වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




දුවන ළමයාත් මම තමයි

දුවන ළමයාත් මම තමයි

පාරමී රණසිංහ

සදහටම ඔබ මගේ ඉෂානිට හඬ කැව්වේ මම

පාරා නිලෙප්තා රණසිංහ 2001 වසරේ හිරු ගුවන් විදුලියට එක් විය. ඇයට හාහාපුරා කියා මෙහෙය වන්නට ලැබුණේ උදෑසන වැඩසටහනකි. පාරාගේ නම නිවේදිකාවකට නොගැළපේ යැයි සිතූ අයෙකි. ඒ සුදේව හෙට්ටිආරච්චිය. ඔහු පාරා පාරමී බවට පත් කළේය. එතැන් පටන් ඇය භාවිත කළ නම වූයේ පාරමී රණසිංහය. එය ඇයට වාසනාව ගෙනාවේය. නිවේදිකාවක ලෙසින් කල්පනාකාරී ගමනක යෙදෙන ඇය දැන් විශිෂ්ටතම නිවේදිකාවකි. ඉකුත් රයිගම් සම්මාන උලෙළේදී ඇයව එම ගෞරව බුහුමනින් සම්මානිත කරලීය.

පාරමී පාරමී පුරමින්ද හිටියේ සම්මානයකට?

මීට පෙර මං සම්මාන උලෙළවල් කිහිපයකටම අයැදුම් කරලා තියෙනවා. ඒවායින් සමහර උලෙළවල මාව නිර්දේශත් වුණා. ඇත්තම කිව්වොත් පුංචි හෝ බලාපොරොත්තුවක් ඇතුවනෙ එහෙම කරන්නේ. මෙවර මට සම්මානය හිමි වුණා.

ඔබට හොඳ තරගයකුත් තිබුණා?

ඔව්. මාත් සමඟ නොමිනේට් වෙලා හිටියේ සමිත අයියා, සුදර්ශනී සහ ධනංජය සිරිවර්ධන. ඔවුන් ක්ෂේත්‍රය තුළ හොඳ දස්කම් පෙන්වා තිබෙනවා. ඒ අය අතරින් මාව අංක එක වීම ගැන නිහතමානී සතුටක් තියෙනවා.

සම්මානය ගන්නට යන මොහොතේදී ඔබට අමතක නොවන වදනක් අහන්නට ලැබුණා නේද?

ඒකනෙ. සම්මාන ප්‍රදානය කරන පිරිස අතරේ හිටියා මහාචාර්ය කාලෝ ෆොන්සේකා. ඔහු කිව්වා 'මෙන්න මගේ ප්‍රියතම නිවේදිකාව එනවා' කියලා.

ඔබේ ගමන ආරම්භ කළේ හිරු නාළිකාවෙන්. එතැන් පටන් ජාතික නාළිකාවේ නවාතැන් ගැනීම දක්වා ඔබගේ ගමන්මඟ විස්තර කළොත්?

නිවේදිකාවක් විදිහට ඉදිරියට යන්න හීන මවපු කෙනෙක් නෙවෙයි මම. ඒත් මට කතා කිරීමේ හැකියාව තියෙනවා කියලා මං දැනගෙන හිටියා. මට හිතවත් ආන්ටි කෙනෙක් තමයි හිරු නාළිකාවට මගේ අයැදුම්පතක් පවා දැම්මේ. එතැනින් පසුව මං ස්වර්ණවාහිනියට ගියා. ඊට පසුව නෙත්. ඊටත් පසුවයි ජාතික නාළිකාවට සම්බන්ධ වුණේ. එහි මං පළමුවරට ඉදිරිපත් කළේ සිත්ගත් ගී. මේ වන විට නුග සෙවණ, සිත් ගත් ගී, රූපාවලෝකනය ආදී වැඩසටහන් මෙහෙයවනවා.

ඒත් ඔබ පූර්ණකාලීනව ජාතික නාළිකාවේ නැහැ?

ඒකට හේතුව ආයතනගතවීමට ම'සිත තුළ ඇති අකැමැත්ත. මං මගේ වැඩසටහන් නිම කළායින් පසුව නිදහස්. නැත්නම් ඉතුරු කාලයත් මට එහි තුළම නිකරුණේ ගත කරන්න වෙනවා. මං ඉඩ ලැබෙන වෙලාවල්වලදී දැනුම හොයනවා. ඒකත් එක්ක ආයතනගත වෙන්න මට බැහැ.

සාමාන්‍යයෙන් වැඩසටහනක් මෙහෙයවන්නට පෙර මොන වගේ සූදානමක් ද ඔබ වෙන්නේ?

පොතපත කියවීම මගේ ජීවිතයේ අංගයක් වෙලා. සෑම වැඩ සටහනකටම පෙර මං කරුණු හොයනවා පොතපතින්. ඒ වගේම ක්ෂණික වැඩ සටහනක් වුණත් ලැබුණොත් මෙහෙයවන්න මං ගූගල් සර්ච් කරලා හරි මට අවශ්‍ය දැනුම ලබා ගන්නවා. චිත්‍රපට සම්බන්ධ කරුණුවලදී ඔයාලගේ කර්තෘතුමන්ගෙනුත් අහලා ස්ථිර කර ගන්නවා. කවදාවත් මං පෙර සූදානමක් නැතුව කිසිම වැඩසටහනක් කරන්නේ නැහැ.

ඔබේ ජනප්‍රියත්වය ගැන මොකද කියන්න තියෙන්නේ?

මං හොඳට බලපු කාරණයක් මම කියන්නද. මං වඩාත් ජනප්‍රිය වැඩිහිටි අය අතරේ. අපේ අම්මලගේ තාත්තලගේ වයසේ අය මට හුඟක් ආදරෙයි. මේ දිනවල මං රිවිදින අරුණැල්ල කියලා කෘෂිකාර්මික වැඩ සටහනකුත් කරන නිසා මට ගම් පළාත්වලට ගියාම කියන්නේ 'අන්න කෘෂිකර්ම ළමයා' ඇවිත් කියලා.

කොහොමද ඔබේ හඬ කැවීම් කටයුතු?

කෙරීගෙන යනවා. දෙරණ නාළිකාවේ විකාශය වූ සදහටම ඔබ මගේ ඉෂානිට හඬ කැව්වේ මම. ඒ චරිතය වගේම මගේ හඬ මිනිසුන් හුඟක් වැලඳ ගත්තා. මේ දිනවල දුවන ළමයා ඩ්‍රාමා එකේ දුවන ළමයාටත්, සේයා ගුවන් විදුලි නාට්‍යයේ සේයාටත් හඬ කවනවා.

පාරමී රණසිංහ කියන්නේ මොන වගෙ චරිතයක්ද?

සාමාන්‍ය සම්ප්‍රදායික නොවන උපරිම රැඩිකලුත් නොවන අතරමැදි කෙනෙක්.

ඔබේ පවුල් ජීවිතය ගැන සඳහනක් කරමින් මේ කතාවට නැවතීමේ තිත තබමු?

මගේ සැමියා සජිත් රත්නායක. ඔහු සිරස ගුවන් විදුලියේ අංශ ප්‍රධානි. මට පුතෙක් ඉන්නවා. අපේ පුංචි පවුල සතුටින් ජීවත් වෙනවා.