වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




වැඩිහිටි නිවාසයක මෙලීෂා සහ සිසිරගේ කතාව

වැඩිහිටි නිවාසයක මෙලීෂා සහ සිසිරගේ කතාව

වැලි පවුරු

සුනිල් පේ‍්‍රමරත්න අධ්‍යක්ෂණයක්

ධම්මික අතපත්තු නිෂ්පාදනයක්

හිරු නොබසින අධිරාජ්‍යයේ සිට මෙරටට පැමිණි සුරූපිණියකි. ඇගේ නම මෙලීෂාය. ශ්‍රී ලාංකික තරුණියකු වූ ඇය හැදී වැඩුණේ එංගලන්තයේය. මෙලීෂා මෙලෙස ලංකාවට පැමිණෙන්නේ ඇගේ පර්යේෂණ කටයුත්තක් හේතුවෙනි. ඒ මෙරට පවතින වැඩහිටි නිවාස පිළිබඳවය.

මෙලීෂා හා හා පුරා කියා එවන් වූ ස්ථානයකට පැමිණෙයි. එතැන සිටින වැඩිහිටියන් පිළිබඳ ඇය මහත් සංවේගයකට පත්වේ. ඔවුන් සමඟ කතාබස් කරන මෙලීෂා තම පර්යේෂණයට අවශ්‍ය දත්ත සපයා ගනියි. වැඩිහිටි නිවාසයේ හුදකලා වූ තැනැත්තෙකි. ඔහු සිසිරය. කා සමඟවත් වැඩිපුර කතාවට නොයන සිසිර කල්පනා කරමින් දිවි ගෙවන්නෙකි. මෙලීෂාට ඔහුව හමුවීමට සිත් විය. එහෙත් එතැන පාලිකාව ඊට කැමැති වූයේ නැත.

එහෙත් ඇයට එකඟ නොවන මෙලීෂා සිසිරව හමුවන්නේ තවත් මොනවා හෝ දත්තයන් එකතු කර ගැනීමේ අභිලාෂයෙනි. ඇය සිසිර ළඟට යත්ම ඇයට මොකක්දෝ වෙනසක් දැනිණ. ඒ මොකක්දැයි පැවසීමට මෙලීෂාට හැකියාවක් නොවීය.

ඒ සියලු දේ යටපත් කොට ඇය සිසිර අසල වාඩි ගනියි. බලවත් වූ පෙරැත්තයකින් අනතුරුව සිසිර හඬ අවදි කරන්නට පටන් ගත්තේය. මෙලීෂා සාවධානව ඔහුට ඇහුම්කන් දුන්නාය. සිසිරගේ කතාවේ අවසානයට ළඟා විය. මෙලීෂා හුන් තැනින් නැගිට්ටාය. ඒ අවසානය තමන්ගේ ජීවිතයට ද බලපෑමක් ඇති කරන්නට පුළුවන් වූ එකක් බැවිනි. සුනිල් ප්‍රේමරත්න මෙකී කතාව ඔබට ගෙන එන්නේ වැල්පවුරු නමින් සිනමාපටයකට කැටිකොටය. එය ඔහුගේ දෙවැනි අධ්‍යක්ෂණය වේ. වැලිපවුරු දම්මික අතපත්තුගේ නිෂ්පාදනයකි.