වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




ලාංකිකයකු නිම වූ නේත්‍රා අප්‍රේල් තිරයට

ලාංකිකයකු නිම වූ නේත්‍රා අප්‍රේල් තිරයට

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන පරරාජසිංහම් සෙල්වනායගම් විසින් නිෂ්පාදනය කළ නේත්‍රා දමිළ සිනමාපටය එළඹෙන අප්‍රේල් මස සිට මෙරටට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වේ. දකුණු ඉන්දීය අධ්‍යක්ෂවරයකු වන ඒ. වෙන්කටේෂගේ අධ්‍යක්ෂණයක් වන මෙහි සුනික්ෂා, විනෙයි රාජ්, කමාන් කුමාර් ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රංගනයේ යෙදෙති. අධ්‍යක්ෂවරයා සමඟ අජාසන් බාලා නේත්‍රා තිර රචනා කොට ඇත. ශ්‍රීකාන්ත් දේවාගේ සංගීත අධ්‍යක්ෂණයකි.

වන් ස්ටාර් රයිඩර් මංගල දර්ශනය

අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකේය සිනමා අධ්‍යක්ෂ ලක්පති විජේසේකරගේ වන් ස්ටාර් රයිඩර් චිත්‍රපටයේ මංගල දර්ශනය අමෙරිකාවේ උතුරු හොලිවුඩයේ ලිමෙලි තියටර්හිදී ඉකුත් සිකුරාදාවේ පැවැත්විණ. ඇමෙරිකාවේදී රූගත කෙරුණු මෙම සිනමාපටයේ නිෂ්පාදන කණ්ඩායම සඳහා ඇමෙරිකානුවන් මෙන්ම එරට ජීවත්වන ශ්‍රී ලාංකික කලා ශිල්පීන්ගෙන් සමන්විත විය. චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු සිදු කළේ ලංකාවේදීය. වන් ස්ටාර් රයිඩර් සිනමාපටයේ රඟපෑ එඩි ලී උතුරු හොලිවුඩයේ සිනෙෆෙසිටි සිනමා උලෙළේ හොඳම නළුවා ලෙසට නිර්දේශිත විය.

ජෝනෙත් ශබ්දාගාරය නවීකරණය වේ

අපට තිබූ පැරැණිතම ශබ්දාගාරයක් වන ජෝනෙත් නව්‍යකරණය වී ඉකුත් දා යළි විවෘත විය. නව්‍යතම උපාංගවලින් සමන්විතව වැඩි ඉඩ පහසුකම් යටතේ වාද්‍ය වෘන්දයක් මඟින් පටිගත කිරීම් මේ වන විට ජෝනෙත් ශබ්දාගාරයේදී සිදු කළ හැකිය. සේයාරුවින් දැක්වෙන්නේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු එඩ්මන් තිලකරත්න පියතුමා ජෝනෙත් ශබ්දගාරය නව්‍යකරණය වූ පසු විවෘත කළ අයුරුයි.

සේනක සද්ධා වැඩ අරඹයි

සේනක විජේසිංහ අධ්‍යක්ෂණය කරන තවත් සිනමාපටයක මුහුරත් උලෙළක් පසුගියදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්විණ. සද්ධා යනුවෙන් නම් කොට ඇති එය සටන් කලාව හා සබැඳි සිනමාපටයකි. රසික ශාලින්ද රත්නයක සහ සතාසිවම් සුදාගර් නිෂ්පාදනය කරනු ලබන සද්ධා, චාමර ප්‍රසන්න කොඩිතුවක්කුගේ තිර රචනයකි. චන්දික නානායක්කාර, නිමල් පල්ලේවත්ත, නිරෝෂන් ඉලේපෙරුම, කුමාර වඳුරැස්ස, තාර්යා කෙනඩි, ඩිෂ්නි රාජපක්ෂ, ආනන්ද සෝමසිරි, රවී චන්ද්‍රසිරි මෙහි චරිත මවති. ලාල් ඩයස් කැමරාව මෙහෙයවයි. නිලන්ත පෙරේරා සහාය අධ්‍යක්ෂවරයාය. ශාන් ඉන්දිකගේ අංග රචනයකි. නිශාන්ත කුමාර කලා අධ්‍යක්ෂවරයාය. චූලා මෙන්ඩිස් නිෂ්පාදන කළමනාකරුය. චාමිකර පෙරේරා සංගීත අධ්‍යක්ෂණය සිදු කරන අතර නිශ්චල ඡායාරූප ධම්මික පතිරත්නගෙනි.

මධුර චාරිකා ගමන් අරඹයි

2016 උදයකාන්තට නව පණක් ගෙන දුන්නේය. ඒ ඇම්ස්ටර්ඩ්‍රෑම් ජාත්‍යන්තර සිනමා උලෙළේ සිල්වර් රේම් සම්මානය ද මධුර චාරිකා සිනමාපටයට හිමිවීමෙනි. එයින් නොනවතින උදය දිල්ලි චිත්‍රපට උලෙළේ තුන්වැනි තැන ද හිමි කර ගන්නට සමත් විය. ටෙරොන්ටෝ ලෝක ජාත්‍යන්තර සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස ද නිර්දේශිත නාම ගොන්නට එක්වීමට උදයකාන්තට හැකි විය. මධුර චාරිකා කතාවට වස්තු බීජය වන්නේ පැරැණි සිනමා නළුවකුගේ සිද්ධි මාලාවකි. සරසවිය පුවත්පතේ පළ වන පැරැණි සිනමා පටයක් නැවත පෙන්වීම සහ එම චිත්‍රපටයට දායක වූ ශිල්පීන්ට හරසර පිදීමේ උත්සවයකට නුවරඑළියේ සිට කොළඹ බලා එන 85 වියැති විල්සන් ගොඩමාන්න රංගන ශිල්පියාගේ සිද්ධි දාමයත් තම මුනුබුරා සමඟ ගලා යන කතා මාලාවක් මෙහි අන්තර්ගත වී ඇත. මේ උදයකාන්තගේ 21 වන සිනමාපටය වේ. බන්ධන සිනමාපටයෙන් පසු ඔහු ගෙනඑන නවතම සිනමාපටය මධුර චාරිකායි. පසුගිය කාල වකවානුවේ ඔහු අධ්‍යක්ෂණය කළ සිනමාපට 20 ට වඩා නවතම අරුතක් ගෙන එන මෙම චිත්‍රපටය ලාංකේය සිනමාවේ කතා කරන සිනමාපටයක් වනු ඇත.

තිර රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය යන ත්‍රිත්වයම උදයකාන්ත වර්ණසූරියගෙනි. දයාවංශ ජයකොඩි සහ කුමාර වඳුරැස්ස සම නිෂ්පාදනයකි. පසුගිය දින එහි මංගල දර්ශනය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී තිරගත විණි. මේ සඳහා දායක වූ රංගන ශිල්පීන්ගෙන් සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්ත, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස්. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මංගල දර්ශනය පැවැත්විණි.

හේමසිරි ලියනගේ, නලින් ප්‍රදීප් උඩවෙල, මාධනී මල්වත්තගේ, සරත් චන්ද්‍රසිරි, කුමාර තිරිමාදුර, ධර්මප්‍රිය ඩයස්, සුදම් කටුකිතුලේ, කුමාර වඳුරැස්ස, රමණී අලංකොලංග, විල්මන් සිරිමාන්න, සුරංගා රණවක, අජිත් ලොකුගේ, චතුර පෙරේරා, උදේනි චන්ද්‍රසිරි අනුර ශ්‍රීනාත්, සහන් රණුක වර්ණසූරිය, තිස්ස බණ්ඩාරනායක, අශෝක හේවාවිතාරණ, රාජා ගනේෂන්, යේෂදී හපුතන්ත්‍රී, ෂෙල්ටන් සිල්වා, ප්‍රේමලාල් චන්ද්‍රසිරි, කීර්ති රංජිත් යන ශිල්පීන් රංගනයෙන් දායක වෙති. කැමරා අධ්‍යක්ෂණය අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, සංස්කරණය ප්‍රවීන් ජයරත්න, සංගීතය නවරත්න ගමගේ, සහය අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්ත, වේශ නිරූපණය අරුණ ඩයස්, නිෂ්චල ඡායාරූප මහේෂ් නිශාන්ත, මූල්‍ය කළමනාකරණය අශෝක ආරියරත්න, ඇඳුම් නිර්මාණය ශාන්ති වර්ණසූරියගෙනි. පසුගිය 16 දින සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවල 'මධුර ජවනිකා' ගමන් ඇරැඹිණි. මේ මංගල දර්ශනයෙන් ඔබ නොදුටු ඉසව් කිහිපයකි.