පෙර ඉන්දියාවට පැමිණ තිබූ අතර එවරද ඔහු පැවසූයේ, යළිත් චිත්‍රපටයක් රූගත කිරීමට ඉන්දියාවට පැමිණීමට බලාපොරොත්තුවන බවයි.

පැපරාසි ඇස් ජාන්වි දෙසට

මේ වන විට ශ්‍රී දේවිගේ දියණිය ජාන්වි කපූර් දෙස කාගේත් නෙත් යොමු වී ඇති බව බොලිවුඩයෙන් ආරංචි වෙනවා. ශ්‍රීගේ මරණය සිදුවන විටදී ජාන්වි කරන් ජොහාර් නිෂ්පාදනය කළ ච්ඩචඤචඬ චිත්‍රපටයේ රූගත කිරීම්වලට දායක වෙමින් සිටියා. පසුගිය දිනෙක බොලිවුඩ් ආරංචි ගෙන ආවේ ජාන්වි සන්ජේ ලීලා බන්සාලිගේ චිත්‍රපටයකට දායක වනු ඇති බවයි. එයට හේතුව ඇය පසුගිය දිනෙක බන්සාලි ගොඩනැඟිල්ලේ පිහිටි කාර්යාලයේදී සන්ජේ ලීලා බන්සාලි හමු වී ඇති බවට පැතිරුණු පුවතයි.

කෙසේ නමුත් පසුව ගෙන ආ ආරංචිය නම් ජාන්වි බන්සාලි ගොඩනැගිල්ලට ගිය පුවත සත්‍ය වුවද ඒ ගමන බන්සාලිගේ ඥාති දියණියක වන ශර්මින් ශෙගාල් හමු වීමට යොදා ගත් එකක් බවයි. ශර්මීන් සහ ජාන්වි ලොස් ඇන්ජලීස්හි රංගන පාසලේ ඉගෙනුම ලබන කාලයේ පටන් මිතුරියන් වීම මෙම හමුවීමට හේතුවයි.

රේඛා-සචින් පාර්ලිමේන්තුවෙන් දොට්ට

බොහොමයක් ඉන්දීය තරු සිනමා අඹරේ පමණක් නොව දේශපාලනයේ ද කිරුළු පැලඳීමට සමත් වී ඇති බව නොරහසකි. සිනමාවෙන් දේශපාලනයට පිවිසි නළු නිළියන් රැසක් වන අතර නාර්ගීස් මන්ත්‍රීවරියක බවට පත් වූ ප්‍රථම නිළියයි. ධර්මේන්ද්‍ර, ජයා බච්චන්, ශතෘගන් සිංහ, විනෝද් ඛන්නා, රාජේශ් ඛන්නා, ශබානා අස්මි, හේමා මාලිනී, රේඛා වැනි නළු නිළියන් පසුකාලීනව දේශපාලනයට පිවිසි බොලිවුඩ් තරු වේ.

මේ අතරින් රේඛා ඉන්දීය පාර්ලිමේන්තුවේ රාජ සභා මන්ත්‍රිවරියක ලෙස දිවුරුම් දුන්නේ 2012 වසරේදීයි. ඇය සමඟින් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ද රාජ සභා මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දුන්නා. පසුගියදා ඔවුන් ඇතුලු මන්තිවරුන් කිහිප දෙනෙකුගේ ධූර කාලය අවසන් වූ අතර ඒ වෙනුවෙන් සමුගැනීමේ උත්සවයක් ද පැවැත් වුණා. එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි පවසා සිටියේ, මෙම මන්ත්‍රීවරුන් රටට යහපත් අනාගතයක් වෙනුවෙන් වැදගත් යමක් කිරීමට උත්සාහ ගෙන තිබෙන බවයි.

අගමැතිතුමා එලෙසින් සුබ සමුගැනීමක් ප්‍රාර්ථනා කළ ද ඉන්දීය මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණේ මෙම සුපිරි තරු යුගලය නම් මන්ත්‍රී ධුර ලැබුව ද ජනතාවට කිසිම සේවයක් නොකර ඉවත් වී යන බවයි. රේඛා සේම සචින්ද පාර්ලිමෙන්තු සැසිවාර සඳහා සහභාගි වීම ඉතාම අවම මට්ටමක පැවති බවත් එම වාර්තා ගෙන එනවා.

2012 වසරේ සිට පසුගිය මාර්තු මස ආරම්භය දක්වා පැවති පාර්ලිමේන්තු සැසිවාර 400ක් අතරින් රේඛා සහභාගි වී තිබෙන්නේ සැසිවාර 18ට පමණක් වන අතර සචින් සැසිවාර 29ට සහභාගි වී ප්‍රශ්න 22ක් අසා තිබෙනවා. එසේම කිසිදු පනතක් ඉදිරිපත් කර නොමැති බවත් එහි සඳහන්. රේඛා ද මේ දක්වා කිසිදු ප්‍රශ්නයක් හෝ පනතක් ඉදිරිපත් කර නොමැති බවත් එම පුවත් වාර්තා කර සිටිනවා. කෙසේ නමුත් සචින් රාජ සභා මන්ත්‍රිවරයකු වී සිටියදී ඉන්දීය රුපියල් ලක්ෂ 86.23ක ආදායමක් ලබා ඇති අතර රේඛා ඉන්දීය රුපියල් ලක්ෂ 99.59ක ආදායමක් උපයා තිබෙන බවත් එම පුවත් වාර්තා සඳහන් කරනවා. සචින් විසින් ලද එම ආදායම අගමැති සහන අරමුදලට පරිත්‍යාග කළ බවත් වාර්තා වෙනවා.