වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




2018 උසස් පෙළ සඳහා සැරසෙමු

2018 උසස් පෙළ සඳහා සැරසෙමු

අද ගම්මඩු සහ දෙවොල් මඩු ඉගෙන ගනිමු

 

නමින් පසිඳු දඹදිව් තල පඬිපුර රජ කළ නිරිඳුට

යොදුන් ගණන් අඹ උයනක් විය එහි මැද සැදුණු යසට

ගම්මඩු සහ දෙවොල් මඩු අතර ඇත්තේ සුළු වෙනසකි. ගම්මඩුව ගම් කිහිපයක් එකතු වී පවත්වනු ලබන අතර දෙවොල් මඩුව පවුලක් හෝ එක ගමක් වෙනුවෙන් පවත්වනු ලබයි. ගම්මඩු හා දෙවොල් මඩු පැවැත්වීමේ පොදු අරමුණු කිහිපයක් පහත දැක්වේ.

* වස් දොස් දුරු කොට සෙත් පැතීම

* සශ්‍රීකත්වය උදා කර ගැනීමට

* පැපොල, සරම්ප, වසූරිය වැනි සංක්‍රාන්ති ලෙඩ

රෝගවලින් මිදීම

දෙවොල් මඩුවේ උපත් කතාව

ඉන්දියාවේ සේරමාන් රජු රාත්‍රියේදී තමන්ගේ නින්දට බාධා කළ ගෝනෙකු විද මැරුවේය. ගෝනා රජු පිළිබඳ උපන් කෝපයෙන් රජුගේ විලේ මැඬියෙකු වී ඉපදෙයි. රජු පොකුණට ගොස් මලක් සිඹින විට මැඬියා රජුගේ නාසය දිගේ මොළයට යයි. කෙතරම් වෙදුන් ගෙන්වා වෙදකම් කළ ද එයින් රජු සුව කිරීමට නොහැකි වෙයි. මේ අතර රජු සිහිනයක් දකියි. රූමත් දෙවඟනක් රජුගේ සයනය වටා පැදකුණු කොට අහසට නඟිනු දැකීම එම සිහිිනයයි. සිහිනය විග්‍රහ කළ බමුණන් රජු සිහිනෙන් දුටුවේ පත්තිනි දේවිය බවත්, බුදු දහම ස්ථාපිත කළ රටකට ගොස් පතිතිනි දේවියට යාගයක් කළ යුතු බවත් කියා සිටියහ. ඒ අනුව සේරමාන් රජු ලංකාවට පැමිණ කැළණි වෙහෙර වැඳ රුවන්වැල්ලේදී පළමු දෙවොල් මඩුව කළ බව කියැවේ.

ගම් මඩුවේ සහ දෙවොල් මඩුවේ නාට්‍යමය අවස්ථා

* අඹ විදමන

* මරා ඉපැද්දීම

* රාමා මැරීම

* ඇත් බන්ධනය

* මී බන්ධනය

අඹ විදමන

පඬි රජුගේ උයනේ අරුම පුදුම අඹයක් හට ගනී. කෙතරම් දුනුවායන් යෙදුවත්, තෑගි භෝග ලබා දෙන බව ප්‍රකාශ කළත් කිසිවෙකුටවත් අඹය කැඩීමට නොහැකි විය. ශක්‍රයා මහල්ලකුගේ වෙස්ගෙන අඹය කැඩීමට පැමිණෙයි. මෙම අවස්ථාව නැරඹීමට පඬි රජු ද පැමිණෙයි. මහල්ලා දුන්නෙන් විඳ අඹය කඩයි. උඩ බලා සිටි පඬි රජුගේ දළ නෙතට (තෙවන ඇසට) අඹයේ කිරි වැටී එය මැකී යයි. පසුව එම අඹය රන් බඳුනක දමා කාවේරි නදියේ පා කර හරියි. එය මානායර කුමාරයාට හසු වෙයි. ඔහු එය රන් බඳුනක දමා ආරක්ෂා කොට තබයි. ශක්‍රයා අඹය සොයා පැමිණෙයි. රන්බඳුන ගෙන බලන විට එයින් පත්තිනි දේවිය මතු වෙයි. මෙය පත්තිනි දේවිය අඹෙන් උපන් කතාවයි. අඹ විදමන තුළ මෙය නාට්‍යනුසාරයෙන් රඟ දැක්වෙයි.

අඹ විදමනේ නාට්‍යමය ලක්ෂණ

අඹ විදමනේ දක්නට ලැබෙන නාට්‍යමය ලක්ෂණ පහත සඳහන් පරිදි හඳුනා ගත හැකිය.

1. කපුරාළ විසින් කතාවේ ආරම්භය කවියෙන් ඉදිරිපත් කරයි.

නමින් පසිඳු දඹදිව් තල පඬිපුර රජ කළ නිරිඳුට

යොදුන් ගණන් අඹ උයනක් විය එහි මැද සැදුණු යසට

ඇසින් බලා බැරි නිම වනු රන් කඳ වෙයි ගහේ පාට

ගොසින් පතිනි ඒ අඹ ගහේ අඹයක පිළිසිඳ එම විට

2. මහල්ලෙක් සේ වෙස් ගත් සක් දෙව් රජු පැමිණීම.

ඔහු සැරයටියක් අතින් ගෙන වෙව්ළමින් පැමිණේ. මෙම චරිතය කෝළම් නාට්‍යයේ එන පණික්කිරාළගේ චරිතයට (අණබෙර කෝළම) සමාන වේ. මොහුගේ වෙස් මුහුණ රැළි වැටුණු මුහුණකින් ද, උල් වූ නිකටකින් ද, විලිස්සා ගත් දත්වලින් ද, එල්ලෙන සුදු රැවුලකින් ද යුක්ත වේ.

3. කපුරාල සහ මහල්ලා අතර සංවාදය

වරදවා වටහා ගැනීම්වලින් හා දෙපිට කැපෙන වචනවලින් සමන්විත මෙම සංවාදය අතිශයින් හාස්‍යජනක වන අතර නාට්‍යමය වේ.

4. අඹයට විඳින අවස්ථාව

මෙම අවස්ථාව අතිශයින් නාට්‍යමය වේ. බෙර වාදනයට අනුව පැද්දෙමින් රිද්මයානුකූලව සැරසී තුන්වන වර අඹයට විදී. මෙය අනුරූපණය කරයි.

5. රංග භාණ්ඩ භාවිතය

දුන්න සහ ඊතල ගොක් කොළ සහ ඉරටුවලින් සාදා ගනියි. සැබෑ අඹ ගෙඩියක් හෝ රූපයක් යොදා ගනියි.

මරා ඉපැද්දීම

පත්තිනි දේවිය කන්නගී නමින් ද හැඳින්වුණි. ඇය විවාහ වී සිටියේ පාලඟ (කෝවලන්) කුමාරයා සමඟයි. ඔහු වැඩිකල් නොගොස්ම මාධවී (මාදේවි) නම් නිළියක් (නාට්‍යාංගනාවක්) සමඟ පෙමින් බැඳුණේය. ඔහු ඇය වෙනුවෙන් තමා සන්තක සියලු ධනය වියදම් කළේය. අවසානයේ සියල්ල පිළිබඳ කලකිරී පාලඟ නැවත පත්තිනිය සොයා එයි. දෙදෙනා ජීවත්වීම සඳහා ආදායම් මාර්ගයක් සොයා මදුරාපුරයට පැමිණෙති. පාලඟ කුමාරයා කන්නගියගේ සළඹ විකුණා ගැනීමට රන්කරුවෙකු වෙත යයි. මේ දිනවල රජුගේ දේවියගේ සළඹ නැති වී ඒ පිළිබඳව නගරය පුරා අණබෙර මාර්ගයෙන් ප්‍රචාරණය කොට තිබුණි. රන්කරුවා පාලඟ අල්ලා රජුට භාර දෙයි. රජු පාලඟ මරා දමයි. කන්නගි නැවත ඔහු සොයා ගොස් පණ උපද්දවයි. මෙම අවස්ථාව මරා ඉපැද්දීමේදී නාට්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කරයි.

මරා ඉපැද්දීම අවස්ථාවේ
නාට්‍යමය ලක්ෂණ

1. පාළඟ මදුරාපුරයට යන අවස්ථාව දක්වා වූ කොටස කවියෙන් ගායනා කරයි.

2. මෙහි ඇති වැදගත් නාට්‍යමය අවස්ථාව පාලඟ මරණයට පත් කිරීමේ අවස්ථාවයි. ආචාර්ය ගණනාථ ඔබේසේකර එම අවස්ථාවේ ඇති නාට්‍යමය ලක්ෂණ පහත සඳහන් පරිදි ඉදිරිපත් කරයි.

* මරුවා වලස් සමක් වැනි සමක් පැලඳ පිටතට පනින දළ ඇතිව රතු වදමල් මාලයකින් සැරසී සිටියි. ඔහු කඩුවක් අතින් ගෙන සිටියි.

* ඔහු රංගභූමියට පැමිණීමත් සමඟ කපුරාළගේ ගායනය ආවේගශීලී වේ.

* මරුවා රංගභූමියේ ප්‍රේක්ෂකයා තුළ සංත්‍රාසයක් ඇතිවන අයුරින් හැසිරේ.

* මරුවා පාළඟගේ ඇඟට පැන බෙර වාදනයට අනුව පාලඟගේ ඇඟට කඩුවෙන් අනින බව අනුරූපණය කරයි.

* පාලඟගේ සිරරේ ලේ පැල්ලම් මතු වේ. මරුවා තව තවත් සිරුරට අනිමින් ලේ වැගිරෙන බඩවැල් එළියට ඇද දමයි.

* මෙහිදී මරුවා තම කමිසයේ අත අස්සේ සඟවා ගෙන සිටින රතු සායම් පෙඟ වූ රෙදි කැබලි භාවිතා කරයි.

3. පත්තිනිය පාලඟ සොයා යාම කවියෙන් ගායනා කරයි.

4. පත්තිනිය කාලිය සමඟ (ඇගේ සේවිකාව) චෙල්ලිය අම්බලමට පැමිණ විරහ ගීත ගායනා කරයි.

උදාා. පිරී කඳුළු ඒය නෙතින්

සියොළඟ උණු වේය නිතින්

බැරි ඉවසා ගන්ඩ ඉතින්

ගරුතර මගෙ හිමි නැගිටින්

5. ඇගේ විලාපය අසන සක් දෙව් රජ මහල්ලෙකු සේ වෙස් ගෙන එතනට පැමිණෙයි. මෙහිදී එම චරිතය නිරූපණය කරන නළුවා කුදු ගැසුණු චරිතයක් නිරූපණය කරයි. වෙස් මුහුණක් පැලඳ සිටී. ඔහු කරන ක්‍රියාව කපුරාළ පසුබිමින් කවියෙන් ද ගායනා කරයි. හිඟන්නා ලෙස වෙස් වලාගත් සක් දෙව් රජු අමෘතය පිරි විලක් මවා තම සළුව එහි ඔබා පාලඟට ඉසින බව අනුරූපණය කරයි. පාලඟ නැගිට සක්දෙව් රජ සමඟ පිට වී යයි.

ඇත් බන්ධනය

ඇතෙකු අල්ලා උගේ දළ කපා මංගර දෙවියන්ට පූජා කිරීම ඇත් බන්ධනයේදී සිදු වේ. ඇතා ලෙස පිරිමි ළමයෙකු භාවිතයට ගනු ලබයි. ඔහුගේ හිසේ සුදු ජටාවක් බැඳ එහි පොටක් කඹයක් සේ ඔතා නළලේ සිට පහතට වැටීමට සලස්වයි.

කපුරාළ ඇතා සොයගෙන යයි. ඇතා යැයි සිතා ගෙම්බෙකුට, රිලවෙකුට, මුවෙකුට, හූනෙකුට රැවටෙයි. අවසානයේ ඇතා හමු වු පසු ඇතා ඇල්ලීමට ඇතා පසුපස දිව යන ආකාරය හාස්‍යජනකය. ඇතා ඒ මේ අත පනිමින්, කුංචනාද කරමින් ප්‍රෙක්ෂකයන් කුල්මත් කරයි. ඇතා අල්ලා ගත් පසු උගේ පිටුපස ඉදිරිපස ලෙස වරදවා වටහා ගනියි. අවසානයේ දළ කපා පූජා කිරීම අනුරූපණයෙන් සිදු කරයිි.

මී බන්ධනය

මෙය ඇත් බන්ධනයට බොහෝ සෙයින් සමානය. මෙහිදී සිදුවන්නේ මීමෙකු අල්ලා ගැනීමයි. මෙහිදී ද කුඩා පිරිමි ළමයෙකු යොදා ගනු ලබයි. මෙහිදී මීමෙකු යැයි සිතා මීයෙකුටත්. මී වස්සෙක් යැයි සිතා මී මැස්සෙකුටත්, ගොන් වස්සෙකු යැයි සිතා ගෝනුස්සෙකුටත් රැවටෙයි.