වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක්

දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක්

ඩිජිටල් සේවා ගණන් වැඩියි

සාකච්ඡා අසාර්ථකයි
දේශීය විනෝද බද්ද අඩු කරන ලෙස ඉල්ලා සිටියි
චෙන්නායි නගරයෙන් පිටත 950 ක් පමණ චිත්‍රපට ශාලා වසා දමලා

අපේ රටේ නම් නොයෙකුත් ක්ෂේත්‍රයන්හි ක්‍රියාත්මක වැඩ වර්ජන පිළිබඳ අසන්නට ලැබීම පුදුමයක් නොවන කරුණක් බවට පත් වී තිබේ. රජයන්ගෙන් හෝ ආයතනික මට්ටමෙන් හෝ තම තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ජනතාව මෙලෙස වැඩවර්ජන ක්‍රියාමාර්ගයට පිවිසීම සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇතත් සිනමා කර්මාන්තයක වැඩවර්ජනයක් ඔබ අසා තිබේ ද? එහෙත් මේ දිනවල අසල්වැසි ඉන්දියාවෙන් ආරංචි වන්නේ, දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ වී ඇති බවයි. මේ හේතුවෙන් සිනමා ශාලා වසා දැමීම මෙන්ම නව චිත්‍රපට කිසිවක් නිකුත් නොකෙරෙන බව ද එහි සඳහන්.

මෙම සිනමා වැඩ වර්ජනයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඩිජිටල්කරණය බව කීවොත් ඔබට පුදුමය ගෙන දෙනු ඇත. දකුණු ඉන්දිය සිනමාවේ චිත්‍රපට නිෂ්පාදකයන් විසින් මෙම වැඩ වර්ජනය දියත් කර තිබෙන්නේ, ඩිජිටල් සේවා සපයන්නන් විසින් සිදු කෙරෙන අය කිරීම් ඉහළ බවට චෝදනා නඟමින්. තමිල්නාඩු සහ තෙළිඟු චිත්‍රපට නිෂ්පාදකවරුන් විසින් මෙම වැඩ වර්ජනය පසුගිය මාර්තු පළමු වැනිදා සිට ආරම්භ කෙරුණු අතර කර්නාටක සහ කේරල චිත්‍රපට කර්මාන්ත ද වැඩවර්ජනයක් පැවැත්වූ අතර අඩු ගාස්තුවක් අනුමත කිරීමෙන් පසුව මෙම විරෝධතා වැළැක්වීමට තෙළිඟු නිෂ්පාදකයින් එකඟ වී ඇති බවයි ආරංචි ගෙන එන්නේ. මේ තත්ත්වය සමඟින් චෙන්නායි නගරයෙන් පිටත 950 ක් පමණ චිත්‍රපට ශාලා හිමිකරුවන් තම චිත්‍රපට ශාලා වසා දැමූ අතර ඩිජිටල් සේවා සපයන්නන්ගේ භාණ්ඩ හා සේවා ගාස්තුව පහත දැමීමට අමතරව රජය විසින් ගාස්තු අය කෙරෙන දේශීය විනෝද බද්ද අඩු කරන ලෙස ද ඉල්ලා සිටියා.

හින්දු පුවත්පතට අනුව චෙන්නායිහි සහ එහි තදාසන්න ප්‍රදේශවල පමණක් නොව, කොයිම්බතූර්හි සිනමා සංකීර්ණ දෙකක් පමණක් චිත්‍රපට ප්‍රදර්ශනය කළ අතර ඒවා බොහොමයක් ද්‍රවිඩ නොවන චිත්‍රපට වූ බවයි වාර්තා වෙන්නේ. මාර්තු 16 වැනිදා වන විට දෙමළ සිනමා කර්මාන්තය තුළ විරෝධතාව සිනමා කර්මාන්තයේ අනෙකුත් අංශ කරා ද පැතිර ගිය අතර චිත්‍රපට රූගත කිරීම්, තිර රචනය සහ පූර්ව ප්‍රචාරකපට එළිදැක්වීම ඇතුළුව සියලුම නිෂ්පාදන කටයුතු නතර කර දමන ලදී. තමිල්නාඩු සිනමා නිෂ්පාදකවරුන්ගේ කවුන්සිලය (TFPC) විසින් මාර්තු පළමු වැනිදා සිට නව චිත්‍රපට එළිදැක්වීම නතර කර ඇති බවත් තහවුරු කර ඇත.

මේ වකවානුව තමිල්නාඩුවේ සිනමා කර්මාන්තයේ ඉහළම ආදායම් ගෙන දෙන කාලයක් වීම හේතුවෙන් තිරය පිටුපස නිෂ්පාදකයින් විසින් නිවේදනය කරන ලද වැඩ වර්ජනය හේතුවෙන් ඇතිවන අර්බුදය දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයට අහිතකර ලෙස බලපානු ඇති බවට එරට ඇතැම් සිනමා විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. සාමාන්‍යයෙන් තමිල්නාඩුවේ සිනමා ශාලාවලින් ජනනය කරන දෛනික දළ පිරිවැටුම ඉන්දීය රුපියල් මිලියන 300ක් පමණ වන බවත් මෙම තත්ත්වය සමඟින් එය සම්පූර්ණයෙන් බිඳ වැටෙනු ඇති බවත් ඔවුන්ගේ අදහසයි. අනාගතයේදී සීමිතව නිකුත් කෙරෙන චිත්‍රපට අධික පිරිවැය, මධ්‍යම පිරිවැය සහ කුඩා පිරිවැය ලෙසින් කාණ්ඩකර තිරගත කෙරෙනු ඇති බව ඇතැමුන් පවසන්නේ හාස්‍යයෙන්. එසේම ප්‍රාන්ත රජයන්ට මෙම ගැටලුව විසඳීමට කිසිදු උනන්දුවක් නොමැති බවටත් ඇතැමුන් චෝදනා නඟනවා.

ඩිජිටල් සේවා සපයන්නන්ගේ කාර්යය භාරය වී ඇත්තේ, චිත්‍රපටයක් නිෂ්පාදනය වන තැන සිට ඉන්දියාව පුරා ප්‍රදර්ශනය කිරීමට ප්‍රදර්ශකයන් වෙත එම චිත්‍රපටය ලබාදීම සඳහා කටයුතු කිරීමයි. සැටලයිට් තාක්ෂණය ඔස්සේ මෙම සියලුම බෙදා හැරීම් සිදු කරන අතර ඩිජිටල් සිනමා උපකරණ ලබාදීමද ඉටු කෙරෙන්නේ ඔවුන් විසිනි. මේ වෙනුවෙන් ඩිජිටල් සේවා සපයන්නන් නිෂ්පාදක පාර්ශවයෙන් මුදලක් අය කෙරෙන අතර එම මුදල පහත දැමීම වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදකයන් විසින් මෙලෙස වැඩ වර්ජනයක් දියත් කරන්නට කටයුතු යෙදී ඇත.

දකුණු ඉන්දීය සිනමාවේ එක් චිත්‍රපටයක ප්‍රදර්ශනය වෙනුවෙන් ඩිජිටල් සේවා සපයන්නන් විසින් චිත්‍රපට ශාලාවකින් ඉන්දීය රුපියල් 22,500ක මුදලක් අය කෙරෙන අතර පළමු සතිය වෙනුවෙන් එක් චිත්‍රපට ශාලාවක් ඉන්දීය රුපියල් 9000ක් ද දෙවැනි සතිය වෙනුවෙන් ඉන්දීය රුපියල් 7500ක් ද වශයෙන් ඉදිරියට ගෙවිය යුතු වේ. එක් දර්ශන වාරයක් වෙනුවෙන් ඉන්දිය රුපියල් 325 බැගින් වන ගෙවීමේ ක්‍රමයක් ද වේ. චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ සංගමය පවසා සිටින්නේ මෙම අය කිරීම ඉතා අසාධාරණ බවයි. එසේම ඩිජිටල් සේවා සපයන්නන් දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ ඒකාධිකාරි බලයක් අත්කර ගෙන සිටින බවටත් ඔවුන් චෝදනා නඟනවා.

මෙම ගැටලුව පිළිබඳ මැදිහත් වීමට දකුණු ඉන්දියානු සිනමා වාණිජ මණ්ඩලය  (SIFCC)  සූදානම්ව සිටිය ද දකුණු ඉන්දීය සිනමා ආරංචි මාර්ග ගෙන එන්නේ මේ වන විට චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ සංගමය ඩිජිටල් ගාස්තු සපයන්නන් සමඟින් කළ සාකච්ඡා ත්‍රිත්වයම අසාර්ථක වී ඇති බවයි. චිත්‍රපට ශාලාවකින් ගෙවිය යුතු 22,500ක ගාස්තුව ඉන්දීය රුපියල් 14,000ක් දක්වා අඩු කිරීමට ඩිජිටල් ගාස්තු සපයන්නන් එකඟ වුව ද නිෂ්පාදකවරුන්ගේ සංගමය සම්පූර්ණ ගාස්තුවෙන් 25%ක පහත දැමීමක් ඉල්ලා සිටිනවා. ඩිජිටල් ගාස්තු සපයන්නන් ගේ එකඟත්වය ලැබී ඇත්තේ එය 9%ක් දක්වා පමණක් පහත දැමීමට යි.

වැඩ වර්ජන හේතුවෙන් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රපට කිහිපයකම නිකුත් කිරීම් මේ වන විට ඇණහිට ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව අප්‍රේල් මස තිරගත කිරීමට නියමිතව තිබූ ජයම් රවී රඟන Tik Tik Tik, කමල් හසන් ගේ Vishwaroopam  2 සහ රජ්නිකාන්ත්ගේ  Kaala  වැනි චිත්‍රපටවල තිරගත කිරීමේ දිනපවා මේ අනුව වෙනස් විය හැකි බවත් දකුණු ඉන්දීය සිනමා ආරංචි ගෙන එනවා.

කෙසේ නමුත් මේ හේතුවෙන් ඩිජිටල් සේවා සපයන්නන් වෙත ගාස්තු නොගෙවිය යුතු චිත්‍රපට තිරගත කිරීමට ඇතැම් සිනමා ශාලා පියවර ගෙන තිබුණා. 'දි ඉන්දියන් එක්ස්ප්‍රස්' තොරතුරු ගෙන එන්නේ, මේ සමඟින් එම්. ජී රාමචන්ද්‍රන්, රජ්නිකාන්ත්, කමල් හසන් වැනි ජනප්‍රිය තරු රඟපෑ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ පැරණි චිත්‍රපට වසර ගණනාවකට පසු යළිත් වරක් රිදී තිරයට පැමිණි බවයි. ඒ අනුව පසුගිය සති දෙක තුලදී 1965 වසරේ ඉහල ජනප්‍රියත්වයක් ලද එම්. ජී. ආර් ප්‍රධාන චරිත මැවූ Enga Veettu Pillai සහ Nadodi Mannan (1958) චිත්‍රපට චෙන්නායි හි පිහිටි ඇල්බට් චිත්‍රපට ශාලාවේදි තිරගත කෙරුණා.