වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සල්ලි වියදම් නොකර බැහැ ළමයෝ හම්බ කරන්න

සල්ලි වියදම් නොකර බැහැ ළමයෝ හම්බ කරන්න

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි. අනතුරුව ඩික්සන් එම නිවසේම පදිංචි වෙයි. බිනරිගේ පැරැණි මිතුරෙකු වූ දර්ශන චිත්‍රපටයක් නිපදවීම ඩික්සන් පොළොඹවා ගැනීමට උත්සහා කරයි. එහි දුෂ්ටයා වනුයේ ඩික්සන්ය. නිෂ්පාදිකාව බිනරි.

අද එතැන් සිට...

ඊළඟ සති කිහිපය බිනරිට කාර්ය බහුල විය. චිත්‍රපටයේ වැඩ කටයුතු අරඹන්නට සුබ නැකතක් බලන්නට බිනරි ට වුවමනා විය.දර්ශන ඒ සඳහා ඇය කැටුව ගියේ අතුරුගිරිය පැත්තේ ගෙදරකටය.ඔහු නැකත හැදුවා පමණක් නොව බිනරි ගේ නමේ වෙලාව අනුව චිත්‍රපටයට නමක් ද තනා දුන්නේය.එයට පෙර දර්ශන කතාව විස්තර කළේය.එය හාස්‍යාත්පාදක කතාවක් විය.

‘හිත හොඳ සෙල්ලං’

නැකත් බැලුව රූපසිංහ පැවසුවේය.

‘මේ නෝනාගේ නමට නියමට ගැලපෙනවා.කිරි ගහට ඇන්නා වගේ’

‘ඔහු පාරම් බෑවේය.බිනරි සහ දර්ශන ආපසු ආවේ සතුටිනි.

‘ෆිල්ම් එකේ ගොඩක් ෂූටිං කොළඹ පැත්තෙම කරන්නට මම හිතා ගත්තා.බිනරි ඒකෙන් වියදම් අඩු කර ගන්ඩ පුළුවන්.සිංදු තුනක් තියෙනවා ඒකට තමයි ටිකක් දුර යන්ඩ ඕනෑ“.

දර්ශන පැවසුවේ බස්රථයට ගොඩ වී අසුනක් වාඩි වූ පසුය.බස් රථය අතුරුගිරියෙන් ගමන් අරඹා පිටකොටුවට යන්නකි.එහි ගිය පසු බොරැල්ලලෙන් බැස ගත හැක.බිනරි උන්නේ ජනේලය අයිනේය.එයින් පැමිණි සුළග ඇගේ කෙස් වැටය අවුල් කරන්නට වූයෙන් ඇය ඉන් අඩක් වසා දැමුවාය.

‘ඉස්සර නම් සිංදු ෂූට් කළේ නුවරඑළියේ.සුදු පාට මීදුම්’ ගලාලා වගේ සිංදුවක් කොහොමද කරලා තියෙන හැටි’

දර්ශන සිහිපත් කළේය.

‘ඒ කොහේද’

බිනරි ඇසුවාය.

‘අඹේවෙල.අපිට එච්චර වියදම් කරන්ඩ බෑනේ.අපි ඊළග පික්චර් එකේ දී අඹේවෙල නෙමේ පිටරටක හරි ෂූට් කරමුකෝ.’අපි වර්ල්ඩ් මාකට් එක හිතා ගෙන තමා පික්චර් ගහන්ඩ ඕනෑ.බලන්ඩ මේක වුනත් මං හිතනවා ඕස්ටේලියාවේ එහෙම පෙන්නන්ඩ

දර්ශන සිහින මවමින් කියා සිටියේය.

‘එතකොට දැන් කොහෙද හිතාන ඉන්නේ.’

‘ඔය වික්ටෝරියා පාක් එකෙත් පුළුවන්.ඕනම නම් පාදුක්ක වගේ පැති වලත් ලස්සන ලොකේෂන් තියෙනවා‘

බිනරි එයට කිසිත් නොකිව්වාය.හෙට සිට රූ ගැන්වීම් සඳහා දර්ශන තල සොයා යායුතය.එයට මුදල් දිය යුතුය

‘හෙට විසි පන්දහාක් විතර ඕනෑ.බිනරි ලොකේෂන් බලන්ඩ’

‘විසි පන්දාහක්’

බිනරි යළිත් ප්‍රතිරාව නැංවූවාය.

‘ඔව් පැට්‍රල් වලට.දවල්ට කෑම එහෙම.කොහොමත් ඩික්සනුත් යයි නේ.’

දර්ශන පැවසුවේය.

‘ඩික්සන් බාර ගත්තු වැඩ වගයක් තියෙනවානේ.’

බිනරි පැවසුවාය.

‘ඒ වුනාට ඩික්සන් එනවා කිව්වා’

බිනරි කිසිත් කියන්නට ගියේ නැත.

‘මං නොගිහින් ? ඔය දෙන සල්ලි ගැන අපි බලන් ඉන්ඩ ඒන නේ සුදු නෝනේ’

ඩික්සන් එදා හවස බිනරිට පැවසුවේය.පසුදා ඔවුන් දර්ශන බලන්නට ගියේය.රිය පැදවුවේය. ඉදිරි අසුනේ දර්ශන හා රියදුරාය.කැමරාව මෙහෙය වන්නට තෝරා ගෙන තිබුණ පියල් හා ඩික්සන් පසු අසුනේය.ඔවුන් යන තුරු බිනරි බලා සිටියාය.රුපියල් විසි පන් දහසක් ඉල්ලුවාට ඇය දුන්නේ එයට වඩා අඩු මුදලකි.

‘සල්ලි අතේ තියෙනවා කියලා පෙන්වන්න එපා.’

බිනරි ඩික්සන් ගේ අතට මුදල් දෙමින් පවසුවාය.ඔහු ඇයගේ කම්මුලට සුරතලයට තට්ටු කළේය.

ඩික්සන් එදින හවස ගෙදර ආයේ බොහෝ රෑ බොවූ පසුය.

‘ගෙනිච්ච සල්ලි වලින් වියදම් වුණේ ටිකයි.දවල්ට කන්ඩයි පෙට්‍රල්වලට විතරයි.’

ඩික්සන් ඉතිරි මුදල් ආපසු දුන්නේය.බිනරි සැනසුම් සුසුමක් හෙලුවාය.

‘සල්ලි වියදම් නොකර බෑ ළමයෝ හම්බ කරන්ඩ’

ඩික්සන් පැවසුවේය.

‘කොච්චර වියදම් යාවිද මෙයා. පටන් ගන්න කොට විසි පන් දාහක් ඕන වුනාම.’

බිනරි පැවසුවේ කිසියම් අනියත බියකින් යුක්තවය.

‘ඕන කිව්වට ගියේ නෑනේ.කෝකටත් අපි වියදම් ලියා ගන්ඩ ඕන’

ඩික්සන් පැවසුවේය.අනතුරුව බිනරි අතැති මුදල් ගණං කළේය.

දුරකතනය නාද විය.ඩික්සන් උත්තර දුන්නේය.

අනතුරුව ඔහු බිනරි දෙස බැලුවේය.

‘දර්ශන රෑ එනවය කියන්නේ පික්චර් එක ගැන කතා කර ගන්ඩ තියෙනවලු.අලුතින් ගෑනු ළමයෙක් හොයනවාලු.’

‘ඇයි ගන්නවා කියපු ළමයා.’

‘ඒ ළමයා වැඩි ගාණක් ඉල්ලනවා කියන්නේ.ඔය ඕන තරම් ළමයි ඉන්නේ’

‘අනේ මන්දා.’

බිනරි පැවසුවාය.

‘මෙයා දුෂ්ටයාට ඇඳලා මාව අමතක වෙයිද දන්නනේනෑ’

බිනරි පැවසුවාය.

‘පිස්සුද සුදු නෝනේ.ඔයාට මාව අවිශ්වාස නම් අපි මේ වැඩේ මෙහෙමම නතර කරමු.හැබැයි හෙට පත්තරේ මේ පිච්චර් එකේ නිව්ස් එකේ නිෂ්පාදක කියලා බිනරි ගේ නම වැටෙන කොට කාට කාටත් ඇස් ඇරේවි’

ඩික්සන් පැවසුවේ රහසක් හෙළි කරන ලෙසිනි.