වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




එඩ්වඩ්-දඹුලානි ගයන ‘පිනි මුතු ලැල්ලේ’

එඩ්වඩ්-දඹුලානි ගයන ‘පිනි මුතු ලැල්ලේ’

දියණියකගේ සිත තේරුම් ගත් මවක්
ආචාර්ය අජන්තා රණසිංහගේ පබැඳුමක්

මෙය අරුත්බර වූ ආදර ගීතයක් ලෙස හැඳින්විය හැකිය. සුපෙම්වතුන් යුවළක් ආදරය කිරීම ආරම්භ වන තැන ඇතිවන සිතුවිලි සමුදායකින් ගීතය අර්ථවත්ව තිබේ.

සංගීත විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනයෙන් දායක වූ යුග ගීතයක් මේ දිනවලදී අසන්නට ලැබේ. ඔහු සමඟ ගීතවත් වනුයේ දඹුලානි ද සොයිසායි. පිනිමුතු ලැල්ලේ යනුවෙන් නම් කොට ඇති එහි රූප රචනාව මේ වන විට අන්තර් ජාලයට නිකුත්ව තිබේ. පිනිමුතු ලැල්ලේ විශිෂ්ට ගේය පද රචක ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ රචනයකි. සංගීත නිමැවුම එඩ්වඩ් විසින් නිම කොට තිබේ. මෙය අරුත්බර වූ ආදර ගීතයක් ලෙස හැඳින්විය හැකිය. සුපෙම්වතුන් යුවළක් ආදරය කිරීම ආරම්භ වන තැන ඇතිවන සිතුවිලි සමුදායකින් ගීතය අර්ථවත්ව තිබේ. මෙහි රූප රචනාව නිම කළේ නුුගේගොඩ, රාගම අවට ප්‍රදේශයන්හිය. දිනක් පුරා රූගත කළ වීඩියෝවේ රංගන දායකත්වය ලබා දෙනුයේ රුක්ෂානා දිසානායක සහ සංජීව දේශාන්ය. ඔවුනට අමතරව එඩ්වඩ් සහ දඹුලානි චරිත රංගනයෙන් දායක වේ. රූප රචනයේ කතාව මෙසේය. තරුණියකට අහම්බෙන් තරුණයෙක් හමු වෙයි. ඇයට ඔහු කෙරෙහි ආදරයක් හට ගනියි. නමුත් ඇයට ඒ වග තම මවට කියාගත නොහැකි වේ. තරුණයා ගැන යම් දෙයක් පැවසුවොත් මව ඊට එරෙහි වේ යැයි තරුණිය විශ්වාස කරයි. දියණියගේ වෙනසක් මව දකියි. ඇය ඒ ගැන අවධානයෙන් සිටියි. දිනෙක තරුණිය තරුණයා ගැන කල්පනා කරමින් සිටියි. මව එතැනට පැමිණෙයි. ඇය ඇවිත් සිටින්නේ තනියම නොව දියණිය ආදරය කරන තරුණයා සමඟිනි. තරුණිය පුදුම වේ.
මෙම ගීය ගයන දඹුලානි දැනට විදෙස්ගතව සිටින අතර ඇය විශ්‍රාමික රාජ්‍ය නිලධාරිනියකි.

පිනිමුතු ලැල්ලේ ගීතයේ පදමාලාව

පිනිමුතු ලැල්ලේ මල් ඇතිරිල්ලේ
ප්‍රේම විජිතයට යන්නේ
මේ සංචාරේ අත්වැල් පටලා
කවුරුදෝ මා හා එන්නේ

වසන්තේ දැන් ළඟයි - පෙම්වතුන් තුරුළු කරලා
ආදරෙන් අත් බැඳන් - යමු එහෙ මෙහෙ අපි දෙන්නා

මල් මකරන්දේ - ප්‍රේම සුගන්දේ සෙවනෙහි
කාටත් රහසින් අනුරා උයනේ සැතපෙමු

කටු නැති නටුවේ - රෝස මලකි මා කුමරුනේ
විරහ වේදනා අපට නොවේවා කුමරියේ

නිෂ්පාදන කණ්ඩායම
කැමරකරණය සහ සංස්කරණය - සජීව සංකල්ප
අංග රචනය - රසික තෙන්නකෝන්
නිෂ්පාදන සම්බන්ධිකරණය - රන්ජන් ප්‍රසන්න