වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




2044 දී ලෝක විනාශයක් Ready Player One

2044 දී ලෝක විනාශයක් Ready Player One

ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණයක්

මාර්තු 29 සිට ලොවපුරා...

දළ සේයා පටය ඔස්සේ අපූරු මායා ලෝක සැබෑ ලෙසින් රිදී තිරයේ මවන්නෙකු වේ නම් ඒ ස්ටීවන් ස්පිල්බර්ග් මිස වෙන කිසිවෙකුත් නොවන බව සිනමාවට පෙම් බැඳී කවුරුත් දන්නා කරුණකි. මේ වසරේ ඔහු විසින් නිර්මාණය කළ අලුත්ම චිත්‍රපටය සමඟින් වෙනස්ම ආකාරයේ පරිගණක ලොවකට පිවිසීමට අවස්ථාව අපට දැන් උදා වී ඇත. ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කර පසුගිය මාර්තු 29 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීම ආරම්භ කළ  Ready Player One  චිත්‍රපටයෙන් මෙලෙස දිගහැරෙන්නේ ලෝක විනාසයකින් පරිසරය විනාශ වී ගිය පසු සුන්දර ලෙසින් මවන ලද පරිගණක ලොවක වෙසෙන මිනිසුන්ගේ කතාවයි.

2044 වන විටදී මෙලොව පරිසරය ඉතාම දරුණු අන්දමෙන් විනාශ වී ගොස් අවසන්ය. සාමාන්‍ය ලොව ජීවත් වීම අසීරු තැන මිනිසුන් පරිගණකයෙන් නිර්මාණය කරන ලද ලොවකට ඇතුල් වී ජීවත් වේ. එය තාත්වික සේ පෙනෙන සත්‍ය නොවන අවසානක් ද නොමැති විශ්වයකි. එහිදී ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ස්ථානයකට යාමට මෙන්ම ඕනෑම දෙයක් කිරීමේ හැකියාව ඇත. නමුත් ඒ අවස්ථාව උදා වන්නේ, එම දෙය තමන්ට කළ හැකි බවට සිතුව හොත් පමණි. එසේ නොසිතූ තැන කිසි දෙයක් කිරීමට අවස්ථාව නොලැබෙන්නේය.

ජේම්ස් හැලිඩේ නම් වූ ප්‍රකට අග්‍රගණ්‍ය බුද්ධිමතා විසින් මෙම පරිගණක ලොව නිර්මාණය කර ඇති අතර තමාගෙන් පසුව එහි බලය හිමි වන්නේ කවුරුන් වෙත ද යන්නත් ඔහු විසින් සැලසුම් කර ඇත. එය නම් හැලිඩේගේ අභාවයෙන් පසුව රියලිටි තරගයක කොටස් ත්‍රිත්වයම ජයග්‍රහණය කරන පුද්ගලයාහට මෙම ලෝකයේ බලය හිමි වීමයි. ඒ වෙනුවෙන් පළමුව මෙම රියලිටි තරගය ද සොයා ගත යුතුවීම විශේෂත්වයක්. එසේම ඒ පිළිබඳ තොරතුරු දැන ගන්නා පිරිස ද ඉතා අඩු සංඛ්‍යාවක් වන අතර තරගය සොයා ගැනීමද අභියෝගයකි.

රියලිටි තරගයේ පළමු වැන්න නිධානයක් සොයා යාමක් හා සමාන වේ. මෙහි ප්‍රතිවාදියා ප්‍රබල ආයතනයක් වන අතර තරගයට එක් වන්නන් එම ආයතනයට විරුද්ධව සටන් වැදිය යුතු වේ. වේඩ් වොට්ස් නම් තරුණයා තම කණ්ඩායම සමඟින් මෙම පළමු වැනි අදියර ජයග්‍රහණය කරන අතර එතැනින් පසු තවත් ලොවකට පිවිසෙන ඔවුන්හට තමන් ජීවත් වන ලොව බේරා ගැනීම වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ.

අමෙරිකානු විද්‍යාප්‍රබන්ධ වික්‍රමාන්විත චිත්‍රපටයක් වන Ready Player One,  2011 වසරේදී අමෙරිකානු ලේඛක අර්න්ස්ට් ක්ලයින් විසින් රචිත Ready Player One  කෘතිය පාදක කොට ගෙන නිර්මාණය වී ඇත. චිත්‍රපටයේ තිරරචනය සැක් පෙන් සමඟින් අර්න්ස්ට් ක්ලයින් විසින් රචනා කරන ලද්දකි. ටයි ශෙරිඩන්, ඔලිවියා කූක්, බෙන් මෙන්ඩෙල්ෂොන්, ටී. ජේ මිලර්, මාර්ක් රියලන්ස් ඇතුලු පිරිසක් මෙහි රංගනයෙන් දායක වී සිටියි.

මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන ටයි ශෙරිඩන්, ඔලිවියා කූක් හොලිවුඩයේ නවක යොවුන් නළු නිළි යුවලකි. 2011 වසරේ දී The Tree of Life චිත්‍රපටයෙන් හොලිවුඩයට පිවිසි 21 හැවිරිදි ටයි ශෙරිඩන් මීට පෙර X-Men: Apocalypse,The Stanford Prison Experiment, Mud  වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වී ඇත. Ready Player One චිත්‍රපටය 24 හැවිරිදි ඔලිවියා කූක් දායක වන 8 වැනි හොලිවුඩ් සිනමා නිර්මාණය යි. වොනර් බ්‍රදර්ස් පික්චර්ස් විසින් බෙදා හරින Ready Player One  නිෂ්පාදන පිරිවැය ඩොලර් මිලියන 175කි.

එය මේ වන විට IMDb හි ප්‍රේක්ෂක මනාපය 8/10ක් හිමි කර ගෙන ඇති අතර රොටෙන් ටොමැටෝස්හි විචාරක මනාපය 82%ක් ලබා ගන්නට සමත් වී සිටියි. මිහිරි අතීතයක් සමඟින් පැටළුණු විනෝදජනක ගමනක් පරෙස්සම් සහගතව, බොහොම පිළිවෙලට ස්පිල්බර්ග් විසින් චිත්‍රපට නිර්මාණකරණයේ ශක්තීන් එක් කොට සිය චිත්‍රපට නාමාවලියට තවත් අනර්ඝ වික්‍රමාන්විත චිත්‍රපටයක් ලෙසින් ඇතුලත් කර ඇති බව රොටෙන් ටොමැටෝස් පොදු විචාරය පවසා සිටියි.

"මනසට විශ්මයජනක වික්‍රමාන්විත චිත්‍රපට නිර්මාණය සමඟින් ස්පිල්බර්ග් ගැන නම් කතා කරන්න දෙයක් නොමැත. සත්‍ය වශයෙන්ම ඔහුගේ මෙම නවතම සිනමා නිර්මාණය නරඹන ඔබටත් එය තුලට පැනීමට සිත් දෙනවා නොඅනුමානයි" තවත් විචාරකයකුගේ අදහසයි. USA Today  හි විචාරක බ්‍රයන් ටෘයිට් පවසන්නේ මෙවැන්නක්. "ඔබ මේ චිත්‍රපටය නරඹන විට එහි අධ්‍යක්ෂවරයා ඔබ ළඟ වාඩි වී සිටිනු සේ දැනෙනු ඇත. ඔහු පො‍ප්කෝන් රස බලමින් ඔබත් සමඟින් චිත්‍රපටය නරඹනු ඇත" යන්නයි. "ස්ටීවන් ස්පිල්බර්ග් කිසිදින වයසට යන්නේ නැත. ඔහු ඔහුගේ මට්ටම ඉහළ නංවා ගන්නවා පමණයි" Ready Player One  චිත්‍රපටය නැරඹූ තවත් විචාරකයකුගේ අදහසයි.