වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

පාඨක ප්‍රතිචාර ලියන ඔබට

ප්‍රතිචාර තීරයට අදහස් එවන පාඨක ඔබ තමන්ගේ අදහස ඉතා කෙටියෙන් පැහැදිලිව තැපැල්පත්වල පමණක් ලියා ප්‍රතිචාර තීරයට යොමු කරන්න. ඔබ කියන්නට අදහස් කරන දේ සරල අයුරින් ඉදිරිපත් කර ඇත්නම් පමණක් එම ප්‍රතිචාරයට ඉඩකඩ වෙන්කරලීමට අපි කටයුතු කරමු.

සිනමා අදියුරුට සුබ උපන් දිනයක්

අග්‍රගණ්‍ය සිනමාකරු ආචාර්ය ලෙස්ටර් අග්‍රගණ්‍ය පුරවැසියා ලෙසින් ශ්‍රී ලංකාභිමාන ජාතික සම්මානය 2007 දී හිටපු ජනාධිපතිතුමාගෙන් ලැබීය. ලෝකයේ සිටි ජ්‍යෙෂ්ඨතම සිනමාකරු මැනුවෙල් ඩී. ඔලිවේරා පෘතුගාලයේ අවුරුදු 105 පසු 2015 දී අභාවප්‍රාප්ත වූ නිසා දැනට ලෝකයේ සිටින ජ්‍යෙෂ්ඨතම, වයෝවෘධ සිනමාකරු ආචාර්ය ලෙස්ටර්ය. 2018 අප්‍රියෙල් 05 ට මෙතුමා 99 ක් ආයු වළදන්නේය. 2006 අම්මාවරුනේ චිත්‍රපටයෙන් පසු සිනමාවෙන් බැහැර වූ නමුත් බොහෝ සිනමාවේදීනට ගුරුවරයකු විය. ඔබතුමාට නිදුක් නිරෝගීකම ලැබේවායි පතමි.


කණ්ඩායම් ගී මතකය අලුත් කරමු

60, 70 දශකවල කණ්ඩායම් ගීතවලින් හෙළ ගී කෙත පෝෂණය කළ 'ලොස් කැබැලරෝස්', 'ලා සිලනියන්ස්', 'ගෝල්්ඩන් චයිම්ස්', 'මූන්ස්ටෝන්', 'ලා බම්බාස්', 'සමනලයෝ', 'මීමැස්සෝ', 'බඹරාස්', 'ලොස් මුචාචූස්'' ග්‍රේන් ලෙනාඩෝස්', 'ත්‍රී සිස්ටර්', 'වින්සෝ සික්ස්', 'ධර්මරත්න සහෝදරයෝ' වැනි සංගිත කණ්ඩායම්වල ගීත එදා වගේ අදත් එකසේ ජනප්‍රියයි. නමුත් වර්තමාන සංගීත කණ්ඩායම් අනුන්ගේ ගී වලින් යැපෙන සංගීත කණ්ඩායම් බවට පත්ව තිබීම කනගාටුවට කරුණකි. ඔවුනට ස්වතන්ත්‍ර නිර්මාණ නැත. ඇත්තේ අනුන්ගේ නිර්මාණ පමණි.


රිදී සීනුව බඳු ලතා

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොලයි. ගායනා ලොවේ අග රැජන ලෙස කිරුලු පළන් ලතා මනස්කාන්ත රිදී සීනුවක් බඳු ස්වරයෙන් ගීත ගායනා කරන ආකාරය අති විශිෂ්ඨයි. දශක ගණනාවක් පුරා ගීත ගායනයෙන් රසික අපට ජීවයක් දෙන ලතා වල්පොල ගායන ශිල්පිනියට චිර ජීවනය සහිත නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි.


සුසිල් ගැයු මිහිරි ගීත කෝ?

50 දශකයේ දක්ෂ ගායකයෙකු වූ සුසිල් ප්‍රේමරත්නයන් අද ජීවතුන් අතර නැතත් ඔහු ගැයූ කෝ අද මැණිකා (මල්ලිකා කහවිට සමඟ) ආදරේ මට නෑ කියා, පෙම් කුසුමේ, පෙම් ලෝක රාජනී ආදී ජනප්‍රිය ගීත තවමත් අප මතකයේ රැඳී ඇත. එවැනි සුමිහිරි ගීත ඉඳහිට හෝ අසන්නට නොලැබීම කනගාටුවට කරුණකි. ඒත් වාසනාවකට මෙන් ඔහුගේ තනි ගීත මෙන්ම යුග ගීතයන් අද සිටින නපුංසකයින් නොගැයීම නම් සතුටට කරුණකි.


උදාරිගේ රංගනය

පුංචි තිරයේ අහස් මාළිගා පේ‍්‍රක්ෂකයන්ගේ නෙත් අතරමඟ නතර කරපු රස විඳිය හැකි හොඳ නිර්මාණයක්.
සිනමාවෙන් අත්විතීය චරිතයක යෙදෙන පෝරිසාදයා හි පොලිස් පරීක්ෂක චරිතයට උදාරි වර්ණකුලසූරිය සාධාරණයක් කර ඇති බව පෙනෙනවා.


ලතා දිසානායකට දීර්ඝායු

හැට හැත්තෑව දශකයේදී ජනප්‍රිය ගායිකාවක සිටි ලතා දිසානායක එදා දුටු ලෙසටම අදටත් ඔබ දක්නට ලැබීම හරිම සතුටුයි. ධෛර්යමත්ව සමාජයටත් සුභ පණිවිඩයක් දෙමින් නිබඳවම සතුටු සිතින් සිනහ මුවින් අප දකිනා ලතා දිසානායකට තවත් චිරාත් කාලයක් ආයු ලැබීමට දීඝායු පතමි.


උදයකාන්ත වර්ණසූරියට

සිංහල සිනමාවේ ඉදිරි ගමන් මඟ වෙනුවෙන් විවිධ කතා තේමාවල් තෝරා බේරා ගෙන නිර්මාණකරණයේ නියැළෙන චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කොතෙක් සිටියත් ඒ ඒ යුගයට උචිත ලෙස හරිම ලස්සනට සිංහල චිත්‍රපට හදන අධ්‍යක්ෂවරයෙක් මේ රටේ සිටිනවා නම් ඒ උදයකාන්ත වර්ණසූරිය බව අද මේ වන විටත් තහවුරු වී හමාරයි. රෝස වසන්තේ, යකඩ පිහාටු, රාජ්‍ය සේවය පිණිසයි, ගිනි අවි සහ ගිනි කෙළි වැනි චිත්‍රපට මීට ගැළපෙන සාක්ෂි වශයෙන් සටහන් කළ හැකියි. ඒ ඒ චරිතයන්ට අදාළව සිනමා ශිල්පි ශිල්පිනියන් තෝරා ගැනීමට ඔහු සතු ඒ දක්ෂතාවය නිසාම ඔහු නිර්මාණය කළ හැම චිත්‍රපටයක්ම ඉතාම ආශාවෙන් නැරැඹීමට හැකියි. ඔබට වාසනාවන්ත අනාගතයක් පතමි.


මාලිනීගේ රඟපෑම් අමතක නොවේ

මාලිනී ෆොන්සේකා සිනමාවට ජීවය දුන් අඩසිය වසරක් තුළ රඟපෑ චිත්‍රපටවල දර්ශන අපිට නම් කිසිදාක අමතක වෙන්නේ නෑ.


නළු නිළියන්ට සුභපැතුම්

මේ දිනවල හිරු රූපවාහිනියෙන් විකාශය වන උරුමයක අරගල ටෙලි නාට්‍යයේ ඉතාම විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරන සියලුම නළු නිළියන්ට මගේ සුබපැතුම්.


නිතර නෑසුණත් මතකයේ රැඳේ

ගායන ශිල්පී සූර්යකුමාර් මුත්තලගේ ගී හඬ අපට නිතරම නෑසුනත් අදටත් මතකයේ රැඳෙන වෙන්ව යන්නදෝ සොඳුරු සිනාවෙන් ආදී ගීත එදා කොතරම් ජනප්‍රියද.


හතරදෙනා ජීවතුන් අතර නැතත් ගීතය ජනප්‍රියයි

'කොඩි ගහ යට අපි උපන්නේ නමගිය තැනකි රටේ' යන ජනප්‍රිය ගීතය දැනුුත් ගුවන් විදුලියෙන් දෙසවනට ඇසෙන විට නිරන්තරයෙන්ම මතකයට නැඟෙන්නේ නීල් රූපසිංහයන්ගේ 'හතර දෙනාම සූරයෝ' චිත්‍රපටයයි. 1973 වසරේදී තිරගත වූ මෙම චිත්‍රපටය එකල අතිශය ජනප්‍රිය විය. ඒ වගේම මෙම ගීතය ද එදා මෙන්ම අදත් කා අතරත් එකසේ ජනප්‍රියය. එහෙත් අවාසනාවට මෙම ගීතය සඳහා රංගනයෙන් දායක වූ හතර දෙනාම අද ජීවතුන් අතර නැත. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, සේනාධීර රූපසිංහ, ඇන්තනි සී. පෙරේරා ඒ හතර දෙනාය. මෙයින් ගාමිණී ෆොන්සේකා සහ විජය කුමාරතුංගයන් ජීවත්ව සිටියදී ජනතා සම්මානයෙන් සහ විවිධ සම්මානයෙන් පිදුම් ලැබුව ද, සේනාධීර රූපසිංහ සහ ඇන්තනි සී. පෙරේරා ජීවත්ව සිටියදී කිසිම ඇගයීමක් වූයේ නැත.


රෝහණට සදා ජය

ප්‍රතිභාපූර්ණ සංගීතවේදියකු ලෙසත්, ගායන ශිල්පියෙකු ලෙසත් පෙළහැර පෑ රෝහණ වීරසිංහ සංගීතය වෙනුවෙන් කරන්නා වූ සේවය අති විශිෂ්ටයි. ඔබට සදා ජය!


ශ්‍රී ලාංකීය ශ්‍රී ලාංකේය කරමු

ශ්‍රී ලාංකීය යනුවෙන් හඳුන්වනු ලබන අපගේ ඇතැම් ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍යයන් එය ශ්‍රී ලාංකේය වශයෙන් නිවැරැදිව හඳුන් වන්නේ නම් මැනවි.


කොපි චැට්වලට පැරැණි නළු නිළියන් අකැපද?

සෑම ඉරිදාවකම හිරු නාළිකාවේ රාත්‍රී 10.15 සිට විකාශනය කරන කොපි චැට් වැඩ සටහනට සහභාගි කරවා ගන්නේ එකම නළු නිළි පිරිසකි. එම නිසා පැරැණි නළු නිළියන් ද සහභාගි කරවා ගන්නේ නම් මැනවි. නැතිනම් එම වැඩ සටහන නැරැඹීමට සිත් නොදේ. රංගන අයියාගේ නිවේදන කටයුතු හරහා කරන නළු නිළියන්ගේ අකරතැබ්බ නම් නියමයි.


මතකයේ රැඳුණ දරු නැළවිලි ගී අද කෝ?

පරසතු මල් - 'පරසතු මල්වල සුවඳ අතීතේ'
සුදු දුව 'නැන්දගෙ තුරුල්්ලේ'
අංගුලිමාල - 'ගොවිදේ ඔරැදේ ඔදපා'
ඉපදුණේ ඇයි - 'ගාමිණී මෑණී සෝමා දේවී'
අටවෙනි පුදුමය - 'බබා බබා අපේ බබා'

එදා සිතුවම් පටවල මෙවන් දරු නැළවිලි ගී තවත් බොහෝ ඇත. එදා එම ගී රචනා කළ ශිල්පීන්ටත්, එම ගී ගායනා කළ ශිල්පින්ටත්, එම රූප රාමුවලට රංගනයෙන් දායක වූ සැමටත් තුති මල්. එම ගී අප මතකයේ තවමත් රැඳී පවතී. අද සිතුවම්පටවලට එවන් සුන්දර ගී ඇතුළත් නොවන්නේ මන්ද? එය කනගාටුවට කරුණකි.


ලව් ස්ටෝරි සාර්ථක වේවා

සමන් එදිරිසිංහගේ නිෂ්පාදනයක් වූ අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයක් වූ '1970 ලව් ස්ටෝරි' චිත්‍රපටයෙහි ජනප්‍රිය නළුවෙක් වූ හේමාල් රණසිංහ, ගම්‍යා, බිමල් ජයකොඩි සහ මහේන්ද්‍ර පෙරේරා රඟන මෙම චිත්‍රපටය සාර්ථක ලෙස ඉක්මනින් නිමවා ප්‍රේක්ෂකයින් හට නැරැඹීමට අවස්ථාව උදා වේවායි අපි පතමු.


සිනමා කර්මාන්තය අගාධයටද?

පළවෙනි කථානාද චිත්‍රපටය තිරගත කිරීමත් සමඟ ආරම්භ කළ චිත්‍රපට කර්මාන්තය වසර හැත්තෑවක් යනතුරා ප්‍රබලව පැවතුණ ද ඉන් පසුව කර්මාන්තය මලක් පර වී යන්නා සේ දිනෙන් දින මැල වී යන්නේය.


සම්මානනීයන් හට සුබපැතුම්

12 වැනි වරටත් පැවැත් වූ SLIM NIELSEN ජනතා සම්මාන උලෙළේදී සම්මානයන් හට හිමිකම් කියූ මාලිනී ෆොන්සේකා, රන්ජන් රාමනායක, සාරංග දිසානායක, ශනුදි ප්‍රියසාද්, නයනතරා වික්‍රමාරච්චි, හේමාල් රණසිංහ, ජූඩ් රොගන්ස්, චාමර වීරසිංහ සහ ශෂිකා නිසංසලා යන සම්මානනීය වූ සියලුම සහෘද කලා ශිල්පීන් හා ශිල්පිනියන් හට රසික සැම දෙනාම උණුසුම් සුබපැතම් එක් කරමි.


ලෙස්ටර් චිරං ජයතු!

සැමගෙම සෙනෙහෙ පුද ලද ගුණ ගරුක දයා
ලක්බිම පිනකි උත්තම පියතුමනි දයා
බෝසමිඳුගේ සෙවෙණෙහි මල් පහන් තියා
පතනෙමි නිරෝගිව දිගුකල් ඉන්න කියා